පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-05-18
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්’ (Safe Migration Promotion Unit) මාස තුනක නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදාළ පාර්ශ්වවලට උපදෙස් ලබා දෙන ලදී.
එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙලෙස උපදෙස් ලබා දීම සිදුවිය.
2022 නොවැම්බර් මාසයේදී ඕමානයේ සිදුවූ බවට වාර්තා වූ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මේ අනුව මෙම ඒකකය පිහිටුවීමෙන් සංචාරක වීසා මත ගොස් පසුව රැකියා වීසා ලබාගෙන සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් වැළැක්විය හැකි බව පෙන්වා දුන් කාරක සභාව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර මාස තුනක කාලයකින් වාර්තාවක් ලබා දෙන ලෙසත් උපදෙස් දෙන ලදී.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සමන්විත විශේෂ කාර්ය සාධක බලකායක් හරහා මෙම ඒකකය ක්‍රියාත්මක කළ හැකි බවත් මෙහිදී සාකච්ඡා විය.
සංචාරක වීසා මත රැගෙන ගොස් ඕමානයේ රැකියා ලබා දෙන ව්‍යාජ ඒජන්තවරුන්ගෙන් අහිංසක ශ්‍රමිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා දැනට අත්හිටුවා ඇති, මීට පෙර ක්‍රියාත්මක වූ විරෝධතා නොමැති සහතික ක්‍රමය (No Objection Certificate) නැවත ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසද කමිටුව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය. මේ පිළිබඳව දැනටමත් ඕමාන රජය සමඟ සාකච්ඡා කර ඇති බවත් එය කඩිනම් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යාංශයේ නිලධාරීහු පෙන්වා දුන්හ.
පිලිපීනයේ ක්‍රියාත්මක වන දිවුරුම් පෙත්සම් ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දිම සිදුවිය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත සදහා වූ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ද එමගින් උප නියෝජිතයන්, අතරමැදියන් නියාමනය නිසිපරිදි සිදු කිරීම අපේක්ෂිත බවද නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. එමෙන්ම විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ව්‍යාජ විදෙස් රැකියා නියෝජිතායතන විසින් සිදුකරනු ලබන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දැනුවත් කරන ලෙස විශේෂ කාරක සභාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දෙන ලදී.
මෙම රැස්වීමට විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහූ සහභාගී වූහ.
2026-07-16
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත (National Youth Policy) සම්බන්ධයෙන් තාරුණ්‍යයේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු කෙරිණි.ඒ, තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ හයවන රැස්වීම ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.මෙහිදී ජාතික තාරුණ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර, තාරුණ්‍යයේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් වඩාත් ඵලදායී ලෙස ප්‍රතිපත්තියට ඇතුළත් කර ගැනීම සඳහා සංසදයේ සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමට ද අවධානය යොමු කෙරිණි.තරුණ ප්‍රජාවගේ හඬ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස එක්කර ගැනීම සඳහා තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය අඛණ්ඩව කටයුතු කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම සංසදය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය.
2026-07-16
අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී.ඒ, ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.මෙහිදී අනු කාරක සභාවේ සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් උක්ත වාර්තාව කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුව විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුව ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ නිර්දේශ ඒකී වාර්තාවට ඇතුළත් වේ.ඉන් අනතුරුව වාර්තාවේ අන්තර්ගත කරුණු පිළිබඳව කාරක සභාවේ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා විමසා බැලූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව එම වාර්තාව සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.මෙම රැස්වීමට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ.
2026-07-16
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 සිට 2024 දක්වා වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA/කෝපා) දීර්ඝ ලෙස සලකා බැලීය.ඒ, එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ සේවා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයන්ට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ කාරක සභාව, ඉතිරි නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ සහ සුගත් තිලකරත්න යන මහත්වරුන් ද, කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ, ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, හෙක්ටර් අප්පුහාමි, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි, වෛද්‍ය ජනක සේනාරත්න සහ සුනිල් රත්නසිරි යන මහත්වරු ද සහභාගි වූහ.
2026-07-16
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බන්ධනාගාර ආශ්‍රිත ගැටලු සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදි කිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීම, සේවා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි බඳවා ගැනීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය ඉහළ නැංවීම, නවීන තාක්ෂණික උපකරණ ලබා ගැනීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය විය.බන්ධනාගාර තදබදය පාලනය කිරීම හුදෙක් පරිපාලනමය කරුණක් නොව ජාතික වැදගත්කමක් සහිත කරුණක් ලෙස සලකා, අධිකරණය, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇතිව කටයුතු කිරීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ධර්මප්‍රිය විජේසිංහ, එම්.කේ.එම්. අස්ලම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, නීතිඥ තුෂාරි ජයසිංහ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මෙන්මගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන් සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



