E   |   த   |  

2023-06-01

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

2022-12-06 දින ‘කෝප්’ රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.25 දින පැවති කෝප් රැස්වීමේදී  පෙර පැවති රැස්වීමේ දී ලබා දෙන ලද නිර්දේශවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිය.

එහිදී පහත් සදහන් කරුණු  පිළිබද විශේෂ අවධානය යොමු විය.

 

•    අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නද පිළිගත හැකි සංයුක්ත සැලැස්මක් තවමත් නොමැති වීම

ආයතනයට අදාළව සංයුක්ත සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කළද තවමත් නිල වශයෙන් ඉදිරිපත් කළ සැලැස්මක් නොමැතිවීම පිළිබඳව සභාපතිවරයාගේ දැඩි අප්‍රසාදය එල්ල විය. රෝහලේ ආකෘතියේ ස්වභාවය පිළිබද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය සහ අමාත්‍යාංශ නිලධාරීන්ට රෝහල කුමන ආකෘතියක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන්නේද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් නොවන බව මෙහිදී නිරීක්ෂණය විය. ව්‍යාපාර ඒකකයක්, මානව සම්පත් අංශයක්, අලෙවිකරණ හෝ ව්‍යාපාර සංවර්ධන අංශයක් නොමැතිකම පිළිබඳව සභාපතිවරයා විමසා සිටියේය. එය රජයේ රෝහලක්ද, ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක්ද, නැතිනම් මේ දෙවර්ගයටම අදාළව දෙමුහුන් ආයතනයක්ද යන්න ඔහු නැවත නැවතත් මණ්ඩලයෙන් විමසා සිටියේය. මෙහිදී පැමිණ සිටි සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර එය තවමත් තහවුරු කර ගැනීමට නොහැකි වූ බව රෝහල් මණ්ඩල සාමාජිකයෝ පැවසූහ.

තවද, මණ්ඩලය විසින් සිදු කළ බව කියන බඳවා ගැනීම් පිළිබඳව කළමණාකාර සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් හෝ දැනුම් දීමක් සිදු කර නොතිබීම හේතුවෙන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් ව්‍යාකූලත්වයක් ඇති බව අනාවරණය විය. අවම වශයෙන් බඳවා ගැනීම සාධාරණීකරණය කිරීමට නිසි බදවා ගැනීමේ පටිපාටියක් (SOR) නොතිබූ අතර එය රෝහල පාලනය කරන පනත පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

කෝප් සභාපතිවරයාගේ සහ සාමාජිකයින්ගේ දීර්ඝ හා පුළුල් විමර්ශනයකින් අනතුරුව, රෝහලට ගැළපෙන ආකෘතිය කඩිනමින් තීරණය කිරීම සඳහා කෝප් කමිටුවේ අනු කමිටුවක් පත් කිරීමට සභාපතිවරයා විසින් තීරණය කරන ලදී. ඉන් අනතුරුව සභාපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේ කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලද සංයුක්ත සැලැස්ම වෙනුවට නිසි සංයුක්ත සැලැස්මක් සකස් කිරීම වෘත්තීය ආයතනයකට පවරා දෙන ලෙසයි.

 

• පසුගිය කෝප් රැස්වීමේදී නිකුත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම

පසුගිය කෝප් කමිටු රැස්වීමෙන් අනතුරුව මාසයක් තුළ රෝහල් මණ්ඩලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තා කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කෙරිණි. මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් පෙන්වා  නොමැති බව විගණකාධිපති වාර්තාවෙන් තහවුරු විය.

ආයතනයේ පාඩු ලබන ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයට කළමනාකරණ ශක්‍යතාවන් සහිත වෘත්තිකයන් පත් කිරීම සඳහා මෙන්ම පත්කිරීමේ පටිපාටිය සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා ඇත. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් පෙන්වා නොතිබිණි.

 

• රෝහල පරිශ්‍රයට අයත් ඉඩමේ ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන නොතිබීම

මිනින්දෝරු ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මුලින් නිවැරදි පිඹුරුපත් සැකසීමක් සිදුකර තිබිණි. කෙසේ වෙතත්, එතැන් සිට, අනවසර පදිංචිකරුවන් ඉඩමේ කොටස් ආක්‍රමණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබිණි. 2015 දී නව ගොඩනැගිලි ව්‍යුහයන් ඉදිකිරීම සදහා භූමියේ නිවැරදි සැලැස්මක් අවශ්‍ය විය. රෝහල් මණ්ඩලය කියා සිටියේ ඒ අවස්ථාවේ ඉඩමේ මුල් සැලැස්ම සොයාගත නොහැකි බවයි. ඉන් අනතුරුව ඉඩම් මැනීම සඳහා පෞද්ගලික මිනින්දෝරුවරයකුට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත. ඉන්පසු මුල් භූමි සැලැස්ම ටික කලකට පසුව සොයා ගෙන ඇති බවත් හෙළිවිය.

කෙසේ වෙතත්, අධ්‍යක්‍ෂවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුග්‍රහය යටතේ අවසන් කර තිබූ නව මැනුම් වාර්තාවේ අනවසර පදිංචිකරුවන් විසින් අනවසරයෙන් හිමිකම් කියන ඉඩම ඇතුළත් කර නොතිබුණි.

මෙම තත්ත්වය පිළිබද සොයා බලා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා, ඉහත සඳහන් කළ කෝප් කමිටුව විසින් පත් කළ අනුකමිටුවට උපදෙස් දුන්නේය.

ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා 2023-06-20 දින නැවත කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස මණ්ඩලයට උපදෙස් දෙන ලදී. තවද, 2023-07-20 දින, කෝප් කමිටුව විසින් පත් කරන ලද අනුකමිටුව විසින් රෝහල් මණ්ඩලය කැඳවා ඉඩම් ගැටලුව සහ ඉල්ලා සිටින  වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් සොයාබැලීමට ද තීරණය විය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඇති වටිනාකම මෙහිදී කමිටු සභාපතිවරයා අවධාරණය කරන ලදී. අද වන විටත් රුපියල් මිලියනයකට අඩු මුදලකට හදවත් සැත්කමක් මේ රෝහලෙන් සිදු කළ හැකි බව පැවසූ ඔහු, තම ආයතනය විධිමත් ලෙස සකස් කර දැක්මක් සහ නිසි ආයතනික මඟ පෙන්වීමක් සඳහා කඩිනමින් ප්‍රමුඛත්වය දෙන ලෙස අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, ගරු ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු දයාසිරි ජයසේකර, ගරු එරාන් වික්‍රමරත්න, ගරු ජයන්ත සමරවීර, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රආරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු මධුර විතානගේ සහ ගරු මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

6 4

 



සම්බන්ධිත පුවත්

2026-11-16

අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලි මංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා විය. අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ සැටලයිට් කොලර් තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්‍රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට ලක් විය.මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, උපුල් කිත්සිරි, නීතීඥ එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 


2026-11-14

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක් - යානා සංචිතය ඉහළ නැංවීම සහ ණය බර පාලනය කිරීම පිළිබඳ අවධානය

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.දැනට පවතින ගුවන් යානා 23 කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම ගුවන් යානා වර්ෂ 12 ක් පමණ පැරණි වීම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන තාක්ෂණික දෝෂ සහ ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත හෝ ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමා හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය විය.ගුවන් යානා ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ ආශ්‍රිත දීර්ඝ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්, එය ගැසට් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිට්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සාකච්ඡා විය. 2029 වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29 ක් දක්වා ඉහළ නැංවීම, පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් බවද නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව මෙහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කර ගැනීම, ඉන්ධන පිරිවැය පාලනය කිරීම සහ ගුවන් සේවයේ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි බලපාන බව මෙහිදී සාකච්ඡා විය.තවද, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටුව මඟින් නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් හෝ පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලන බව ද සඳහන් විය.ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන හෝ ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර ජයමහ, රවීන්ද්‍ර බණ්ඩාර, මංජුල සුරවීර ආරච්චි, චතුර ගලප්පත්ති, ධනුෂ්ක රංගනාත්, ජගත් විතාන, ශාන්ත පද්ම කුමාර සුබසිංහ සහ නීතීඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-14

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පුළුල් සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ  අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මේ සම්බන්ධයෙන් කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ ඒවා ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව අවධාරණය කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක සපුමල් රන්වල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ චතුර ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-13

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks