E   |     |  

2023-07-10

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පොල් සංවර්ධන අධිකාරියේ, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහ පොල් පර්යේෂණ මණ්ඩලයේ පරිපාලන ගැටලු සහ අක්‍රමිකතා රැසක් ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වෙයි

  • පොල් වෙන්දේසියේ ඒකාධිකාරී මාෆියාව නතර කොට විනිවිද බව ඇති කිරීමට ඔන්ලයින් ක්‍රමවේදයක් හදුන්වා දුන්න ද එය අක්‍රීයව පැවතීම පිළිබද දැඩි අප්‍රසාදය
  • පොල් වගාවට වැළඳිය හැකි රෝග පාලනයට ආයතන ත්‍රිත්වයම සමග සාකච්ඡා කර පොදු ‍වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට උපදෙස්
  • පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් ඉඩම්වල වගාවන්ට අවසන් වරට පොහොර යෙදීම සිදුකර ඇත්තේ 2016 වසරේ බවත් හෙළි වෙයි
  • මෙරට පොල්තෙල් පරිභෝජනයෙන් 78%ක් ආනයනික තෙල් මත සපුරා ගෙන තිබීම විශාල ගැටලුවක්
  • ඩිජිටල් දැන්වීම් පුවරුවක් ඉදිකිරීමට පෞද්ගලික ආයතනයකට ගිවිසුමක් තොරව රු. මිලියනක අන්තිකාරම් මුදලක් ගෙවලා
  • සම්මුඛ පරීක්ෂණ සදහා ක්‍රමවත් පරිදි පෙනී නොසිටි පුද්ගලයන් 6 දෙනෙකු හිටපු සභාපතිවරයා විසින් හිතුමතේ සේවයට බදවා ගැනීම පිළිබඳවත් වාර්තාවක් කැඳවයි

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.07.06 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී මෙරට පොල් වගාව සහ කර්මාන්තය ආශ්‍රිත ප්‍රධාන ආයතන ත්‍රිත්වය වන පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ මණ්ඩලය යන ආයතන කැඳවා තිබිණි. 2021.01.21 දින පැවති කෝප් රැස්වීමේදී මෙම ආයතනවලට දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමර්ශනය  කිරීම මෙහිදී සිදුවිය.

මෙහිදී පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමු විය.

 

පොල් වගාවට වැළදිය හැකි රෝග පාලනයට ආයතන ත්‍රිත්වය සමග සාකච්ඡා කර පොදු ‍වැඩපිළිවෙලක් සකස් කිරීම

හදිසි තත්ත්වයක් සේ සලකා විශේෂ කමිටුවක් පත් කර පොල් වගාවට වැළදී ඇති සුදු මැස්සා රෝගය පාලනය කිරීමට සහ පොල් පොල් වගාවට වැළදිය හැකි රෝග පාලනයට ආයතන ත්‍රිත්වය සමග සාකච්ඡා කර පොදු ‍වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා විය. මේ වන විට ස්ථාපිත කර ඇති ‘ජාතික ආපදා කළමනාකරණ ‍මෙහෙයුම් ඒකකය’ සදහා පොල් සංවර්ධන අධිකාරිය සම්බන්ධ වී නැති බැවින් මෙම මෙහෙයුම් කටයුතු සදහා එම ආයතනය ද සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම පොල් වගාවට නිසි කලට පොහොර නොයෙදීම නිසා මෙවැනි රෝග ඇතිවීමේ අවදානමක් බවතින බවත් නිලධාරිහු පැවසූහ. පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් ඉඩම්වල වගාවන්ට අවසන් වරට පොහොර යෙදීම සිදුකර ඇත්තේ 2016 වසරේ බවත් මෙහිදී අනාවරණය විය. රජයට අයත් පොල්වගාවන්ට හෝ කලට වෙලාවට පොහොර නොයෙදීම පිළිබද කමිටුවේ අප්‍රසාදය පළවිය.

ආයතන ත්‍රිත්වයම සම්බන්ධ කරගෙන සාකච්ඡා කොට ගනු ලබන ක්‍රියාමාර්ග සති දෙකක් තුළ දන්වන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය. ඒ අනුව මේ සම්බන්ධ අවශ්‍ය සම්පත් සැපයීම පිළිබදව  පාර්ලිමේන්තුව, මහාභාණ්ඩාගාරය සහ ජනාධිපති ලේකම්වරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව කෝප් සභාපතිවරයා පැවසීය.  

 

පොල් වෙන්දේසියේ ඒකාධිකාරය නතර කොට විනිවිද බව ඇති කිරීමට ඔන්ලයින් ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීමට උපදෙස්

පොල් වෙන්දේසිය සදහා අන්තර්ජාලයේ මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) මගින් ලංසු තැබීමට පරිගණක මෘදුකාංගයක් සකස් කළද මේ වන විට එය අක්‍රීය තත්ත්වයේ පැවතීම පිළිබදව අවධානය යොමු විය. වඩාත් විනිවිදබවකින් යුතුව ‍වෙන්දේසිය සිදු කිරීමේ හැකියාව මෙමගින් හැකියාව ලැබෙන බවත් පොල් වෙන්දේසියේ පවතින මෙරට පවතින කිහිපදෙනෙකුගේ ඒකාධිකාරිය වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රමය හදුන්වා දුන් බවද මෙහිදී හෙළි විය. තැරැව්කරුවන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාව මත අධිකාරියේ ඇතැම් නිලධාරීන් හවුල්වීමෙන් මෙම ඔන්ලයින් ඩිජිටල් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අකමැත්ත පළ කරන බවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව වඩාත් විනිවිද බවකින් යුතුව මෙම වෙන්දේසිය සිදු කිරීම සදහා  මෙම ඔන්ලයින් ක්‍රමවේදය නැවත ඇති කිරීමට මාස තුනක් ඇතුළත කටයුතු කරන ලෙස නියෝග කරන ලදී.

 

දේශීය පොල් තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ප්‍රමිතියෙන් තොර ආනයනික පොල්තෙල් සීමා කිරීමේ අවශ්‍යතාව

මෙරට   පරිභෝජනය සදහා 2020-2022 කාලය තුළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 187,623ක් ආනයනය කර ඇති බවත් ෆාම් ඔයිල් මෙ.ටොන් 225,510 ක් ආනයනය කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ අනුව මෙරට පොල්තෙල් පරිභෝජනයෙන් 22%ක් දේශීය නිෂ්පාදනයෙන්ද 78%ක් ආනයනික තෙල් මත සපුරා ගෙන තිබීම විශාල ගැටලුවක් බවත් සාකච්ඡා විය. එසේම එම ආනයනික පොල්තෙල්වල ප්‍රමිතියේ පවතින ගැටලු පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ අනුව පොල් සංවර්ධන අධිකාරිය, පාරිභෝගික අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කැඳවා මේ පිළිබදව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට මෙහිදී තීරණය විය.

 

ඩිජිටල් දැන්වීම් පුවරුවක් ඉදිකිරීමට පෞද්ගලික ආයතනයකට ගිවිසුමක් තොරව රු. මිලියනක අන්තිකාරම් මුදලක් ගෙවීම

පොල් සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඩිජිටල් එළිමහන් වෙළද දැන්වීම් පුවරුවක් ඉදිකිරීමට රු. මිලියන 5කට ආසන්න කොන්ත්‍රාත්වකු යටතේ පෞද්ගලික ආයතනයකට 2021 වසරේ ගිවිසුමක් තොරව පැවරීම සිදුකර තිබිණි. මින් අන්තිකාරම් මුදලක් ලෙස රු. මිලියනකට ආසන්න මුදලක් ලබා දී ඇති බවත් යම් බලපෑමක් මත ගෙවීම සිදුකළ බවත් මෙහිදී මූල්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය. මේ අනුව සති දෙකක් තුළ මේ පිළිබද පුළුල් විමර්ශනයක් සිදු කර වගකියවයුත්තන් හෙළි කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි. මීට අමතරව විගණකාධිපතිවරයා විසින්  වෙනම විමර්ශනයක් සිදුකිරීමට ද මෙහිදී තීරණය විය.

 

සම්මුඛ පරීක්ෂණ සදහා ක්‍රමවත් පරිදි  පෙනී නොසිටි පුද්ගලයන් 6 දෙනෙකු හිටපු සභාපතිවරයා විසින් හිතුමතේ සේවයට බදවා ගැනීම

පොල් වගාකිරීමේ මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ සදහා ක්‍රමවත් පරිදි  පෙනී නොසිටි පුද්ගලයන් 6 දෙනෙකු හිටපු සභාපතිවරයා විසින් හිතුමතේ සේවයට බදවා ගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ පිළිබදව දැඩි අප්‍රසාදය පළ කළ කමිටුව සති දෙකක් තුළ විධිමත් වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී.  එසේම මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ජනාධිපති ලේකම්වරයාට ද දන්වා සිටීමට ද තීරණය විය.

 

සෞදි අරාබියේ ගස් මිලියන 50ක් සිටුවීමේ ව්‍යාපෘතියට කොහුබත් සැපයීම සදහා වහාම ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව

සෞදි අරාබියේ ගස් මිලියන 50ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බැවින් මේ සදහා අවශ්‍ය කොහුබත් ලබා ගැනීමේ ක්‍රියාවලියක් සදහා සාකච්ඡා පවතින බැවින් එය මෙරටට ලබා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය. මෙරටට ඩොලර් මිලියන ගණනක් ‍ආදායමක් මෙරටට ලබා ගත හැකි ව්‍යාපෘතියක් බැවින් මේ සම්බන්ධව වඩාත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි.

 

තවත් පරිපාලන ගැටලු සහ අක්‍රමිකතා රැසක් පිළිබද අවධානය

පොල් සංවර්ධන අධිකාරිය විසින් 2006 වසරේ ආරම්භ කළ දුන්කන්නාව කොහු සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු 2020 වසරේ සිට නතර කර තිබීම පිළිබද කමිටුව විසින් ප්‍රශ්න කරන ලදී. රු මිලියන ගණනක යන්ත්‍ර සූත්‍ර විනාශ වීමේ අවධානමක් පවතින බැවින් මේ පිළිබදව වාර්තාවක් මසක් ඇතුළත  ලබා දෙන ලෙස අධිකාරියේ සභාපතිවරයාට නියෝග කෙරිණි.

 

මීට අමතරව පූර්ව අනුමතියකින් තොරව පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට කොටසක් එක් කිරීමේදී රු. මිලියන 21 ක අලාභයක් සිදුවීම, මීගමුව බීජ පොල් එ්කකය වෙනුවෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා උපදේශක සමාගමක් වෙත රු. මිලියන 2 කට ආසන්න මුදලක් ගෙවී‍ම ඇතුළු  ගැටලු පිළිබදව ද විධිමත් වාර්තාවක් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.
 
එසේම පොල් පර්යේෂණ මණ්ඩලයේ පර්යේෂණ නිලධාරින් රු. මිලියන ගණනක් වියදම් කර පර්යේෂණ ආරම්භ කළ පසු ඉවත්වීම මගින් ආයතනයට විශාල අලාභයක් සිදුවීම නිසා පර්යේෂණ ආරම්භයට පෙර ආයතනයත් සමගම පවතින නෛතික බැදීම වැඩි කොට එම අලාභය අයකර ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ශාන්ත බණ්ඩාර, ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු මහින්දානන්ද අළුත්ගමගේ, ගරු දයාසිරි ජයසේකර, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නිමල් ලාන්සා, ගරු එස්.එම්.එම්. මුෂාරෆ්, ගරු සංජීව එදිරිමාන්න, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4

 



සම්බන්ධිත පුවත්

2026-09-15

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහන වල සියළුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසනපටි පැළඳීම සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14  දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.  එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට  ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද  අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,  නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


2026-09-14

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා  ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර්  ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්  මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද  මෙහිදී  ප්‍රකාශ  විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.


2026-09-08

තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගන්නවා – විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදය

විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු මේ බව සඳහන් කළහ.“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි. මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර  සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ. මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය CII (Coalition for Inclusive Impact) ආයතනය විසින් ලබා දෙන ලදී.


2026-09-07

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් කරුණු විමසයි

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලද   ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පසුගියදා කරුණු විමසන ලදී. එම කාරක සභාව ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී  මෙම කරුණු විමසීම සිදු විය. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි/පොලිස් අධිකාරිවරුන් පිරිසක් මෙම කාරක සභාවට කැඳවා තිබිණි. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද කාරක සභාව විසින්  කැඳවන ලදී. දිට්වා සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී  ඊට අදාළව ගන්නා ලද පියවර පිළිබඳව ජන මාධ්‍යයට දැක් වූ අදහස් සම්බන්ධයෙන් සවිස්තර කරුණු දැන ගැනීම පිණිස මෙසේ කාරක සභාවට හිටපු මන්ත්‍රීවරයා කැඳවා තිබිණි.කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks