පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-04-03
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, සීමාසහිත ස්වාධීන රූපවාහිනී ආයතනය, සැලසිනේ රූපවාහිනී ආයතනය ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති පාඩු ලබන ආයතන ලාබ ලබන තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ගරු බන්ධුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මාර්තු 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී ප්‍රධාන වශයෙන් සැලසිනෙ ආයතනය පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එම ආයතනය යම් යම් දැන්වීම් බාහිර පාර්ශ්ව වෙත ලබාදී නිෂ්පාදනය කරගැනීම සහ කැමරා උපකරණ කුලී පදනම මත ලබාගැනීම පිළිබඳව අමාත්‍යවරයා විසින් නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ අභ්‍යන්තර වෘත්තිකයින්ගේ නිර්මාණශීලීත්වය පිළිබඳ ගැටලුවක් පවතින බවත් ඊට හේතුව සුදුසුකම් රහිත පුද්ගලයින් සේවයේ සිටීම බවත්ය. එසේම බාහිර පාර්ශ්ව වෙත ලබාදී නිෂ්පාදන සිදු කිරීම ලාභදායී බවත් නිලධාරීන් සඳහන් කළේය.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ අතිරික්ත සේවකයින් මෙම සියලුම ආයතන වලින් ඉවත් කිරීමට අවධානය යොමුකර ඇති බවයි.
එසේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මේ වන විට ලාබ ලබන තත්ත්වයේ නොපැවතීමත් එය ලාබ ලබන ආකාරයට පරිවර්තනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ අතර එම ආයතනයේද අතිරික්ත සේවක සංඛ්‍යාව ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා විය.
තවද සීමාසහිත ස්වාධීන රූපවාහිනී ආයතනයේ වර්තමාන ක්‍රියාකාරිත්වය සහ එම ආයතනය ලාභදායී තත්ත්වයට පත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
තවද සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යන ආයතනවල වාර්ෂික වාර්තා අනුමත කිරීමද මෙහිදී සිදු විය.
මෙම කාරක සභාව සඳහා අමාත්‍ය ගරු මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ශාන්ත බණ්ඩාර, ගරු ඩී. බී. හේරත්, ගරු සිසිර ජයකොඩි, ගරු ජානක වක්කුඹුර, ගරු අශෝක ප්‍රියන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්.එම්. එම්. මුෂාරෆ්, ගරු සංජීව එදිරිමාන්න, ගරු සමන්ප්‍රිය හේරත්, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු චන්දිම වීරක්කොඩි, ගරු ෆයිසල් කාසිම්, ගරු එම්. එස්. තවුෆික්, ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු හේෂා විතානගේ, ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි, ගරු මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා, ගරු කුලසිංගම් තිලීපන්, ගරු වී. රාදක්‍රිෂ්නන්, ගරු වීරසුමන වීරසිංහ, ගරු ගුණතිලක රාජපක්ෂ, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු මංජුලා දිසානායක, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ ගරු ඒ. එල්. එම්. අතාවුල්ලා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



