පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන අධ්යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් කැඳවා කරුණු විමසීම ජාතික සභාවේදී සිදු විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ, ජාතික සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් 2023.01.19 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
කැබිනට් මණ්ඩලයේ අනුමතිය සහිතව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය ගෙනආ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉක්මනින් තීරණයක් ලබාදීම සිදු කළ යුතු බව මෙහිදී විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීහු පෙන්වාදීම සිදු කළහ.
නමුත් මෙහිදී අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ පළමුව අවශ්‍ය ගණනය කිරීම් අවසන් කළ යුතු බවයි.
මේ අනුව මෙහිදී අදහස් දක්වමින් කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂම සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බවයි. එබැවින් එම සාකච්ඡාවන් සිදු කොට ලබන 24 දින නැවත මෙම සියලු පාර්ශ්ව ජාතික සභාව වෙත කැදවීමට මෙහිදී තීරණය කෙරිණි.
මීට අමතරව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකාරක සභාවේ අවසන් වාර්තාවේ කෙටුම්පත එම කාරක සභාවේ සභාපති ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් ජාතික සභාවට ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු විය.
මේ සඳහා අමාත්‍යවරුන් වන ගරු ටිරාන් අලස්, ගරු කංචන විජේසේකර, ගරු නසීර් අහමඩ් රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඩී.වී. චානක, ගරු (නීතීඥ) සිසිර ජයකොඩි, ගරු ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු පාඨලී චම්පික රණවක සහ ගරු ඒ.එල්.එම්. අතාඋල්ලා යන මහත්වරු සහභාගී වූහ.
එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර මහත්මිය ද සහභාගී වූහ.
2026-11-25
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසීම රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 23) රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ අදාළ පාර්ශ්වයන් විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ පවතින ගැටලු පිළිබඳව කාරක සභාවට කරුණු දැක්වූහ.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් පැවතියද, ඒ වෙනුවට නව පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව සහ එහි අන්තර්ගතය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ද මෙහිදී එම සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී.ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව, පනත් කෙටුම්පත සම්පාදනය කළ කමිටුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන් විසින් මෙහිදී අවධාරණය කරමින් කරුණු දක්වන ලදී.පනත් කෙටුම්පත සකස් කිරීමේදී පුළුල් මහජන සහභාගීත්වයක් ලබා ගෙන ඇති බවත්, ඉදිරියේදී ද සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සමග තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වන බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.මෙම අවස්ථාවට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, මුජිබුර් රහුමාන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, එම්. කේ. එම්. අස්ලම්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ද, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-11-23
යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 18) පැවැත්විණි.මෙහිදී වර්තමාන හා අනාගත වැඩ ලෝකයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පත් කළ විශේෂඥ කමිටුවක් විසින් සකස් කරනු ලබන යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරුණු අතර, දැනට පවතින ප්‍රධාන කම්කරු නීති අධ්‍යයනය කර ඒවා ඒකාබද්ධ කරමින් නව නීති රාමුවක් සකස් කිරීම, මෙහි අරමුණ බව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට අවධාරණය කළහ.යෝජිත නව කම්කරු නීති සංශෝධන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සකස් කරන බවත්, ඒ අනුව ශ්‍රම ප්රමිතීන්, වෘත්තීය සෞඛ්‍ය, සහ ආරක්ෂාව, කාර්මික ආරවුල් හා සම්බන්ධතා සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව නීති රාමුව සකස් කිරීමට නියමිත බව ද ප්‍රකාශ විය.සේවා ගිවිසුම් රාමුව, වැඩ කරන වේලාවන්, නිවාඩු හා අතිකාල පිළිබඳ ප්‍රධාන විධිවිධාන, මාතෘ ආරක්ෂණය, පීතෘ නිවාඩු මෙන්ම වැඩ ලෝකය තුළ හිංසනය හා හිරිහැර වැළැක්වීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත් වන බව නිලධාරීහු කාරක සභාවට ප්‍රකාශ කළහ.එසේම, අර්ධකාලීන සේවකයින්ගේ අයිතිවාසිකම්, සේවා ගිවිසුම් විධිමත් කිරීම, සේවකයින්ගේ සමාජ ආරක්ෂණ ප්රතිලාභ සහ සේවා ස්ථානවල ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම සම්බන්ධයෙන් ද යෝජිත නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මෙහිදී පැහැදිලි කෙරිණි.යෝජිත ශ්‍රම ප්‍රමිති පනත් කෙටුම්පතේ දැනට සකස් කර ඇති පරිච්ඡේද හතර මහජනතාවට සහ අදාළ පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන labourmin.gov.lk ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට දන්වන ලදී.යෝජිත නව කම්කරු නීති සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා වෘත්තීය සමිති, සේවායෝජකයින්, සේවක නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ.මෙම රැස්වීම සඳහා ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
2026-11-21
2018–2021 කාල සීමාව තුළ ආරම්භ කර අතරමඟ නතර වූ සංවර්ධන ව්‍යාපෘති 72 ක් පිළිබඳ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2021–2023 මූල්‍ය වර්ෂවලට අදාළ ත්‍රෛවාර්ෂික වාර්තා, 2024 විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (නොවැ. 19) රැස් වූ අවස්ථාවේදීය.ඒ අනුව අතරමඟ නතර වූ මෙම ව්‍යාපෘති 72 සඳහා රුපියල් මිලියන 1,664 ක මුදලක් වැය කර තිබූ බව මෙහිදී අනාවරණය විය. ඒ අතරින් ව්‍යාපෘති 35 ක් මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, ව්‍යාපෘති 13 ක වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, තවත් ව්‍යාපෘති 4 ක් අත්හිටුවා ඇති බවත්, ව්‍යාපෘති 20 ක් කොන්ත්‍රාත්තු සම්බන්ධ ගැටලු හේතුවෙන් නතර වී තිබෙන බවත් නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ. කෙසේ වෙතත් එම ගැටලු විසඳා ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් පවතින බව ද එම නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.2019 වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් තුනක් බැගින් පිහිටුවීමේ වැඩසටහන යටතේ තෝරා ගත් පාසල්වල භෞතික සංවර්ධනය සහ උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 1,600 කට ආසන්න මුදලක් ලබා දී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, ප්‍රතිපත්තිමය තීරණ මත එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බැවින්, එක් එක් පාසලට ලබා දුන් මුදල් සහ සිදු කළ සංවර්ධන කටයුතු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.මේ අතර, අමාත්‍යාංශය ඇණවුම් කළ පරිගණක තොගයක් තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූල නොවීම හේතුවෙන් භාරගෙන නොමැති බවත්, ඒ සඳහා ගෙවීම් සිදු කර නොමැති බවත්, සැපයුම්කරු විසින් අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් අනාවරණය විය.ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා වූ අතර, ගුරු තොරතුරු සහ සිසුන්ගේ ඇගයීම් දත්ත ඇතුළත් කිරීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බව නිලධාරීහු පැවසූහ. පළාත් කිහිපයක ගුරු ස්ථාන මාරු මෙම පද්ධතිය හරහා ක්‍රියාත්මක වන බව ද, එය දිවයිනේ සියලු පළාත් සහ ජාතික පාසල් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.තවද, ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝජනයේදී ඇස්තමේන්තු සකස් කිරීමේ ප්‍රමාදයන්, තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සහ ටෙන්ඩර් ගැටලු හේතුවෙන් බාධා මතුව ඇති බව ද අනාවරණය විය. විගණන විමසුම් සඳහා පිළිතුරු ලබා දීමේ ප්‍රමාදය සම්බන්ධයෙන්ද කරුණු විමසූ කාරක සභාව, ඒවා කඩිනමින් නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ හා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර යන මහත්වරුන් සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, හෙක්ටර් අප්පුහාමි, චන්දන සූරියආරච්චි, චානක මාදුගොඩ, රුවන්තිලක ජයකොඩි, ඔෂානි උමංගා, මංජුල සුරවීර ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, වෛද්‍ය ජනක සේනාරත්න, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2026-11-21
සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් නියෝජනය වන, සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන පාර්ලිමේන්තු ආයතන ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සංවිධානය කළ ජාත්‍යන්තර වැඩමුළුව 2026 නොවැම්බර් 19 සහ 20 යන දෙදින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.‘සැමට සේවය කරන පාර්ලිමේන්තුවක් ගොඩනැගීම’ (Creating a Parliament that Works for All) යන තේමාව යටතේ පැවති මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදේශීය පාර්ලිමේන්තු නියෝජිතයන්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ විශේෂඥයන්, විද්වතුන් සහ සංවර්ධන හවුල්කාර ආයතනවල නියෝජිතයෝ සහභාගී වූහ.පාර්ලිමේන්තු කටයුතුවලදී කාන්තාවන් ඇතුළු ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන කණ්ඩායම්වලට සක්‍රීයව සහභාගී වීමට ඇති බාධා හඳුනාගැනීම, ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කරගැනීම සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා තීරණ ගැනීමේදී එම කණ්ඩායම්වල අදහස්වලට නිසි අවස්ථාවක් ලබාදීම සඳහා ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.ලොව පුරා පාර්ලිමේන්තුවල ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන ප්රමුඛ වැඩසටහනක් වන Inter Pares වැඩසටහන සමඟ එක්ව මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි. එය කාන්තාවන් සහ තරුණයන් ප්රජාතන්ත්රවාදයට සහභාගී කරවීමේ වැඩසටහන යටතේ ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදය සහ මැතිවරණ සහාය පිළිබඳ ආයතනය (International IDEA) විසින් ක්‍රියාත්මක කරනු ලබයි.වැඩමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් 19 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, පාර්ලිමේන්තුවේ මහලේකම් සහ එම සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ තානාපතිනි සිල්වියා හාට්ලයිෆ් සහ International IDEA ආයතනයේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ ලීනා රික්කිලා ටමාං යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහ විදේශීය නියෝජිතයෝ එක්ව සිටියහ.මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා, ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට කාන්තාවන්, තරුණයන්, ආබාධ සහිත පුද්ගලයන් සහ ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන අනෙකුත් ප්‍රජාවන් සක්‍රීයව සහ අර්ථවත් ලෙස සහභාගී කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.මෙම වැදගත් වැඩසටහන සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, යුරෝපා සංගමය, Inter Pares, International IDEA සහ අනෙකුත් හවුල්කාර ආයතන වෙත සිය ස්තූතිය පළ කරන බවද කථානායකවරයා සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සුරැකුම් ආර්ථිකය හඳුනාගෙන එය ශක්තිමත් කිරීම, ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීම සහ ආපදා වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම ඇතුළු ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් ද කථානායකවරයාගේ ඇගයීමට ලක් විය.කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍යවරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදහස් දක්වමින්, විශේෂයෙන් කාන්තාවන්, දරුවන් සහ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළාය. පාර්ලිමේන්තු සහ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය තුළ සියලු දෙනාට සමාන හා සාධාරණ සහභාගීත්වයක් ලබාදීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දුන්නාය.සමාරම්භක සැසිය ඇමතූ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීමත්, දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමත් ඉතා වැදගත් බව සඳහන් කළේය. මෙම වැඩමුළුව සංවිධානය කිරීමට දායක වූ සියලු පාර්ශ්වයන් සහ හවුල්කාර ආයතන වෙත ද ඔහු සිය ස්තූතිය පළ කළේය.මේ අවස්ථාවට එක්වූ සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීම, දැනුම හුවමාරු කරගැනීම සහ අත්දැකීම් බෙදාගැනීමේ වැදගත්කම අවධාරණය කළාය.ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ තානාපතිනි සිල්වියා හාට්ලයිෆ් මහත්මිය සහ International IDEA ආයතනයේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ ලීනා රික්කිලා ටමාං මහත්මිය ද සිය අදහස් පළ කරමින්, සියලු දෙනා නියෝජනය වන ප්රජාතන්ත්රවාදී ආයතන ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බව අවධාරණය කළහ.පාර්ලිමේන්තුවල ධාරිතාව ශක්තිමත් කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් ඇතුළු ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන කණ්ඩායම්වලට දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියට අර්ථවත් ලෙස සහභාගී වීමට අවස්ථා සැලසීමේ වැදගත්කම ද ඔවුහු පෙන්වා දුන්හ. මේ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.කාන්තාවන්ගේ අදහස්, අත්දැකීම් සහ දෘෂ්ටිකෝණ පාර්ලිමේන්තු කටයුතු, දේශපාලන න්‍යාය පත්‍ර සහ ජාතික මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ නිසි ලෙස නියෝජනය වීම සහතික කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අවධානයට ලක් වූ කරුණක් විය.විශේෂයෙන් ජනවාර්ගික හා ආගමික සුළුතර ප්‍රජාවන්ට අයත් කාන්තාවන් සහ ආබාධ සහිත කාන්තාවන් ඇතුළු ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන කණ්ඩායම්වල කාන්තාවන් මුහුණ දෙන බාධා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සැලකිල්ලට ගනිමින් අයවැය සකස් කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජාතික අයවැය සහ රාජ්‍ය ප්‍රතිපත්ති තුළින් කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ වෙනස් අවශ්‍යතා, ප්‍රමුඛතා සහ අත්දැකීම් වඩාත් හොඳින් ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.සමානාත්මතාව සහ සමාජීය අන්තර්ග්‍රහණය තහවුරු කිරීම සඳහා රාජ්‍ය සම්පත් සහ ප්‍රතිපත්තිමය තීරණ නිසි ලෙස යොදාගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරෙන වැදගත් වගකීම ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සැසි සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජිතයෝ ද සහභාගී වී සිය අදහස් සහ අත්දැකීම් ඉදිරිපත් කළහ.ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යුරෝපා සංගමය ඇතුළු වෙනත් රටවල පාර්ලිමේන්තු නියෝජිතයන් සහ විශේෂඥයන් සමඟ අත්දැකීම් හා ක්‍රියාමාර්ග හුවමාරු කරගැනීමට ද මෙම වැඩමුළුවෙන් අවස්ථාව සැලසිණි.මෙම වැඩමුළුව සඳහා අයර්ලන්ත පාර්ලිමේන්තුවේ (Seanad Éireann) සෙනෙට් සභික සහ අයර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි ඇලිසන් කොමින්, ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිනි ඇලිසන් ජොන්ස්ටන්, මැලේසියාවේ සෙනෙට් සභික ආචාර්ය ජුෆිත්රි බින් ජෝහා, සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රමෝනා විජේරසා යන මහත්ම මහත්මීන් ඇතුළු අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තු පර්යේෂකයෝ සහ අයවැය විශේෂඥයෝ ද මෙම වැඩමුළුවට දායක වූහ.මෙරට කාන්තා නගරාධිපතිනියන්, නියෝජ්‍ය නගරාධිපතිනියන්, සමාජ ක්‍රියාකාරිනියන් සහ සිවිල් සමාජ සංවිධානවල නියෝජිතවරියන්ට ද මෙම වැඩමුළුව සඳහා ආරාධනා කර තිබූ අතර, ඔවුහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති දෙදින වැඩසටහනට සක්‍රීයව සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks




