01

E   |     |  

2023-06-16

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක තහනමට සහ කැනේඩියානු අගමැතිවරයා විසින් කරන ලද ජන සංහාරය පිළිබඳ අසත්‍ය චෝදනාවලට එරෙහිව දැඩිව පෙනී සිටින ලෙස ආංශික අධීක්ෂණ කමිටුවෙන් උපදෙස්

  • ආරක්‍ෂක අමාත්‍යාංශය  විසින් සිදු කරනු ලබන යුධ හමුදා භට පිරිස් නියමිත ප්‍රමාණගත කිරීම භට පිරිස් අඩු කිරීමක් නොවන බවත් එමගින් සහ හමුදා කඳවුරු ඉවත් කර ගැනීමෙන් කලාපීය ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට සහ පූජනීය ස්ථානවල ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවටත් ප්‍රකාශයක්
  • මෙරට වාර්ගික කණ්ඩායම් අතර සහජීවනය ඇති කිරීමේ සහ අන්තවාදය පරාජය කිරිමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

 

මෙරට හමුදා නිලධාරීන්ට පවනා ඇති ජාත්‍යන්තර සංචාරක තහනම හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යයට බලපාන බැවින් එයට එරෙහිව පෙනී සිටීමේ අවශ්‍යතාවය සහ මෙම ගැටලුව විසඳීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වීමේ අවශ්‍යතාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා (ජුනි 07)  පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

එයට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රකාශ කළේ තානාපතිවරුන් හරහා සහ ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වූ සෑම අවස්ථාවකදීම විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය එම රටවල අදාළ රජයන්ට දැඩි ලෙස දැනුම් දුන් බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ද අදාළ රජයන්ගෙන් ඉල්ලා ඇති බවද නිලධාරීන් විසින් දැනුම් දෙන ලදී.

මෙරට හමුදා සාමාජිකයින්ට පනවා ඇති සංචාරක තහනමට එරෙහිව පෙනී සිටිම සඳහා අවශ්‍ය අදාළ සියලු කරුණු ඒකරාශී කොට ඒවා අදාළ තානාපතිවරුන් වෙත ලබා දෙන ලෙස කමිටුව විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම දරුස්මාන් සහ OICL වාර්තා ද්විත්වයෙන්ම තහවුරු වන පරිදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නොවන හමුදා ගැටුමක් පැවති රටක් බැවින් එසේ හමුදා නිලධාරීන්ට සංචාරක තහනමක් පැනවීම ජිනීවා සම්මුතියටද පටහැනි බවත් ප්‍රකාශ කළ සභාපතිවරයා ඉල්ලා සිටියේ මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකාව දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බවට කැනේඩියානු පාර්ලිමේන්තුව යෝජනාවක් ඉදිරිපත් කර ඒකමතිකව අනුමත කොට ඇති බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. ඊට විරෝධය පළ කිරීම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගකිව යුතු නොවන බවට විදේශ අමාත්‍යාංශය විසින් වෙනත් රටවලට දැනුම් දුන් ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස කමිටුව විදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් නියමිත පරිදි ප්‍රමාණගත කිරීම සහ ඇතැම් ග්‍රාමීය පුදබිම්වලින් හමුදා කඳවුරු ඉවත් කර ගැනීම සහ එය ජාතික ආරක්ෂාවට ඇති කරන බලපෑම පිළිබඳව ද කමිටුව මෙහිදී විමසා සිටියේය. යුධ හමුදා භට පිරිස් නියමිත ප්‍රමාණගත කිරීම භට පිරිස් අඩු කිරීමක් නොවන බවත් හමුදාව ඉවත් කිරීම මගින් ජාතික ආරක්ෂාවට, කලාපීය ආරක්ෂාවට සහ පූජනීය ස්ථානවල ආරක්ෂාවට බලපෑමක් ඇති නොකරන ‍බවත්  ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පැවසීය.

තවද, මෙරට වාර්ගික කණ්ඩායම් අතර සහජීවනය ඇති කිරීම පිළිබඳව ද කමිටුව සිය අවධානය යොමු කළ අතර, අන්තවාදය පරාජය කිරීම සදහා කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු චන්දිම වීරක්කොඩි, ගරු යූ.කේ.සුමිත් උඩුකුඹුර, (ආචාර්ය) ගරු මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය, ගරු නිමල් පියතිස්ස සහ ආරක්‍ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවල  ලේකම්වරයන්, අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගි වූහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-06-03

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පැවැත්විණි. පොලිස් ස්ථාන ශක්තිමත් කිරීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා පොලිස් නිලධාරීන්ගේ නියෝජනය සහ කිලිනොච්චිය ආශ්‍රිත වැලි ජාවාරම මැඩලීම ඇතුළු පොලිස් සේවාව හා සම්බන්ධව ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොලිස්පතිවරයා,  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-02

වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් වැඩිදියුණු කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාවෙන් රු. මිලියන 1000ක්

වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීමට සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා මේ වසරේදී රු. මිලියන 1000ක් වෙන් කර  ඇති බවත් අදාළ යන්ත්‍රෝපකරණ දකුණු සහ උතුරු පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමකදී අදහස් දක්වමින්  ගරු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.සමුපකාර සමිතිවලට වී වේලන යන්ත්‍ර ලබා‍ දීම සඳහා රුපියල්  මිලියන 500ක ව්‍යාපෘතියක් සහ නිෂ්පාදන සමුපකාර සඳහා නිෂ්පාදන සහ ඇසුරුම් යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමට රු. මිලියන 100ක ව්‍යාපෘතියක්  මේ වසරේ ක්‍රියාත්මක බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය. එසේම, වී, සහල් බවට පත් කිරීම සහ අල මිල දී ගැනීමේ ක්‍රියාවලියට සමූපකාර තොග වෙළඳ සංස්ථාව මැදිහත් වී ඇති බවත්, අල කිලෝ ග්‍රෑම් 1 ක් රු. 220 ක මුදලකට මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස ආයතනය හරහා ඒවා විකිණීම සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.එසේම, සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල් ‍ආනයනය කළ අප්‍රේල් මාසය තුළ සහල් මෙට්‍රික් ටොන් 120,000 ක් ආනයනය කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් පමණක් නැවත සහල් ආනයනය පිළිබඳව සලකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.ඇතැම් සමූපකාර සමිතිවල සිදුවන වංචා සහ දූෂණ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. අදාළ චංචනික ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් කිසිදු දඩුවමකින් තොරව  නැවතත් එම සමිතිවල තනතුරුවලට පත් වීම ඇතුළු ගැටලු පිළිබඳව මන්ත්‍රීවරු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.  පවතින නෛතික දුර්වලතා ඇතුළු අනෙකුත් අඩුපාඩු කඩිනමින් විසඳීම පිළිබඳව අමාත්‍යවරයා කරුණු විමසීම් සිදුකරමින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය . මහපොළ ශිෂ්‍යාධාර ලබා ගත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංගමයක් අභිනවයෙන් පිහිටුවා ඇති බවත්, ඒ සඳහා දායකත්වය ලබා දෙමින් සියලු ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එක් වන ලෙසත් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව අනාගත ශිෂ්‍ය ප්‍රජාවේ උන්නතිය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම සංගමයට හැකි වනු ඇති බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කළේය. සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය නවීකරණය කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම, නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව වන කරුණු ඇතුළු මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා ගරු නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සමූපකාර සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ  යටතේ පවතින ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 


2026-05-29

ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ අයවැය සඳහා යෝජනා ලබා ගැනේ

වර්තමාන රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව “නිර්බාධිත පරිසරයක් - අන්තර්කරණය වූ සමාජයක්” නිර්මාණය කිරීම උදෙසා, ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සඳහා අයවැය යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  විසින් පවත්වන ලදි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එම  සංසදය පාර්ලිමේන්තුවේදී මේ මස 25 සහ 27 දිනයන්වලදී රැස්වූ අවස්ථාවේදීය. ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය මෙන්ම ඔවුන්ට සේවා සහ පහසුකම් සැලසීම සඳහා පවතින බාධක හඳුනාගනිමින්, ඊට තිරසර විසඳුම් ලබාදීම උදෙසා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු  සංසදය බහුවිධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක වෙමින් පවතී. එහි දිගුවක් ලෙස 2027 වර්ෂයට අදාළ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම තුළින් ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත්, ඔවුන්ගේ පූර්ණ හා ඵලදායි සමාජ සහභාගීත්වය වඩාත් සංවිධිත ආකාරයට තහවුරු කිරීමත්, අපේක්ෂා කෙරේ.ඒ අනුව, දැනට ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත්,  නව යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාත්, ආබාධ සහිත තැනැත්තන්ගේ සංවිධාන නියෝජිතයින්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයින් සහ ආබාධ සහිත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම යෝජනා ලබාගැනීම සිදු විය. මෙම අවස්ථාව, ආබාධ සහිත තැනැත්තන් ජාතික අයවැය ලේඛනයේ අන්තර්ගතය සම්බන්ධයෙන් සෘජු සහ ජාතික මට්ටමේ උපදේශන ක්‍රියාවලියකට දායක කරගත් පළමු අවස්ථාව බව ගරු සභාපතිවරයා වැඩසටහන අතරතුර අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. දින දෙකක් පුරාවට, වාචික ඉදිරිපත් කිරීම් සමඟ ලිඛිත යෝජනා කට්ටල 50 ක් පමණ මෙහිදී විවිධ ආබාධිත කණ්ඩායම් නියෝජනය කරන සංවිධානය මගින් සංසදය වෙත ඉදිරිපත් කරන ලදි. මූල්‍ය දීමනා සහ සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව, ප්‍රවේශ්‍යතාව සහ යටිතල පහසුකම්, සෞඛ්‍ය සහ සහායක තාක්ෂණික උපකරණ, රැකියා සහ ජීවනෝපායන්, නීති ආධාර, දත්ත කළමනාකරණය සහ  ආබාධිතභාවයන්ට අදාළ අනෙකුත් නිශ්චිතව හඳුනාගත් ප්‍රමුඛතා ඇතුළුව ආබාධ සහිත තැනැත්තන්ට බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර මෙම යෝජනා මගින් ආවරණය විය.ඉදිරිපත් වූ සියලු යෝජනා පරීක්ෂා කර, ප්‍රමුඛතාව අනුව ගොනුකර, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන  අමාත්‍යාංශයට සංසදය ඔස්සේ සෘජුවම ඉදිරිපත් කරන බවට ද ගරු සභාපතිවරයා රැස්වීම අවසානයේ සහතික විය. මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීම සඳහා එහි සාමාජික මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වූහ. ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය ලබන මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) විසින් මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සහ මූල්‍ය සහාය දක්වන ලදී. 


2026-05-29

වැටුප් සහිතව වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

වැටුප් සහිතව වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා පාර්ලිමේන්තුයව්දී සිදු කෙරිණි. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.   විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ක් 500ක් පමණ  වැඩ තහනමට ලක්ව සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් රියදුරන් තවමත් වැටුප් ලබා ගනිමින් සිටින බවත් පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ. විවිධ නීතිමය තත්ත්වයන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග නිසා  මෙලෙස වැටුප් ගෙවීම සිදු වන බවත් එසේ වැඩ තහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස්රථ වල රියදුරු වෘත්තියේ යෙදෙමින් ආදායම් උපයන බවත් නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අවශ්‍ය නීති උපදෙස් කඩිනමින් ලබාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ගරු අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.එසේම ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම සඳහා වන අනු කාරක සභාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව, කාර්යක්ෂම සහ සතුටුදායක සේවා උත්පාදනය කරන ස්ථානයක් බවට පත් කිරීම සඳහා වන අනු කාරක සභාවේ අවසන් වාර්තාව සහ අතුරු වාර්තාව පිළිවෙළින් ඉදිරිපත් කිරීම සිදු විය.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගැටලු මෙහිදී ගරු මන්ත්‍රීවරයන් විසින් කාරක සභා සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. මේ පිළිබඳ කරුණු විමසූ කාරක සභා සභාපතිවරයා අවශ්‍ය පියවර ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග ගුණසේකර, (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි. | පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks