E   |   த   |  

2023-07-18

පුවත් කාණ්ඩ : පුවත් 

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ ජනපතිගේ ඇගයීමට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගරු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන 65ක් සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම උත්සවය අද (ජූලි 18) සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ හරිත ආර්ථිකයක්, ඩිජිටල්කරණය සහ නව්‍යකරණය සමඟ ආර්ථිකය ඉදිරියට ගෙන යාම පැරණි ක්‍රමවේද අනුව සිදු කළ නොහැකි බවයි. එහිදී සියලු රාජ්‍ය ආයතන එක අරමුණක් සහ එක් සැලැස්මක් ඔස්සේ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවයද එතුමා අවධාරණය කළේය.

එසේම රාජ්‍ය වියදම් පාලනය, සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගැනීම, ආදායම් ඉහළ නංවා ගැනීම සහ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීම යන මූල්‍ය වැඩපිළිවෙළ ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් රටට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
තවද ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගැනීම වෙනුවෙන් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයට (RCEP) ඇතුළත්වීම මෙන්ම ඉන්දියාව සමග පවතින සබඳතා පුළුල් කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම මෙහිදී අදහස් දැක්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ජයග්‍රහණ ලබාගත් සියලුම රාජ්‍ය ආයතනවලට සුබපැතුම් එක් කළ අතර 2015 වසරට වඩා අද වන විට රාජ්‍ය ආයතනවල සියයට 98කට වැඩි ප්‍රමාණයක විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බවද පැවසීය.

මෙහිදී රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස්කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව ඇගයෙන අතර, ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට, සිදු කළ ඇගයීම් අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය.     

ඒ අනුව, රාජ්‍ය ආයතන 833 ක් ඇගයීමට ලක් වූ අතර, 2019 වර්ෂයේදී ඉන් තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන ද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන බැගින් සමස්ත සම්මාන 90 ක් පිරිනැමීම ගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

රජයේ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමුණි.

අටවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහන 2015 මුදල් වර්ෂය පදනම් කරගෙන 2016 වර්ෂයේදී ආරම්භ කළේය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා Zoom තාක්ෂණය ඔස්සේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා යටතේ පවතින ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 1000 කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වීම සිදු විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිර්වර්ධන, විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

 

සම්මානලාභීන්

 

1 2

3 4

5 6



සම්බන්ධිත පුවත්

2026-09-25

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කෙරේ

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද වැඩි ජන්දයෙන් සම්මතයි   විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අද (සැප්. 25) විශේෂ බහුතර ඡන්දයෙන්  සම්මත විය.එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 7.13 ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව  ඡන්ද 158 ක්ද, විපක්ෂව ඡන්ද 63 ක්ද  හිමි විය. ඒ අනුව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේ  විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.අනතුරුව, කාරක සභා අවස්ථාවේදී දෙවන වගන්තියට ගෙන එන ලද සංශෝධන ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. එම සංශෝධනවලට පක්ෂව ඡන්ද  158 ක් ද, විපක්ෂව ඡන්ද 63 ක් ද හිමි විය.පනත් කෙටුම්පත තෙවන වර කියවීමේදී පක්ෂව ඡන්ද 158ක් ද, විපක්ෂව ඡන්ද 63ක් ද ලැබුණු අතර, ඒ අනුව පනත් කෙටුම්පත තෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.එමෙන්ම,අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේ අද  වැඩි ජන්දයෙන් සම්මත කෙරිණි. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 7.53 ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව  ඡන්ද 158ක්ද, විපක්ෂව ඡන්ද 63 ක්ද  හිමි විය. එම පනත් කෙටුම්පත  තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී  පක්ෂව ඡන්ද 158 ක්ද විපක්ෂව ඡන්ද 62 ක්ද,  හිමි විය. ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත  තෙවන වර කියවීම වැඩි ඡන්ද 96 කින්  පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මත විය.විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙක අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2026 අගෝස්තු 18 වැනි දින පළමුවර කියවීම සඳහා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද (25) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.


2026-09-25

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් පසුගියදා (සැප්. 24) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ  කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම එහි ව්‍යවස්ථාමය කටයුතු පිළිබඳ කාරක සභාවේ (AFCO) සභාපති මහාචාර්ය Sven Simon මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම  නියෝජිත පිරිසට, යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී Ralf Seekatz, යුරෝපා ජනතා පක්ෂ (EPP) කණ්ඩායමේ විදේශ කටයුතු, ආරක්ෂාව හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක Benjamin Oppermann යන මහත්වරු ඇතුළත් වූහ. තවද, KAS Singapore හි ආසියානු කලාපීය දේශපාලන සංවාද වැඩසටහනේ ප්‍රතිපත්ති උපදේශක Jonas Nitschke, KAS Brussels හි බහුජාතික සංවර්ධන ප්‍රතිපත්ති සංවාද වැඩසටහනේ වැඩසටහන් කළමනාකරු Sven Nicolay, IDAG හි නීතිඥ, රෙජිස්ට්‍රාර් සහ අධ්‍යක්ෂ සී.ඒ. හෙට්ටිආරච්චි සහ IDAG හි වැඩසටහන් උපදේශක එස්. විමලගුණරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.නියෝජිත පිරිස පිළිගත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා,  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ යුරෝපා පාර්ලිමේන්තුව අතර පවතින සබඳතා සහ පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර මෑතකදී පැවති ඉහළ පෙළේ සාකච්ඡා පිළිබඳව සිහිපත් කළ කථානායකවරයා, යුරෝපා සංගමයේ GSP+ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව පවත්වාගෙන යන සබඳතා පිළිබඳව සිය ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට එම සහයෝගීතාව වැදගත් දායකත්වයක් ලබා දී ඇති බව ද කථානායකවරයා සඳහන් කළේය.නීතිය හා සාමය පවත්වාගෙන යාම, දූෂණයට එරෙහිව කටයුතු කිරීම, ජාතීන් අතර සංහිඳියා  ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම සහ කාන්තා අයිතිවාසිකම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා යාන්ත්‍රණ ස්ථාපිත කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳව ද කථානායකවරයා නියෝජිත පිරිස දැනුවත් කළේය.එමෙන්ම, ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළුව සමාජයේ සියලු පාර්ශ්වයන්ට සමානව අවශ්‍යතා සැපිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද කථානායකවරයා පෙන්වා දුන්නේය. තවද, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා සමාජ ආර්ථික තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ලබා දුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සිය ස්තූතිය පළ කළ අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ පසුබිම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ වත්මන් ප්‍රගතීන් පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූහ. එසේම, නියෝජිත පිරිස නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමුවී ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය සහ රටේ සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කළහ.ශ්‍රී ලංකාව වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා සංගමය විසින් අඛණ්ඩව ලබා දෙන සහයෝගය සහ සබඳතාව පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා සිය ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ යහපැවැත්ම සඳහා මෙවැනි සහයෝගීතාවන්හි වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.ඉන් අනතුරුව, යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වූහ.විපක්ෂය නියෝජනය කරන ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  රවී කරුණානායක සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් සමග ද , ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම හෙට්ටිආරච්චි සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන් සමග ද නියෝජිත පිරිස සාකච්ඡාවල නිරත වූහ.ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා සමාජ ආර්ථික තත්ත්වය, රට මුහුණ දෙන අභියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධනයට අදාළ පසුබිම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධ කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය.නියෝජිත පිරිස සිය සංචාරය අතරතුර කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාදය  නිරීක්ෂණය කළ අතර, කථානායකවරයා විසින් සභාවේදී විශේෂ නිවේදනයක් සිදු කරමින් යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සභ ගර්භය වෙත පිළිගනු ලැබීය.එමෙන්ම, නියෝජිත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයකට ද එක් වූ අතර, එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සහ කාර්යභාරය පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසිණි.


2026-09-24

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති අතිගරු කාලිඩ් නසර් අල් අමෙරි මහතා (Khaled Nasser Al Ameri) සැප්තැම්බර් 23 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමු විය. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවා ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා පිළිගනිමින් ගරු නියෝජ්‍ය කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දීර්ඝකාලීනව පවතින සුහද ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කළේය. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නිරත විශාල ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය හරහා දෙරටේ ආර්ථිකයන්ට ලැබෙන දායකත්වය ඇතුළුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ඔහු සිය ස්තූතිය පළ කළේය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද නියෝජ්‍ය කථානායකවරයා සිය සතුට පළ කළ අතර, දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.තවද, දසවන පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා - එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ නියෝජ්‍ය කථානායකවරයා, එමඟින් පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීමට හැකි වනු ඇතැයි ප්‍රකාශ කළේය.ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙරටේ ආර්ථිකයන්ට ලබාදෙන දායකත්වය පිළිබඳව තානාපති කාලිඩ් නසර් අල් අමෙරි මහතා සිය ප්‍රසාදය පළ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නිරත ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ නිපුණතාව, සාමකාමී ස්වභාවය සහ ගෞරවනීය හැසිරීම හේතුවෙන්, ඔවුන්ට ඉහළ පිළිගැනීමක් හිමි වන  බවද ඔහු සඳහන් කළේය.ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ශක්තිමත් වෙළෙඳ සබඳතා මෙන්ම දෙරට අතර පවතින ශක්තිමත් ගුවන් සම්බන්ධතා පිළිබඳව ද තානාපතිවරයා අවධානය යොමු කළේය. ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, සමාජීය වටිනාකම් සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන පරිදි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම (MoU) සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලාංකික ජනතාවගේ ආගන්තුක සත්කාරය සහ උණුසුම් පිළිගැනීමේ ස්වභාවය පිළිබඳව තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලාංකික ජනතාවගේ සුහදශීලීත්වය සහ සිනහව ශ්‍රී ලංකාවේ වටිනා සුවිශේෂී ලක්ෂණයක් බව සඳහන් කළේය. සමීප සහ විශ්වාසනීය මිතුරෙකු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව සිය සහයෝගය ලබාදෙන බව ද තානාපතිවරයා මෙහිදී යළි අවධාරණය කළේය.


2026-09-24

හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (සැප්. 24) දිවුරුම් දුන්නේය.කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එම්. එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මෙලෙස පත් කර තිබේ.වෘත්තියෙන් නීතිඥවරයෙකු වන හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා මඩකලපුව, ඔට්ටමාවඩි මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇත. එමෙන්ම, ඒ මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කල්කුඩා ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks