E   |     |  

2023-07-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පළාත් පාලන ආයතන හරහා සංවර්ධන කටයුතුවලට මූල්‍ය ආධාර සපයන එකම ආයතනය වන ‘දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ’ කටයුතු වඩාත් විධිමත් විය යුතුයි - ‘කෝප්’ කමිටුව

  • පනත සශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ
  • ණය ලබා දීම, ව්‍යාපෘති ඇගයීම සහ ණය අයකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම ගැටලුවක්
  • ස්ථිර අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම අභ්‍යන්තර විගණන නිලධාරියෙකු නොමැති බවත් හෙළි වෙයි

 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ගරු රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.07.20 වැනි දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති “දේශීය ණය සහ සංවර්ධන මණ්ඩලය” කැඳවා තිබිණි.
නීතියෙන් බලය ලැබී ඇති පරිදි පළාත් පාලන ආයතනවලට මහජන උපයෝගීතා සේවා පවත්වාගෙන යාම සදහා සහනදායි පොළියකට මූල්‍ය පහසුකම් සැපයීම අරමුණුකරගනිමින් 1916 අංක 22 දරන ආඥා පනත මගින් මෙම ආයතනය ස්ථාපිත කර ඇත. අනතුරුව එම පනත අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක්ව ඇති අතර 1993 අංක 24 දරන පනත අනුව දේශීය ණය සහ සංවර්ධන අරමුදල ලෙස නම් කර ඇත.

මෙහිදී ආයතනයේ 2020 සහ 2021 මූල්‍ය වර්ෂ සදහා විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනයට අදාළ පහත සදහන් මූලික කරුණු ඔස්සේ විමර්ශනය කිරීම සිදු විය.

 

පනත සශෝධනය කිරීමේ අවශ්‍යතාව

මෙය බැංකුවක් හා සමාන මූල්‍ය ආයතනයක් බැවින් කාලෝචිත කරුණු පිළිබද සැලිකිල්ලක් දක්වමින් පනත සංශෝධන කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී. පනතට අනුව අමාත්‍යාංශ ලේකම්වරයාම අරමුදලේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම උචිත නොවන බැවින් එම සියලු කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් සංශෝධන සිදු කිරීමේ වැදගත්කම විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2018  ‘ආසියානු පදනම’ මගින් ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වාර්තාවක් ලබා දුන් බවත් ඒ  අනුව කටයුතු කළේනම් විශාල ප්‍රගතියක් අත්පත් කරගැනීමේ හැකීයාව තිබූ බවත් සාකච්ඡා විය.
ගරු අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍යවරයා ලෙස පනත සශෝධනය කිරීම සදහා සාකච්ඡාවක්ද පවත්වා ඇති පසුබිමක මේ සදහා කඩිනමින් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වන ලදී.

 

අධ්‍යක්ෂ ජනරාල් සහ අභ්‍යන්තර විගණක තනතුරු පූර්ණකාලීන ස්ථිර තනතුරු බවට පත් කිරීමේ කිරීමේ අවශ්‍යතාව

වසර ගණනාවක සිට අධ්‍යක්ෂ ජනරාල් තනතුර වැඩබලන තනතුරක් ලෙස පැවතීම පිළිබදව  අවධානයට ලක්විය. එසේම ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු නොමැති වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම පූර්ණ කාලීන ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු පත්කිරීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් තුළ දැනුම් දෙන ලෙස නියෝග කරන ලදී.

 

ණය ලබා දීම, ව්‍යාපෘති ඇගයීම,  සහ ණය අයකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම

2023 වසරේදී රු. මිලියන 249 ක් වටිනා ව්‍යාපෘති 9ක් අරමුදලට ලැබී ඇතත් මේ වන තෙක් ඒ පිළිබදව අධ්‍යක්ෂ මණ්ඩලය රැස්ව සළකාබලා නැති බවත් අනාවරණය විය.  

මේ අනුව ණය දීමේ හා අයකරගැනීමේ නිර්ණායක, ණය අය කර ගැනීමේ හැකියාවන්, ණය භාවිතා කරන ව්‍යාපෘති සහ ඵලදායිතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් විධිමත් ක්‍රමවේදයක් සහ මාර්ගෝපදේශ මාලාවක් සකසන ලෙස නිර්දේශ කරන ලදී. එම විධිමත් ක්‍රමවේදයට අනුව ණය දීමේ කමිටුව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව  කමිටුව විසින් අවධාරණය කරන ලදී.

 

එක් එක් පළාත්වලට ණය බෙදී යාමේ ක්‍රමවේදය විධිමත් කිරීමේ අවශ්‍යතාව

2021 වසරේ ණය ලබාදී ඇති  රු.මිලියන 847.7 කින් රු.මිලියන  691ක්ම වයඹ පළාතට ලබා දී ඇති බවත් කෝප් සභාපතිවරයා අනාවරණය කළේය. මෙම ව්‍යාපෘතිවලට ණය ලබා දීමේදී එක් එක් පළාත්වලට බෙදී යාමේ ක්‍රමවේදය විධිමත් කරන ලෙස කමිටුව නිර්දේශ කරන ලදී.

 

අභ්‍යන්තර විගණනය විධිමත් කිරීම

අභ්‍යන්තර විගණනය නිසි පරිදි සිදු කිරීම සදහා ස්ථිර  අභ්‍යන්තර විගණන නිලධාරියෙකු නොමැති වීමෙන් පසුගිය වසර වල විගණනය නිසි පරිදි සිදු නොවීම  පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු බදවා ගැනීමට කටයුතු කිරීමටත්  2011,2012 යන වසර සදහා විගණන වාර්තා මාසයක කාලයක් තුළ විගණකාධිපතිවරයාට ලබා දෙන ලෙසත් නිර්දේශ කරන ලදී. එසේම ජාතික විගණන කෝමිසමේ නිර‍්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දෙන ලදී.

2019- 2023 වර්ෂ 5ක කාලය සදහා සංයුක්ත සැලැස්මක් සකස් කර තිබුනද ඊට අනුමතිය ලබා ගෙන නොතිබීම ගැටලුවක් බව හදුනා ගන්නා ලදී.  ඒ අනුව 2023-2028 දක්වා සංයුක්ත සැලැස්මක් අනුමත කර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.

1995 වසරේදී බහුබෝග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දඹුල්ල ප්‍රාදේශීය සභාව වෙත ලබා දුන් රු මිලියන 12ක ණය මුදලක්, මහනුවර නගර සභාවට ලබා දුන් රු 60,922,475 ක ණය මුදලඅයකර නොගැනීම ඇතුළු කරුණු  පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. මේ අනුව අදාළ නෛතික පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.  

පළාත් පාලන ආයතන හරහා එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු සදහා  මූල්‍ය ආධාර සපයන එකම ආයතනය වන අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂම විය යුතු බව කෝප් කමිටු සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී. එසේම තවත් සය මසකින් මෙම ආයතනය නැවත කැඳවීමටත් තීරණය විය.

රාජ්‍ය අමාත්‍ය ගරු ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු දයාසිරි ජයසේකර, ගරු නිමල් ලාන්සා, ගරු එස්.එම් මරික්කාර්, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු මධුර විතානගේ සහ ගරු මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභාවට සහභාගී වූහ.

 

1 2

3 4



සම්බන්ධිත පුවත්

2026-09-15

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල සියළුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසනපටි පැළඳීම සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14  දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.  එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට  ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද  අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,  නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


2026-09-14

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා  ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර්  ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්  මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද  මෙහිදී  ප්‍රකාශ  විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.


2026-09-08

තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගන්නවා – විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදය

විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු මේ බව සඳහන් කළහ.“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි. මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර  සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ. මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය CII (Coalition for Inclusive Impact) ආයතනය විසින් ලබා දෙන ලදී.


2026-09-07

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් කරුණු විමසයි

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලද   ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පසුගියදා කරුණු විමසන ලදී. එම කාරක සභාව ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී  මෙම කරුණු විමසීම සිදු විය. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි/පොලිස් අධිකාරිවරුන් පිරිසක් මෙම කාරක සභාවට කැඳවා තිබිණි. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද කාරක සභාව විසින්  කැඳවන ලදී. දිට්වා සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී  ඊට අදාළව ගන්නා ලද පියවර පිළිබඳව ජන මාධ්‍යයට දැක් වූ අදහස් සම්බන්ධයෙන් සවිස්තර කරුණු දැන ගැනීම පිණිස මෙසේ කාරක සභාවට හිටපු මන්ත්‍රීවරයා කැඳවා තිබිණි.කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks