logo

E   |     |  

2023-06-01

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙරටට වාසි වන පරිදි ප්‍රතිව්‍යුහගත කරනවා - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ අත්වන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය බලාපොරොත්තු වන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පැවසීය.

වරාය සහ ගුවන් සේවා පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතීත්වය දරමින් 2023.05.24 වැනිදා පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව පැවසීය.  

ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බවත් ඒ අනුව ලසාඩ් සමාගමට වගකීම පැවරී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. රටට වැඩි ප්‍රතිලාභයක් ඇති කර ගැනීම සඳහා මෙම කාර්ය සිදු කළ යුතු බවට රජය ඍජු ස්ථාවරයක සිටින බවත් ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්වලදී ගමනාන්තයන් ඇතුළු ගොඩබැස්සවිය හැකි රටවල් තීරණය සදහා අයිතියක් ඇති බැවින් මෙකී සියලු සැලකිල්ලට ගැනීමට අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය විය. එබැවින් ප්‍රතිව්‍යුහගතකීරීමේදී ඒ සදහා භාවිත කළ හැකි හවුල්කාරිත්වයන් සම්බන්ධයෙන් බොහෝ විකල්ප තිබෙන බවත් ඉතා වාසිදායික ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව දේශපාලනඥයන් නොවන වෙනම විද්වත් කමිටුවක් මුදල් අමාත්‍යාංශයෙන් මේ වන විට පත්කර ඇත.  ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙම කමිටුව ලසාඩ් සමාගම සමඟ සාකච්ඡා කරමින් කරමින් සිටී. එබැවින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එම කමිටුව තීරණ ගනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ සමගම යාපනය ගුවන් තොටුපළ වෙත දැනට සතියකට දින හතරක් ගුවන් සේවා ක්‍රියාත්මක වන බවත් එය සතියේ දින හතක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. යාපනය ගුවන් තොටුපළේ ධාවන පථය දීර්ඝ කිරීම සඳහා ඉන්දියාවෙන් ණය මුදලක් අපේක්ෂා කරන බවත්, ණය පහසුකම ලැබුණු පසු ගුවන් තොටුපළ පුළුල් කිරීමේ කටයුතු සිදු කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම රැස්වීමේදී සීමාසහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව, ජයබහාලුම් පර්යන්ත සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ආදී ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මෙම ආයතන මගින් ඉදිරිපත් කොට තිබූ වාර්ෂික වාර්තා ද අනුමතිය හිමිවිය.

මීට අමතරව, කාරක සභාව වෙත යොමු කරන ලද 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග 2 ක්ද 1971 අංක 52 දරන වෙළද පනත යටතේ නියෝග 13 ක්ද 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු  ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලද එක් නියෝගයකටද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

මෙම රැස්වීමට ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක් ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ජේ.සී අලවතුවල, ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු වීරසුමන වීරසිංහ, ගරු ජයන්ත සමරවීර, ගරු ජගත්කුමාර සුමිත්‍රආරච්චි, සහ ගරු මිලාන් ජයතිලක,  යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

1 3

 



සම්බන්ධිත පුවත්

2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2026-06-18

රාජ්‍ය අයවැයට ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රවේශයක් එක් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම  රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද  සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද  සංසදය විසින්  මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.


2026-06-17

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු  රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-17

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09)  පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks