පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-01-05
ආහාර සුරක්ෂිතභාවය සහ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් අනෙක් සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනයට සක්‍රියව කටයුතු කිරීමට එක්වන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළේය. ඔහු කියා සිටියේ, ජන ජිවිතයට බලපාන දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන උපායමාර්ග තුළ කටයුතු කළ යුතු බවයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ 2023 නව වසරේ ආරම්භක පාර්ලිමේන්තු දිනය වන, 2023.01.05 දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කතානායකතුමා ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ට සුභාශිංසන එක්කරමින් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
නිදහසේ 75 වන වසර සැමරීමට ආසන්නව සිටින අවස්ථාවේ, සර්ව ජන ඡන්ද බලය 91 වසරක් භුක්ති විඳින ශ්‍රී ලංකාව තවදුරටත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය පතන බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිතුමා ඇතුළු රජය, රට ආර්ථික, සමාජීය, නීතිය, ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් පියවර රාශියක් ගෙන ඇති බවත්, විවේචනයන්ට ඉඩ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඇති බවත් කියා සිටි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, ජිවන වියදමේ ගැටළු ඇතත් මේ වසර අභියෝග ජයගත හැකි වසරක් බවට පරිවර්තනය කර ගැනීමට පාර්ලිමේන්තුව වශයෙනුත් එක්සත්ව එකමුතුව කටයුතු කළ යුතු බවද කිය.
පසුගිය කාලයේ ප්‍රධාන ඉල්ලීමක් වූ, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, 21 වන ව්‍යවස්ථාව සම්මත කරගැනීම තුළ ඒ අනුව ඉදිරියට යාමට කටයුතු කරන බවත්, පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික එකඟතාව මත ඇති කළ ජාතික සභාවේ කටයුතු ඉදිරියට ගෙනයාමට සියලු පාර්ශවයන්ගේ සහය ලබාදීම අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.
“ගරු කතානායකතුමනි, පළමුවෙන් 2023 වසර සඳහා අප රැස්වෙන පළවෙනි අවස්ථාවේ රජය වෙනුවෙන් කතානායකතුමාට, උප කතානායකතුමාට සහ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලාට අපේ සුභාශිංසන මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියී. ඒ වාගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් කරන ලද ප්‍රකාශයන් පරිදි ඉදිරි වසර හැටියට අප මේ අභියෝග ජයගත හැකි වසරක් බවට පරිවර්තනය කිරීමට කැප වී කටයුතු කිරීමට රජය වශයෙනුත්, පාර්ලිමේන්තුව වශයෙනුත් එක්සත්ව එකමුතුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව සඳහා එකට වැඩ කිරීමේ අභිලාෂය මේ අවස්ථාවේ යළිත් ප්‍රකාශ කර සිටිනවා.
ඒ වෙනුවෙන් මේ අවස්ථාවේදී නව අවුරද්දේ සුභාශිංසන පමණක් නොව, සකලවිධ අභියෝග රැසක් අභිමුව වඩවඩාත් යහපත් රටක් ගොඩ නඟන්නට අප කැප වී කටයුතු කරමු. විශේෂයෙන් ආහාර සුරක්ෂතභාවය හා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් අනිත් සෑම අංශයක් සඳහාම සංවර්ධනාත්මක ව්‍යායාමයන් තුළ සක්‍රීයව කටයුතු කරමු. ජන ජීවිතයට බලපාන දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන උපාය මාර්ග තුළ කටයුතු කරමින් නව වසරේ වඩාත් සුබදායී රටක නැඟීමේ රටවැසි ජනතාවගේ ඒ බලාපොරොත්තුව සමඟ එකට අත්වැල් බැඳගෙන වැඩ කරන්ට රජය වෙනුවෙන් යළිත් අප ආයාචනා කරනවා.
ඒ වගේම අප රට 75වෙනි නිදහස් දින සංවත්සරයට මසක් ඇතුළතදී ගමන් කරනවා. ශ්‍රී ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගනිමින් සර්වජන ඡන්ද බලය ජනතාව විසින් තමන්ගේ අභිමතය ප්‍රකාශ කිරීම සඳහා ආණ්ඩු ඇති කිරීමට, ආණ්ඩුවල ගමන් මාර්ග තිරණය කිරීමට ගත්තා වූ ක්‍රියාදාමය අතර ලෝකයේ සර්වජන ඡන්ද බලයක් 91 වසරක් පාවිච්චි කළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ගරු සියලු මන්ත්‍රිතුමන්ලාගේ සහාය මේ ඉතාම වැදගත් අවස්ථාවේ 75වෙනි නිදහස් සැමරු අවස්ථාවට පිවිසෙන අප යළිත් සිහිපත් කරන්න කැමතියී.
පසුගිය කාල පරිච්ඡේදය නියෝජ්‍ය කතානායකතුමනි, ඇතිවුණු අර්බුද හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන රජය ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් නීතිය පිරිහී යාම අතින්, ඒ වාගේම රට ජාත්‍යන්තරව ඇති කළ යුතු විශ්වාසය හා ශක්තිමත්භාවය වෙනුවෙන් පියවර රාශියක් ගෙන ප්‍රගතියක් ඇති කර තිබෙන බවම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියී.
විවේචනයන්ට ඉඩ දෙමින්, විවේචනයන්ද සලකා බලමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ශක්තිමත් කොට තිබෙනවා. විශේෂයෙන් ආර්ථික අවුලක තිබුණු ජූලි මාසය වෙනස් කර ගෙන අද එදිනෙදා මහජනතාවගේ අවශ්‍යතාවන් ඇති කර දීමට පුළුවන් කත්ත්වය ඇති කර තිබෙන බව ඒ විශ්වාසය රට පුරාම පවතිනවා.
ජීවන වියදමේ ගැටලු ඇති, ජීවන වියදම වැඩිවීම පිළිබඳ බර ඇති, නමුත් රජය මේ අභියෝගයෙන් ගොඩ නැඟීම සඳහා සියලු දෙනාට එකමුතුවෙන් කාරණා හරහා ගමන් කරන්ටත්, විසදුම් සෙවීමටත් අපි යළිත් විශ්වාසය සඳහන් කරන්නට කැමතියි.
ඒ වගේම ගරු කතානායකතුමනි, ඒ කාල පරිච්ඡේදයේ වූ ප්‍රධාන ඉල්ලීමක් තමයි අපි පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඇති කොට වෙනස් කොට අලුත් මඟක් ගත යුතු බව. ඒ වෙනුවෙන් රජය ඇති කළ කාරක සභා ක්‍රමය උපරිම ක්‍රියාකාරී බවට පත් කරන්න 2023 වසර පාර්ලිමේන්තුව කටයුතු කරයි කියන එක අපි මේ අවස්ථාවේදී යළිත් ප්‍රාර්ථනය කරනවා. කතානායකතුමා විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙන එම කාරක සභාවල්වල කටයුතු එලෙසම සක්‍රීයව කරගෙන යාමට පාර්ලිමේන්තුවේ සියලුම පාර්ශවයන්ගේ සහයෝගය අපි මේ අවස්ථාවේදී අපේක්ෂා කරන බව සඳහන් කරන්ට කැමැතියි.
ඒ වගේම පසුගිය කාල පරිච්ඡේදයේ ඇති වුණු මහත් වූ ආණ්ඩුක්‍රම ආන්දෝලනය වූ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කොට එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති, ප්‍රතිපාදනයක් ඇති කිරීම සඳහා වු ක්‍රියාවේදී 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඇති කළ යුතු ක්‍රියාමාර්ග සාර්ථකව ඉදිරියට ගෙන යන්නට රජය කැප වී තිබෙන බවත්, ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන් ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට එකඟතාවයෙන් හා කැපවීමෙන් එක්ව ක්‍රියා කරන ලෙස පාර්ලිමේන්තුවට මම යළිත් වරක් ආයාචනය කරන්න කැමැතියි.
එපමණක් නොව පාර්ලිමේන්තුවේ හා සර්ව පාක්ෂික එකඟතාවයෙන් ඇති කරන ලද ජාතික සභාව, සියලු පාර්ශවයන් නියෝජනය වන පරිදි ඇති කරන ලද ජාතික සභාව ද එලෙස සක්‍රීය කිරීමට රජය හා විපක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය ගරු කතානායාකතුමාගේ මූලාසනයෙන් ඇති වී ඇති කොට තිබෙන ජාතික සභාවේ කටයුතුත් එලෙස ඉදිරියට ගෙනියන්න සහභාගීත්වය හා සහයෝගය ලබා දීම ඉතාම වැදගත් බවත් මේ අවස්ථාවේ සඳහන් කරමින් අපේ රටේ අනාගතය ගොඩනගන්නට අපේ රටේ ආර්ථිකය වඩාත් ශක්තිමත් භාවයට පරිවර්තනය කිරීම සඳහා ජාත්‍යන්තරව ඇති කරගෙන තිබෙන සාකච්ඡා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත් ඒ වාගේම අපට ආධාර දෙන කණ්ඩායම්, රටවල් ගණනාවක් විශේෂ ඉන්දියාවත්, මහජන චීනය සමඟ ඒ කරගෙන යන සාකච්ඡාවල් සාර්ථකව ප්‍රතඵල ගෙන ඒමට හැකි ක්‍රියාමාර්ගයට අප කැප වී තිබෙනවා.
එය ඉතා ඉක්මණින් සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙමින් රටේ සියලු පුරවැසියන්ට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පුරවැසියන්ගේ එහකඟතාවයෙන් අපේ රටේ අනාගතය ගොඩනඟන ඒ ගෞරවාන්විත අභියෝගය ජයගත හැකි ගමනක් සඳහා අපි කටයුතු කරමු. අපේ රටේ මේ වන විට එම අර්බුදයට කර දී ඒ අභියෝග හරහා ගමන් කිරීමට කැප වී සිටින ගොවි ජනතාවත්, ධීවර ජනතාවත් ඒ වගේම අපේ ජාතික ව්‍යාපාරික ජනතාව මූණ දෙන අමාරුකම් මධ්‍යයේ ජාතික ප්‍රජාව ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහයෝගයෙන් මත ඒ ආර්ථික ශක්තිමත්භාවය ඵලදායී අනාගතයකට පරිවර්තනය කරන ආර්ථීක නිෂ්පාදනය, අපනයනයන් ජාත්‍යන්තරව අපට දිනා ගත හැකි අතිරේක මූල්‍ය විදේශ විනිමය දිනා ගැනීමේ කටයුත්තට අපි එක්ව කටයුතු කරමු.
පාර්ලිමේන්තුවට අපි ප්‍රතිඥා දී ඇති පරිදි පාර්ලිමේන්තුවට 2023 ජනාධිපතිතුමා එකඟ වූ සෑම නීතියක්ම ඉදිරිපත් කිරීමේ කටුයුතුවලට අපි කාලසටහන අනුව ඉතා පැහැදිලි ක්‍රියාමාර්ගයකට ඉදිරිපත් කර කටයුතු කරන බව යළිත් පාර්ලිමේන්තුවට සඳහන් කරමින් අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, ඒ සමඟම මේ අවස්ථාවේ ජනාධිපතිතුමා කර තිබෙන ප්‍රකාශයට අතිරේකව, පාර්ලිමේන්තුව වෙනුවෙන් 16 වෙනි බෙනඩික් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ අපගේ ශෝකයේ පණිවිඩය මේ අවස්ථාවේදී විශේෂයෙන් සටහන් කොට දන්වන ලෙස ද ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. ස්තූතියි.”
2026-09-09
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.
2026-09-09
වසර 50කට අධික කාලයක් භාවිතා කර ඇති පැරණි හා යල් පැන ගිය යන්ත්‍රෝපකරණ ක්‍රමයෙන් ඉවත් කර, නවීන තාක්ෂණයෙන් සමන්විත කාර්යක්ෂම උපකරණ මිලදී ගනිමින්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ තාක්ෂණයෙන් සහ උසස් ආරක්ෂිත මුද්‍රණ (Smart Security Printing) හැකියාවන්ගෙන් සමන්විත නවීන මුද්‍රණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනමින් තවත් සේවකයන් 21 දෙනෙකු සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.පාදුක්ක, වටරැක ප්‍රදේශයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණාලය මඟින් රජයෙන් ලැබෙන ඇණවුම් පරිදි පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය, ආරක්ෂිත මුද්‍රණ කටයුතු ( පළාත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ලොතරැයි මුද්‍රණය හා රහස් ලේඛන මුද්‍රණය) සිදු කරන බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම, SPC අභ්‍යාස පොත් මුද්‍රණය, විවිධ රාජ්‍ය ආයතන සඳහා මුද්‍රණ කටයුතු, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු, පුද්ගලික මුද්‍රණ ඇණවුම් කටයුතු සහ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදු කරන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා SPC අලෙවිසැල් ජාලය ද පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතීම හේතුවෙන් රජයට ප්‍රතිලාභ රැසක් අත්වන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, වෙළෙඳපොළ මිල පාලනය කිරීමේ සාධකයක් ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම, වෙළෙඳපොළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ (Security Printing) ඒකකයක අවශ්‍යතාව සපුරාලීම සහ රාජ්‍ය අංශයේ එකම රාජ්‍ය ව්‍යවසාය ආයතනය ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම ඒ අතර වන බව ඇය සඳහන් කළාය.මහා පරිමාණ මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සැපයීම, රජය සතු මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සපුරාලීම සහ මුද්‍රණ කටයුතු සඳහා පවතින පිරිවැය අවම කර ගැනීම ද එහි ප්‍රතිලාභ අතර වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එමෙන්ම, දීර්ඝ කාලයක සිට රාජ්‍ය ආයතනයක් ලෙස රැකියා අවස්ථා සලසා දෙමින් පුහුණු මානව සම්පතක් සහිත වීම සහ රාජ්‍ය භාගය ලෙස රජයට ප්‍රතිලාභ අත්වීමට ඉඩ සැලසීම ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
2026-09-08
“ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එම නිවේදනය පහත පරිදි වේ. පනත් කෙටුම්පතේ 3(එ) වගන්තිය අපැහැදිලි වන අතර, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා එම වගන්තිය ඉවත් කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(i) පනත් කෙටුම්පතේ 4(ච) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බවත්, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි එම වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(ii) පනත් කෙටුම්පතේ 5(4)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 5 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද,(iii) පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ද,ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.• 2026 අගෝස්තු 21 දින පෙත්සම් හතයි • 2026 අගෝස්තු 24 දින පෙත්සම් හතරයි • 2026 අගෝස්තු 25 දින පෙත්සම් අටයි • 2026 අගෝස්තු 28 දින පෙත්සම් පහයි • 2026 අගෝස්තු 31 දින පෙත්සම් තිස් එකයි • 2026 සැප්තැම්බර් 01 දින පෙත්සම් දහයයි • 2026 සැප්තැම්බර් 03 දින පෙත්සම් තුනයි • 2026 සැප්තැම්බර් 04 දින පෙත්සම් දෙකයි “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහළොවක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම්2026 අගෝස්තු 19 දින කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සමට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතක පිටපත් ලැබී ඇති බව ද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
2026-09-08
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 08) සිය සහතිකය සටහන් කළේය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් පනත යටතේ සිදුවන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමයි.මේ අනුව 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එම පනතට අදාළ වන වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් මත ප්‍රමාණවත් නොවන බැවින් එම දඩ මුදල් සංශෝධනය කිරීම මෙම නව සංශෝධන පනත මගින් සිදු වේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිදුකෙරේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 21 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks