පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-03-09
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ප්‍රේම්නාත් සී. දොළවත්ත සහ ගරු ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරු විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා සමඟ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි.
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.
ස්ථාවර නියෝග 53(4) ප්‍රකාරව “පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීවරයාගේ මූලික අභිලාෂයට අනුකූල නොවන කිසි වගන්තියක් පනත් කෙටුම්පතකට ඇතුළත් කරනු ලැබීමට ඉඩ නොදෙනු ලැබිය යුතු ය” යන විධිවිධානයට අනුව පනත් කෙටුම්පත්හි අන්තර්ගතය සලකා බැලීම මෙහිදී සිදුවිය. ඒ අනුව ගරු ඉමිතියාස් බාකීර් මාකර් මහතා විසින් ඉදිරිපත් කර තිබූ (126) පනත් කෙටුම්පතේ තරුණ නියෝජනයක් පිළිබඳව වන බව සලකා බලමින් නැවත කෙටුම්පත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් දෙන ලදී.
තවද ගරු ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා විසින් ඉදිරිපත් කර තිබූ (160) පනත් කෙටුම්පතෙහි කාන්තා නියෝජනයක් පිළිබඳව සඳහන් වුව ද, දැනටමත් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කාන්තා නියෝජනය පිළිබඳව සඳහන් වන බැවින් ඒ පිළිබඳව වූ කොටස ඉවත් කර 25%ක සමස්ත තරුණ නියෝජනයක් පිළිබඳව අන්තර්ගත විය යුතු යැයි කාරක සභාව විසින් අදහස් කරන ලදී. එබැවින් 160 වන පනත් කෙටුම්පතෙහි අනුග්‍රාහක මන්ත්‍රීවරයාගේ ද එකඟතාවය මත එකී පනත් කෙටුම්පත ද නැවත කෙටුම්පත් කරමින් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද කාරක සභාව නිලධාරීන්හට දැනුම් දුන්නේය.
අමාත්‍යවරුන් වන ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු අලි සබ්රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු සිසිර ජයකොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රාජිත සේනාරත්න, ගරු (මහාචාර්ය) චන්න ජයසුමන, ගරු අජිත් මාන්නප්පෙරුම, ගරු සාරතී දුෂ්මන්ත, ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මිලාන් ජයතිලක, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු මධුර විතානගේ, ගරු සාගර කාරියවසම්, ගරු මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.
2026-03-24
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට 2026.03.19 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා මෙම විශේෂ කාරක සභා කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ආ පදා අවස්ථාවන්හි අදාළ වගකිව යුතු ආයතන මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව ඊළඟ රැස්වීම් වාර දෙක සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් මෙම විශේෂ කාරක සභාව හමුවට කැඳවා අවශ්‍ය මූලික දැනුවත්භාවය ලබා ගැනීමට තීරණය විය.එමෙන්ම මෙම විශේෂ කාරක සභාව විෂය පථය අනුව කටයුතු කරනු ලබන බැවින් අවශ්‍ය යම් යම් විශේෂිත තාක්ෂණික කරුණු අවබෝධ කර ගැනීම සඳහා අදාළ විෂයන් සම්බන්ධ තාක්ෂණික හා විශේෂඥ දැනුමක් සහිත නිලධාරීන් කාරක සභාව හමුවට වරින් වර කැඳවීමටද මෙහිදී යෝජනා කෙරිණි.මෙම විශේෂ කාරක සභාව මගින් සකස් කළ වාර්තාව කාරක සභාවේ පළමු රැස්වීමේ දින සිට මාස තුනක් ඇතුළත එනම් 2026 .06. 19 වනවැනි දින වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන හෙයින් හැකි ඉක්මනින් රැස්වීම් පවත්වමින් අදාළ නිර්දේශ ඇතුලත් මෙම වාර්තාව සකස් කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. එම වාර්තාව මගින් කාරක සභාවේ විෂය පථයට අදාළ යෝජනා හා නිර්දේශ ලබාදීමට අමතරව ඉදිරියේදී දිට්වා සුළි කුණාටුව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසා ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.මෙම රැස්වීම සඳහා විශේෂ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීන් මෙන්ම සභාපතිවරයාගේ විශේෂ අවසරය ඇතිව ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූහ.
2026-03-24
ආබාධිතභාවය යන්න හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක කෝණයකින් පමණක් නොව සමාජීය සහ මානව හිමිකම් පිළිබඳ දෘෂ්ටිකෝණයකින්ද බැලිය යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ 2026 මාර්තු 20දා ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) ජාතික අපස්මාර මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති ආබාධ සහිත තැනැත්තන් සඳහා වන සේවා සැපයීම පිළිබඳ සංවේදීකරණ වැඩසටහනට එක් වෙමිනි. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව යම් ප්‍රගතියක් ලබා තිබුණද, ආබාධ සහිත තැනැත්තන් සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී තවමත් භෞතික, සන්නිවේදන මෙන්ම ආකල්පමය දුෂකරතා රැසකට මුහුණ දෙන බව හෙතෙම පැවසීය. සමාජයීය බාධක හඳුනාගැනීම, සංවේදීතාවය ඉහළ නැංවීම සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට රජය කැපවී සිටින බව ප්‍රකාශ කළ ඒ මහතා, සෞඛ්‍ය තොරතුරු ආබාධ සහිත තැනැත්තන් සඳහා බහුවිධ ආකෘතිවලින් ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. සාම්ප්‍රදායික වෛද්‍ය දැක්මෙන් ඔබ්බට ගොස් සමානාත්මතාවය සහ ගෞරවය මත පදනම් වූ සේවාවක් සැපයීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විධිමත් ලෙස සංවේදී කිරීමේ වැදගත්කම ඒ මහතා අවධාරණය කළේය. මෙම සියලු කටයුතු සම්බන්ධයෙන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් ලබා දෙන දායකත්වය ප්‍රශංසනීය බව ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම වැඩසටහන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ අංගයක් ලෙස අමාත්‍යාංශ මූලික කරගනිමින් පවත්වනු ලබන සංවේදීකරණ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි. සෞඛ්‍ය අංශයේ සේවා සැපයීමේදී ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය කරගැනීම පිළිබඳව එම නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් පැවති මෙම වැඩමුළුව ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන පදනමේ (IFES) අනුග්‍රහයෙන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධාන කරන ලදි. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, අදහස් දක්වමින් ආබාධ සහිත තැනැත්තන්ට “නිර්බාධිත සමාජ ජීවිතයක්” උරුම කර දීම සඳහා ගත් එක් පියවරක් ලෙස මෙම සංවේදීකරණ වැඩසටහන් මාලාව හඳුන්වා දුන්නේය. පවතින නිදහස් සෞඛ්‍ය සේවය ඇගයීමට ලක් කළ ඒ මහතා මෙරට වෙසෙන ලක්ෂ 16කට අධික වූ ආබාධ සහිත තැනැත්තන්ට සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී භෞතිකමය හා ආකල්පමය බාධක පවතින බවද සඳහන් කළේය. සෞඛ්‍යය සේවා සඳහා ප්‍රවේශ වීමට ඇති අයිතිය යනු ජීවත්වීම සඳහා ඇති මූලික අයිතියක් බව හෙතෙම අවධාරණය කළේය. අනාගත සෞඛ්‍ය වෘත්තිකයන් සිය පුහුණු කාලසීමාවේ සිටම මේ පිළිබඳව සංවේදී කිරීම තහවුරු කිරීම සඳහා වෛද්‍ය හා හෙද විද්‍යාලවල විෂය මාලාවට ආබාධිතභාවය පිළිබඳ නව දැක්මක් සහ විශේෂිත මොඩියුලයක් ඇතුළත් කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් මහතා යෝජනා කළේය. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම-සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති අශෝක වීරවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චමරි වීරරත්න,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිශානි උබේසේකර මෙන්ම වැඩසටහනට සහභාගි වූ ආබාධිත ප්‍රජාවේ නියෝජිතයන්ද සිය අදහස් පළ කළහ.එහිදී රෝහල් කවුන්ටරවල සංඥා භාෂා පරිවර්තකයන් නොමැති වීම, රෝහල්වල උසින් වැඩි කවුන්ටර සහ ශල්‍ය ඇඳන් නිසා ආබාධිත ප්‍රජාව මුහුණ දෙන අපහසුතා, කොමඩ් පුටු සහිත වැසිකිළි නොමැති වීම සහ ආබාධිත තැනැත්තන් සඳහා ඇති වැසිකිළිවල පවතින 'සැලූන් දොරවල්' නිසා පෞද්ගලිකත්වයට හානිවීම ආදී කරුණු ඉදිරිපත් කෙරිණි. එමෙන්ම පෝලිම්වල රැඳී සිටීමට අපහසු බුද්ධිමය ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන හැඳුනුම්පත් අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය විය. එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ රෝහල්වල බෑවුම් (Ramps)සහිත ප්‍රවේශ්‍යතා පහසුකම්, ආබාධිත වැසිකිළි සහ විශේෂිත ඖෂධ කවුන්ටර ඉදිකිරීමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි. මූලික රෝහල් සඳහා මූලික සංඥා භාෂාව පිළිබඳ පුහුණු කාර්ය මණ්ඩලයකින් සමන්විත පර්යේෂණාත්මක 'සහය මධ්‍යස්ථාන' (Support Centers) සැලසුම් කර ඇති බවද එහිදී අනාවරණය විය.යෝජිත සහාය මධ්‍යස්ථානවල සේවය සඳහා ආබාධ සහිත තැනැත්තන්ම අනුයුක්ත කළ යුතු බවත්, එමගින් එම සේවාවන් අත්දැකීම් මත පදනම්ව වඩාත් ඵලදායී ලෙස ලබාදිය හැකි බවත් වැඩසටහන අවසානයේදී යෝජනා විය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සංවේදීකරණය සහ යටිතල පහසුකම් ප්‍රමිතිගත කිරීම පිළිබඳ ප්‍රායෝගික නිර්දේශ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට මෙහිදී එකඟතාවය පළ විය.මෙම වැඩසටහන සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නිලධාරීන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මෙනවිය ඇතුළු එම ආයතනයේ නිලධාරීන් සහ අබාධ සහිත තැනැත්තන් සඳහා වූ ආයතන හා සංවිධානවල නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
2026-03-24
ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන පරිපාලනය ආශ්‍රිතව මුහුණ දෙන බාධක, අභියෝග සහ ගැටළු සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයධීවර ප්‍රජාව විසින් ධීවර කටයුතු සඳහා භාවිතා කරන ධීවර දැල් සහ අනෙකුත් උපකරණ සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයපසුගිය වසර කිහිපය තුළ රජයන් විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ ආකාරය සහ ඒ සඳහා මිල තීරණය කිරීම ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානයපරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් 2026.03.04 සහ 2026.03.05 දිනවල පාර්ලිමේන්තුවේදී රැස්වී කාලීනව අවධානය යොමු කළ යුතු අංශ කිහිපයක් සම්බන්ධයෙන් ඒ ඒ ආයතනවල නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සිදු විය.මේ අනුව ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන පරිපාලනය ආශ්‍රිතව මුහුණ දෙන බාධක, අභියෝග සහ ගැටලු, ධීවර ප්‍රජාව විසින් ධීවර කටයුතු සඳහා භාවිතා කරන ධීවර දැල් සහ අනෙකුත් උපකරණ සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වන ගැටලු සහ පසුගිය වසර කිහිපය තුළ රජයන් විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ ආකාරය සහ ඒ සඳහා මිල තීරණය කිරීම ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම සියලු වනෝද්‍යාන සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. එසේම කාරක සභාව ලෙස මෙම වනෝද්‍යාන වල පවතින ගැටලු හඳුනා ගැනීමට සහ ඒ වෙනුවෙන් විසඳුම් යෝජනා කිරීමට, අදාළ වනෝද්‍යාන නිරීක්ෂණය කොට අවශ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක් පැවැත්වීමට ද තීරණය කරන ලදි.එසේම ධීවර ප්‍රජාව විසින් ධීවර කටයුතු සඳහා භාවිතා කරන ධීවර දැල් (මා දැල් ඇතුළු) සහ අනෙකුත් උපකරණ සම්බන්ධයෙන් ද දීර්ඝව කාරක සභාවේ අවධානය යොමු වූ අතර පසුගිය වසර ආශ්‍රිතව ටින් මාලු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලෙස මෙරටට ආනයනය කරන ලද මාලු සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදීතවද පසු ගිය වසර කිහිපය තුළ රජයන් විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ ආකාරය සහ ඒ සඳහා මිල තීරණය කිරීම ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මෙහිදී 2023, 2024 සහ 2025 ආශ්‍රිතව මෙරට සම්පූර්ණ වගාබිම් ප්‍රමාණය, වගා කරන ලද ප්‍රමාණය හා වගා නොකරන ලද බිම් වල වගා නොකිරීමට හේතු ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස කාරක ෂබාව විසින් නිර්දේශ කරන ලදි.මෙම කාරක සභා රැස්වීම් සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහභාගී වූහ.
2026-03-24
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට 2026.03.17 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට බලාත්මකව පවතින 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන නැගී ඇති නීතිමය බාධාව නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බව පෙන්වා දුන්නේය.විපක්ෂය නියෝජනය කරමින් සාමාජික ගරු මන්ත්‍රීවරයන් අදහස් දක්වමින්, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව වැදගත් ආයතනවලින් බහුතරයක් පාලනය වන්නේ පළාත් සභා ඔස්සේ බව පෙන්වා දුන්හ. ඒ අනුව දැනට වසර 9ක් පළාත් සභා නොපැවැත්වීම හරහා ගැටලු රැසක් පැන නැගී ඇති බව ඔවුහු පැවසුහ. ඒ අනුව මෙම පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය වන සමානුපාතික ක්‍රමය ඔස්සේ පවත්වා, පසුව මෙම ඡන්ද විමසීමේ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂය නියෝජනය කරමින් පැමිණි සාමාජික ගරු මන්ත්‍රීවරයන් යෝජනා කළහ.කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම හා තරුණ නියෝජනය මෙම පළාත් සභා ඡන්ද විමසීමේදී ලබාදීම ආදී ඡන්ද ක්‍රමයක් සකස් කිරීම වෙනුවෙන් වඩාත් පුළුල් හා ගැඹුරු සංවාදයක් ඇති වීමේ වැදගත්කම සභාපතිවරයා අවධාරණය කර සිටියේය.ඒ අනුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීමේ වැදගත්කම සිහිපත් කළ සභාපතිවරයා, ඒ සඳහා මීළඟ රැස්වීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට යෝජනා කළේය.මෙම විශේෂ කාරක සභාව පළමු රැස්වීමේ දින සිට මාස 3ක් තුළ වාර්තාව ඉදිරිපත් කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී සිහිපත් කළේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් යන මහත්වරුන් සහ සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, යන මහත්වරුන්ද සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks




