logo

E   |     |  

2023-07-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් පියවර ගන්න - අමාත්‍ය ප්‍රසන්න රණතුංග

මේ වන විට ඉදිකිරීම් කටයුතු අතහැර දමා ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ප්‍රදේශය ආශ්‍රිතව මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

යම් ආකාරයකින් අනතුරක් සිදුවුවහොත් මෙහි වගකීම අමාත්‍යාංශය ඇතුළු රජයට පැවරෙන බැවින් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.
 
නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දෙන ලදී. රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු තේනුක විදානගමගේ සහ ගරු අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකරමින් පැවති ස්ථානයේ සවිකර ඇති ඉදිකිරීම් ආධාරක ඇතුළු උපාංග සුළඟට  කඩා වැටී අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවත්, ජලය එක්රැස්වීම හේතුවෙන් මදුරුවන් බෝවීමේ හැකියාව පවතින බවත් මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් මෙම ගොඩනැගිල්ලේ මහල් ත්‍රිත්වයක් පොළොව මට්ටමට පහළින් පැවතීම නිසා එහි වැසි ජලය එක්රැස්ව ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතුව ඇති බැවින් අවට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්වලින් පැමිණිලි ලැබී ඇති බවද නිලධාරීහු මෙහිදී අනාවරණය කළහ.

ඒ අනුව මෙම ආයෝජකයා සමඟ සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නිශ්චිත කාලරාමුවක් තුළ නැවත ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය. ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදාළ ආයෝජන සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ.

මීට අමතරව, පළාත් පාලන ආයතනවල මැදිහත්වීමකින් තොරව නාගරික සංවර්ධන අධිකාරියේ අවසරයෙන් පමණක් ගම්පහ සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතිය මේ වන විට අතරමග අත්හැර දමා ඇති බව කමිටුවේ අවධානයට යොමු විය. මෙම නිවෙස්වලට මාර්ග, ජලය සැපයීම, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු යටිතල පහසුකම් ද නිසි පරිදි ලබාදී නොමැති බවත් මෙහිදී හෙළි විය.

විශේෂ ව්‍යාපෘතියක් ලෙස අවසර ලබාදී ඇති මෙම ව්‍යාපෘතිය නියමිත ප්‍රමිතීන්ට අනුව සිදුනොකිරීම නිසා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නිලධාරීහු පෙන්වා දුන්හ. පසුගිය මාර්තු මාසයේ පැවති අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාවේ ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළේය. ඒ අනුව, මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන සති දෙකක් ඇතුළත කාරක සභාවට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නියෝග කළේය.

මෙම රැස්වීමට, කාරක සභා සාමාජිකයන් වන ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මිලාන් ජයතිලක සහ ගරු මධුර විතානගේ යන මහත්ම මහත්මීන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද  අමාත්‍යංශ නිලධාරීහු ද සහභාගී වූහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2026-06-18

රාජ්‍ය අයවැයට ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රවේශයක් එක් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම  රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද  සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද  සංසදය විසින්  මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.


2026-06-17

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු  රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-17

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09)  පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks