පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු (මහාචාර්ය) රන්ජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (මාර්තු 08) පාර්ලිමේන්තුවේදී රැස් විය.
සීමාසහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ 2019, 2020 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි.
සීමාසහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව 2021 වර්ෂ සඳහා සිය ආයතනික වාර්ෂික වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිළිබඳ කෝප් කමිටු සභාපතිවරයා මෙහිදි විමසා සිටි අතර එලෙස වාර්ෂික වාර්තා ප්‍රමාද කිරිම මගින් ආයතනය විසින් පාර්ලිමේන්තුව මගහරින බවක් ගම්‍ය වන බවද පැවසීය. මෙහිදී කෝප් සාමාජිකයන් පෙන්වා දුන්නේ වාර්ෂික වාර්තා ප්‍රමාද වීම නිසා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ ආයතන වල වාර්ෂික මූල්‍ය තත්ත්වය නිසි අවබෝධයක් ලබා ගැනිමට නොහැකි වී ඇති බවයි.
එහිදී රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ මේ වන විට අදාළ වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි. ප්‍රමාදය පැවතියේ පරිවර්තන කටයුතුවලදී බවත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත් නිලධාරිහු පෙන්වා දුන්හ. ඒ අනුව කෝප් කමිටුව නිර්දේශ කළේ ප්‍රමාද වී ඇති සියලු වාර්ෂික වාර්තා මාසයක කාලයක් තුළ ඉදිරිපත් කරන ලෙසයි.
එමෙන්ම සීමාසහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව යටතේ මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපත්වල පිහිටුවා ඇති විශාල මූල්‍ය පාඩුවක් ලබා තිබෙන ශාඛා ද්විත්වය තවමත් විධිමත් ආකාරයට වසා දැමීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී සංස්ථාවේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා පෙන්වා දුන්නේ මේ වන විට අදාළ ශාඛා ක්‍රියාත්මක නොවන නිසා ඒ වෙනුවෙන් මුදලක් වැය නොවන බව සහ ඒවායේ දැනට ඇති මුදල් ඒ ඒ රටවල ලංකා බැංකු ශාඛාවල තැන්පත් කොට ඇති බවයි. එමෙන්ම මාලදිවයිනේ දේශීය ආදායම් බදු අධිකාරියෙන් බදු නිශ්කාෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු අදාළ ආයතනය වසා දැමීමේ කටයුතු අවසන් කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය. මෙහිදී උක්ත කාර්යය අවසන් කිරීම වෙනුවෙන් කෝප් කමිටුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සිය නිරීක්ෂණ යැවීමට පියවර ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.
සීමාසහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට අයත් දැනට ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. ජනාධිපති ලේකම් කාර්යාලයට බදු පදනම මත ලබාදී තිබුණු රුපියල් 798,000,000 ක ඇස්තමේන්තුගත සාධාරණ වටිනාකමකින් යුත් දේපල එකඟ වූ පසුගිය වසරේ නැවත සංස්ථාවට ලබා දුන් නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යළිත් ලබා ගත් බව මෙහිදී අනාවරණය විය.
මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ උක්ත දෙපාර්ශවයන් අතර පැවති සාකච්ඡාවේදී අදාළ ඉඩම භාවිත කළ කාලය සඳහා හිග කුලිය කොටස් වශයෙන් ගෙවීමටත් 2023 ජනවාරි සිට නව ගිවිසුමකට එළඹීමටත් ජනාධිපති ලේකම් කාර්යාලය එකඟ වූ බවයි.
මෙහිදී කෝප් සභාපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා සිටියේ සති දෙකක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට සම්බන්ධ ව්‍යාජ තැරැව්කරුවන්ට එරෙහි විමර්ෂණ වල ප්‍රගතිය පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය.මේ පිළිබඳ 2014දී අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිලි කර තිබෙන අතර එහි ප්‍රගතිය සහ වත්මන් තත්ත්වය පිළිබඳ කමිටුව විමසා සිටියේය.
රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණය කොට තිබූ අවධියේ මෙම සිදුවීම සිදුව ඇති බවත් අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිලි කර තිබෙන නිසා ඒ පිළිබඳ සොයා නොබැලූ බවත් මෙහිදී ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේය. කෙසේවෙතත් ඒ පිළිබඳ සොයාබලා තත්ත්වය වාර්තා කළහැකි බවද හෙතෙම දන්වා සිටියේය.
කෝප් කමිටුව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේ මේ පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි.
එමෙන්ම ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථා ව්‍යුහය තුළ දිගු කාලීන රක්ෂණ ව්‍යාපාරය සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය වෙන වෙනම සමාගම් දෙකකට වෙන් නොකිරිම පිළිබඳ කෝප් කමිටුව මෙහිදී නිලධාරින්ගෙන් විමසා සිටියේය.
මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ කමිටුව විසින් කරන ලද සංසන්දනාත්මක විශ්ලේෂණයකට අනුව 2021දී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපොල 21%කින් වර්ධනය වි ඇති නමුත් ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ ජිවිත රක්ෂණ වෙළඳපොල වර්ධනය වී ඇත්තේ 14%ක් බවයි. ලංකාවේ අනෙකුත් රක්ෂණ ආයතන සියල්ලම දිගු කාලීන රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ වෙන වෙනම පවත්වාගෙන යන බවත් සභාපතිවරයා පැවසීය.
එහිදී සංස්ථා සභාපතිවරයා දැන්වූයේ රජයට අයිති ආයතනයක් ලෙස එසේ වෙන් කිරීම අත්‍යාවශ්‍ය නොවන නමුත් ඒ පිළිබඳ නිසි තීරණයක් ලබා දෙන ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි. මේ පිළිබඳ කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර සභාපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ ලබා දුන්නේ මේ පිළිබඳ තීරණයක් කඩිනමින් ලබා දෙන ලෙසයි.
ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට අයත් වෙළඳපොල කොටස් වර්ධනය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳවද කෝප් කමිටුව සිය අවධානය යොමු කළේය. මෙහිදි නිලධාරීන් සඳහන් කළේ පසුගිය වසරේ තම වෙළඳපොල කොටස්වල යම් පසුබෑමක් ඇති වුවද මේ වන විට එය වර්ධනය කර ගැනීමට කටයුතු කරමින් පවතින බවයි.ඒ නිසාම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි වන විට ජීවිත රක්ෂණ වෙළඳපොලෙහි සැලකිය යුතු වර්ධනයක් ඇතිවී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.
ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව සතු සම්පූර්ණ වත්කම් එකතුව රුපියල් බිලියන 184ක් බව පෙන්වා දුන් කෝප් සභාපතිවරයා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත නිර්දේශ කළේ රක්ෂණ සංස්ථාවේ ඉදිරි වෙළඳ ප්‍රවර්ධන උපායමාර්ගික සැලසුම් පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මනින් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසයි.
රක්ෂණාවරණ ලබා ගැනීමේදී රක්ෂණ සමාගම් විසින් නිවැරදිව ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් රක්ෂණ හිමියන් අපහසුතාවයට පත් වන බව කෝප් සාමාජිකත්වය මෙහිදි පෙන්වා දුන්නේය. විශේෂයෙන් රක්ෂණාවරණ ලබා ගැනීමේ අදාළ බිල් පතේ මුල් පිටපත ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අවස්ථාවන්හිදී රක්ෂණ හිමියන් දැඩි අපහසුතාවයට පත්වන බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී සභාපතිවරයා දන්වා සිටියේ නිසි පරිදි රක්ෂණ හිමියන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ කාර්ය මණ්ඩලය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. විධායක නිලධාරිවරයා සඳහන් කළේ සිය සංස්ථාවේ ස්ථිර කාර්ය මණ්ඩලයේ 2535 ක් සහ කොන්ත්‍රාත් පදනම මත සේවකයන් 232ක් සේවය කරන බවයි. සේවකයන්ගේ කාර්ය සාදන මට්ටම් ඇගයීම පිණිස කාර්ය සාධක දර්ශකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය. සංස්ථාවේ පූර්ණ මානව සම්පත් විගණනයක් සිදු කොට වාර්තාවක් මාස හයක් තුළ කමිටුවට ඉදිරිපත් කරන ලෙස රක්ෂණ සංස්ථා සභාපතිවරයාට කෝප් කමිටුව දැනුම් දුන්නේය.
රක්ෂණ සංස්ථාවේ ඉහළ කලමණාකාරීත්වයේ වැටුප් තල තීරණය කිරීම සඳහා මැනේජ්මන්ට් සර්විස් රක්ෂණ සමාගම නමින් ආයතනයක් පිහිටුවා තිබීමේ අවශ්‍යතාව පිළිබඳ කෝප් කමිටුව රක්ෂණ සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වයෙන් ප්‍රශ්න කළේය. ආයතනයේ ඉහළ කළමණාකාරිත්වයේ 93 දෙනෙක් සඳහා වැටුප් ගෙවීමට රුපියල් මිලියන 700ක් වැය කෙරෙන බව මෙහිදී අනාවරණය විය.
මෙහිදී නිලධාරීන් සඳහන් කළේ රක්ෂණ වෙළඳපොළ ඉතාම තරඟකාරී එකක් බැවින් ඉහළ කළමණාකාරීත්වයේ වැටුතලවල රහස්‍යභාවය රැකීම අත්‍යාවශ්‍ය බවයි. මෙම සමාගම පවත්වාගැනීම පිළිබඳ නිවැරදි මතයක් සති දෙකක් තුළ දන්වන්නැයි කෝප් සභාපතිවරයා සංස්ථා සභාපතිවරයාට යෝජනා කළේය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ශාඛාවල කාර්ය සාධනය පිළිබඳ සංස්ථාව විසින් නිසි ඇගයීමක් සිදු කොට නොමැති බවට කරුණු දැක්වූ කෝප් සභාපතිවරයා අදාළ ශාඛා සම්බන්ධ නිවැරදි තොරතුරු විගණකාධිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කරන ලෙස දැන්ම් දුන්නේය.
රක්ෂණ සංස්ථාව විසින් භාවිත කරන තොරතුරු තාක්ෂණ ජාලය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කළ අතර, අළුතින් ස්ථාපිත කිරීමට යොජිත තොරතුරු තාක්ෂණ ජාලය සහ ඒ සඳහා ආයතන තෝරා ගැනීම පිළිබඳවද කොප් කමිටුව මෙහිදී විමසා සිටියේය.
2015දී විදේශසේවා නියුක්ති කාර්යාංශය විසින් අරාබි රටවල විදේශ ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා අතර එය ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදු කිරීම සඳහා කැබිනට් අනුමතියක්ද ලබාගෙන තිබිණි. එය රක්ෂණ සංස්ථාව වෙත ලබාදී ඇති අතර සංස්ථාව විසින් තනි පාර්ශවයකින් ලන්සු කැඳවා ඩොලර් 100ක ලන්සු වටිනාකමකට ලබා දීම පිළිබඳ දීර්ඝ වශයෙන් කමිටුව ප්‍රශ්න කළේය. මිලියන ගණනක පාඩුවක් සිදුවූ මෙම ගණුදෙනුව පිළිබඳ විගණකාධිපතිවරයා විසින් කරන ලද විගණනයට අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව කිසිදු තොරතුරක් නොමැති බවද කමිටුවේදී අනාවරණය විය.
මෙහිදී සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා දන්වා සිටියේ සිය සංස්ථාව මගින් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමක් සිදු කොට නොමැති බවත් සිදු කොට ඇත්තේ පරිපාලනමය කටයුතු පමණක් බව සහ ඒ සඳහා පමණක් ගෙවීමක් ලැබී ඇති බවයි.
මෙහිදී කෝප් සභාපතිවරයා දන්වා සිටියේ නැවත විදේශ සේවා නියුක්ති කාර්යාංශය කමිටුව හමුවට කැඳවන අවස්ථාවේ රක්ෂණ සංස්ථාවේ නිලධාරීන්ද කැඳවීමට පියවර ගන්නා බවයි. එමෙන්ම මේ පිළිබඳ තොරතුරු සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් ලේඛන සහිතව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයාවෙත කෝප් කමිටුව නිර්දේශ කළේය.
එයට අමතරව රක්ෂණ සංස්ථාව සතු බොරැල්ල කිංසි පාරේ මෙගා බ්‍රාන්ච් ගොඩනැගිල්ල සම්බන්ධ විශේෂ විගණන වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් සභාපතිවරයා විගණකාධිපතිවරයා වෙත දැනුම් දුන්නේය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර, ගරු සංජීව එදිරිමාන්න. ගරු ජගත් කුමාර සුමිත්‍රආරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එස්.එම්.එම්.මුෂාරෆ්, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගි වූහ.
2026-09-08
විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු මේ බව සඳහන් කළහ.“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි. මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ. මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය CII (Coalition for Inclusive Impact) ආයතනය විසින් ලබා දෙන ලදී.
2026-09-07
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලද ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පසුගියදා කරුණු විමසන ලදී. එම කාරක සභාව ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු විමසීම සිදු විය. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි/පොලිස් අධිකාරිවරුන් පිරිසක් මෙම කාරක සභාවට කැඳවා තිබිණි. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද කාරක සභාව විසින් කැඳවන ලදී. දිට්වා සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී ඊට අදාළව ගන්නා ලද පියවර පිළිබඳව ජන මාධ්‍යයට දැක් වූ අදහස් සම්බන්ධයෙන් සවිස්තර කරුණු දැන ගැනීම පිණිස මෙසේ කාරක සභාවට හිටපු මන්ත්‍රීවරයා කැඳවා තිබිණි.කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
2026-09-07
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 13 වැනි රැස්වීම එම සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.2026 ජූලි සිට 2027 ජූනි දක්වා කාලසීමාව සඳහා සකස් කළ සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (International Foundation for Electoral Systems – IFES) තාක්ෂණික සහයෝගය ඇතිව සකස් කර ඇති මෙම ක්‍රියාකාරී සැලැස්ම ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සකස් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සම්බන්ධීකරණය සහ අධීක්ෂණය, අයවැය වෙනුවෙන් පෙනී සිටීම සහ වගවීම, නෛතික හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ප්‍රවේශවිය හැකි හා අන්තර්කරණය වූ රාජ්‍ය සේවා යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරිණි.IFES ශ්‍රී ලංකා නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රක උබේසේකර මහතා, ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මහත්මිය සහ ආබාධිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සාමාජික ටිකිරි කුමාර ජයවර්ධන මහතා විසින් සංසදය හමුවේ මෙතෙක් සිදු කර ඇති කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් හා අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමේ සැලසුම්කරණයට ඇතුළත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. කිලිනොච්චිය, මුලතිව්, කළුතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පවත්වා ඇති දිස්ත්‍රික් උපදේශන වැඩසටහන්වල අත්දැකීම් මත ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේද මෙවැනි වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව සඳහන් විය.එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක ප්‍රවේශ විගණන කමිටු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ආබාධ සහිත ප්‍රජාවගේ සක්‍රීය සහභාගිත්වය ලබා ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ගොඩනැගිලි සහ නගර සැලසුම් කිරීමේ ආරම්භක අවස්ථාවේ සිටම ප්‍රවේශතා පහසුකම් ඇතුළත් කිරීම මඟින් පසුව සිදු කිරීමට සිදු වන අධික වියදම් සහිත වෙනස්කම් අවම කරගත හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.2027 ජාතික අයවැය සඳහා ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන 60කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සකස් කළ ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යෝජනා 234කින් සමන්විත වාර්තාවක් දැනටමත් ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කර ඇති බවද මෙහිදී සඳහන් විය. එම යෝජනා ක්‍රියාත්මක වන ආකාරය සහ ඒ මඟින් ආබාධ සහිත තැනැත්තන්ට සැබෑ ප්‍රතිලාභ ලැබෙන්නේද යන්න සමීපව නිරීක්ෂණය කිරීමට ද සංසදය තීරණය කළේය.ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සහ ප්‍රවේශ පහසුකම් සැලසීම සඳහා පවතින නෛතික හා ප්‍රතිපත්තිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. දැනට සකස් කරමින් පවතින “ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත” සහ “සංඥා භාෂා පනත් කෙටුම්පත” පිළිබඳ ප්‍රගතිය විමසීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය විය.එමෙන්ම ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන සහ ප්‍රමිතීන් ජාත්‍යන්තර යහ පිළිවෙත්වලට අනුකූලව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පෞද්ගලික අංශයේ ආයතන සඳහා ප්‍රවේශතා සම්බන්ධ මාර්ගෝපදේශ හඳුන්වා දී, ඒවා ක්‍රමයෙන් නෛතික රාමුවකට ඇතුළත් කිරීම මෙන්ම තෝරාගත් පෞද්ගලික ආයතන කිහිපයක් සමඟ ආදර්ශ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාද ඉදිරිපත් විය.රාජ්‍ය සේවා වඩාත් ප්‍රවේශවිය හැකි හා අන්තර්කරණය වූ සේවා බවට පත් කිරීම සම්බන්ධයෙන්ද රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු විය. කම්කරු අමාත්‍යාංශයේ “මෙහෙවර පියස” ගොඩනැගිල්ල සහ සෙත්සිරිපාය I සහ II අදියර ගොඩනැගිලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රවේශ විගණනවල ප්‍රතිඵල පිළිබඳවද සාකච්ඡා කෙරිණි. සෙත්සිරිපාය III අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භයේ සිටම ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශවිය හැකි ආකාරයට සැලසුම් කිරීමට කටයුතු කර ඇති බවද මෙහිදී සඳහන් විය.මීට අමතරව, පහත් තට්ටුව සහිත බස් රථ සේවා, ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශවිය හැකි සංචාරක කර්මාන්තය සහ “මිතුරු නගර” වැඩසටහන වැනි වැඩසටහන් රාජ්‍ය සේවාවන්හි ප්‍රවේශතාව වැඩිදියුණු කිරීම සඳහා ආදර්ශ ලෙස හඳුනාගෙන ඇති අතර, සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ප්‍රවේශතා බාධක ඉවත් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.රැස්වීම අවසානයේ අදහස් දැක්වූ සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ආබාධ සහිත ප්‍රජාවට බියෙන් හා සැකයෙන් තොරව නිදහස්, ස්වාධීන සහ ගෞරවාන්විත සමාජ ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සංසදයේ ප්‍රධාන අරමුණක් බවයි.ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔවුන්ගේ හඬට ප්‍රමුඛත්වය ලබාදීම සහ සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මෙම කාර්යභාරය අඛණ්ඩව ඉටු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම කටයුතු සඳහා දායක වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, IFES ආයතනයට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ටද ඒ මහතා සිය ස්තූතිය පළ කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) නිහාල් අබේසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-04
ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, කාර්යක්ෂම මානව සම්පත් රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම පිළිබඳව දැනුම් දී තිබූ බැවින්, ස්ථාවර නියෝග ප්‍රකාරව එම අවස්ථාවේදී තාවකාලික සභාපතිවරයා ලෙස පත් කර ගත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.එමෙන්ම, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා ද සහභාගී විය.ජාතික විගණන කාර්යාලයේ විගණන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.විගණන ක්‍රියාවලිය තාක්ෂණිකව පරිවර්තනය කිරීම මඟින් විගණන කටයුතුවල කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වඩාත් පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමටත් හැකි වනු ඇති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, විගණන සේවයට බඳවා ගනු ලබන දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් ඇති වන මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගෙන ඒවා නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා වූ අතර, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ වගකීම අවධාරණය කෙරිණි.සමෘද්ධි බැංකු විගණනයේදී පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒවා වඩාත් කාර්යක්ෂමව විගණනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අතර, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවිය යුතු මාසික වැටුප් හා දීමනා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.ජාතික කාන්තා කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එහි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙන්ම, කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි විභාග කිරීම හා විමර්ශනය කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව සතු වගකීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.කොමිෂන් සභාව පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ පරිපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පනතට අනුව අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ කාලීනව සිටිය යුතු බැවින්, එම සාමාජිකයින් සඳහා දීමනා ප්‍රමාණවත් නොවන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දුන් අතර පූර්ණ කාලීන සාමාජිකයින්ට අමතර දීමනා ලබා දීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව ද කාරක සභාව විසින් මෙහිදී මුදල් අමාත්‍යාංශය ට දැනුම් දෙන ලදී.