E   |   த   |  

2022-12-13

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

වෙළඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යෑම පාලනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා - වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා

  • ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලාභදායීව පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා
  • සාධාරණ වෙළෙඳපොළ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අරමුණින් 2003 අංක 9 දරණ පාරිභෝගික පනත සංශෝධනය කිරීමට පියවර

 

අද වන විට වෙළඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට සිය අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසිය. ඒ මහතා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ  පසුගිය මාර්තු අප්‍රේල් මාස වල විවෘත වෙළෙඳ පොළේ මිල සංසන්දනය කරන විට නොවැම්බර් මස වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමේ සහනය පාරිභෝගිකයාට ලබා දීමට හැකියාව ලැබී තිබෙන බවයි. ඒ අනුව විවෘත වෙළඳපොලේ ජූලි මාසයේ පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 595 ක් වූ අතර දෙසැම්බර් මාසයේදී පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් ලංකා සතොස ආයතනයේ රුපියල් 389 ක් දක්වා අඩු වී තිබෙන බවත් විවෘත වෙළෙඳ පොළේ රුපියල් 410ක් වූ පාන් පිටි කිලෝ ග්‍රෑම් 1 දෙසැම්බර් මාසයේදී ලංකා සතොස ආයතනයෙන් මිල රුපියල් 265 දක්වා අඩු කිරීමටත් හැකිවූ බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම, රුපියල් 280 ට පැවති සුදු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 229 දක්වා අඩු කිරිමටත්, රුපියල් 225කට මුලවූ සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 198 දක්වා අඩු කිරීමටද සතොස ආයතනයට හැකිවූ බව අමාත්‍යවරයා පැවසීය.

එළඹෙන උත්සව සමය තුළ පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් වෙළෙඳපොළ නිරීක්ෂණය හා පරීක්ෂා කිරීම් කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස අමාත්‍යවරයා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හා මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදී.

එයට අමතරව සාධාරණ වෙළෙඳපොළ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව 2003 අංක 9 දරණ පාරිභෝගික පනත සංශෝධනය කිරීමටත් කටයුතු කරන බව අවධාරණය කළේය. එහිදී පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පූර්ණකාලීන සාමාජිකයන්ගේ සුදුසුකම් උක්ත පනතට ඇතුළත් කිරීමට සහ  නිෂ්පාදකයන් හා වෙළඳුන්ට එරෙහිව ලැබෙන පාරිභෝගික පැමිණිලි විමර්ශනය කිරීමේ ක්‍රමවේදය වඩා ක්‍රමවත් හා ශක්තිමත් අයුරින් පනතට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය. නව වගන්ති ඇතුළත් සංශෝධිත කෙටුම්පත මීළඟ උපදේශක කාරක සභා රැස්වීමට යොමු කිරීමට අදහස් කරන බවද ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙරට තරුණ තරුණියන් සමුපකාර ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පළ විය. තරුණ ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට සමුපකාර ක්ෂේත්‍රය ඔස්සේ සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් සමූපකාර සමිති සවිබල ගැන්වීම තුළින් සිල්ලර හා තොග අලෙවි ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමත් සමූපකාර ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙන බවද මෙහිදී කාරක සභා සභාපතිවරයා පැවසීය.

වර්තමානය වන විට ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලාභදායීව පවත්වාගෙන යාමට හැකිවී ඇති බවත් රටට අවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කර බෙදාහැරීමේ තනි අයිතිය එස් ටී සී ආයතනය වෙත පැවරී තිබූ නමුත් ඉන්දියාව විසින් ඇමෝනියම් නයිට්‍රේට් අපනයනය තහනම් කිරීම සමඟ රට තුළ පුපුරණ ද්‍රව්‍ය කර්මාන්තය පසුබෑමකට ලක්විය. නමුත් නැවතත් ඇමෝනියම් නයිට්‍රේට් එස්.ටී.සී ආයතනය හරහා ආනයනය කර බෙදා හැරීමට කටයුතු කර තිබෙන බවද ප්‍රනාන්දු මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම රට තුළ ආහාර ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳ රජයේ දැඩි අවධානය යොමු වී ඇති අතර ආදායම් ඉහළ නැංවීම සහ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා කාන්තා ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම මාසය තුළ ආරම්භ කිරීමට නියමිත බවද මෙහිදී අවධාරණය කෙරිණි.  මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් අදාල ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත්  අදාල හඳුනාගැනීම සිදු කළ පසු කාන්තා ව්‍යවසායකයන් වෙත සිය ගෘහ ආදායම වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ලබාදීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

මහපොළ අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය නැවත දියත් කිරීම පිළිබඳ මෙහිදී අදහස් පළ වූ අතර  2023 වර්ෂයේ මාර්තු මාසය වන විට මහපොළ අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය නැවත ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු එස්. වියාලේන්ද්‍රන්, ගරු කාදර් මස්තාන්, ගරු රෝහණ දිසානායක යන මහත්වරු ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් සහභාගී වූහ. එමෙන්ම වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

 

1 2

3 4



සම්බන්ධිත පුවත්

2026-09-25

පත්වීම් ත්‍රිත්වයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ උක්ත පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් මහත්මියගේ පත්වීමට සහ  කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එමෙන්ම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතාගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී.


2026-09-24

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කිරීමට ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධාරණය කෙරිණි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 22) පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ උපරිම යහපත සැලසීම, සත්‍යතාව සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම මෙන්ම ළමයින් හා ඔවුන්ගේ පවුල් අනවශ්‍ය ලෙස නිරාවරණය වීම වැළැක්වීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන තිබේ.එමෙන්ම, ආබාධිත දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී ඔවුන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.මේ අතර, දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවල කාන්තා සහ ළමා ඒකක ශක්තිමත් කිරීම සඳහා දෙමළ භාෂාව හැසිරවිය හැකි කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. යාපනය ඇතුළු ප්‍රදේශවල කාන්තාවන්ට සහ ළමයින්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේදී පවතින භාෂාමය අපහසුතා මගහරවා ගැනීම මෙහි අරමුණ විය.දිවයින පුරා පවතින ළමා නිවාස  පාලනය සහ අධීක්ෂණය විධිමත් කිරීම සඳහා මධ්‍යගත තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධානයට ලක් විය. දරුවන්ට සිදු වන හිංසන වැළැක්වීම සඳහා එම ආයතනවල කළමනාකාරීත්වයේ වගකීම තහවුරු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.තවද, වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත්  වීම  සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව ද සාකච්ඡා වූ අතර, ඒ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් මගින් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් විය. විදේශ රැකියාවල නිරත කාන්තාවන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනික වියදම් ප්‍රතිපූරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.එමෙන්ම, 2027 වසර වන විට සියලු පෙර පාසල් සඳහා පොදු ප්‍රමිතීන් හඳුන්වා දීම, පෙර පාසල් ගුරුවරුන් සඳහා පොදු පුහුණු හා සහතික ක්‍රමවේදයක් ඇති කිරීම සහ පෙර පාසල්වල පවතින යටිතල පහසුකම්වල ගැටලු විසඳීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ළමා අපයෝජන නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා ලබා දීම කඩිනම් කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම සහ ළමා අපයෝජන නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.ළමයින්ට සිදු කරන ශාරීරික දණ්ඩනය නීතියෙන් තහනම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.


2026-09-23

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

සැප්තැම්බර් 24 සහ 25 දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට  නියමිත “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පත්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්. 22) එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි. නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කාරක සභාවට සහභාගී වූහ. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් 2026.09.22 දින පාර්ලිමේන්තුවට නිවේදනය කළ  පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳව ද නිතිපතිවරයා කාරක සභාවට පැහැදිළි කිරීමක් සිදු කළේය. එසේම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් කාරක සභා මන්ත්‍රීවරු සිය අදහස් පළ කළහ. යෝජිත සංශෝධන මගින් අධිකරණ ධාරිතාව පුළුල් කිරීම, අභියාචනා යුක්තිය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම, විභාග වෙමින් පවතින නඩු වේගවත්ව අවසන් කිරීම, විනිසුරුවරුන්ගේ අත්දැකීම් රඳවා ගැනීම සහ විනිසුරුවරුන් පත් කිරීමේ ආයතනික ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන තිබේ.ඒ අනුව, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.තවද, පළාත්බද මහාධිකරණ මට්ටමේ අධිකරණ ධාරිතාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. පළාත්බද මහාධිකරණ විසින් බරපතළ අපරාධ සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබන අතර, 2006 වසරේ සිදු කරන ලද සංශෝධනවලින් අනතුරුව පළාත්බද සිවිල් මහාධිකරණ මඟින් අභියාචනා අධිකරණ බලය ද ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නඩු ගොඩ ගැසීම සහ ඒවා අවසන් කිරීමේදී සිදු වන ප්‍රමාදයන් හේතුවෙන් අතිරේක අධිකරණ සහ විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය මතු වී ඇත. ඒ අනුව; අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීම මඟින් පළපුරුදු අධිකරණ නිලධාරින්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම ද මෙම සංශෝධන මගින් අපේක්ෂා කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යා‍මේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර සහ චන්දන සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ද මීට අමතරව කාරක සභික නොවන මන්ත්‍රීවරුන් වන නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, නීතීඥ යූ.පී. අබේවික්‍රම හා ගයාන් ජනක යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-09-23

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීම පහසු කිරීමට පියවර ගැනීම පිළිබඳව විශේෂ කමිටුවේ අවධානය

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කරන ලද, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පිහිටුවන ලද විශේෂ කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගියදා පළමු වරට රැස්විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සුගත් වසන්ත ද සිල්වා, දිනේෂ් හේමන්ත සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මෙන්ම ඔවුන්ගේ ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන සකස් කර භාවිත කිරීමේදී මුහුණ පාන ප්‍රායෝගික හා නෛතික ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (NTMI) මගින් සිදු කරන වෛද්‍ය පරීක්ෂණ, ආබාධිත තත්ත්වය අනුව ලබා දෙන වෛද්‍ය නිර්දේශ සහ ඒ අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්, වෛද්‍ය පරීක්ෂණ දිස්ත්‍රික් මට්ටමින් ලබා දීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා පෙනීමේ පරාසය ඇතුළු වෛද්‍ය නිර්ණායක සලකා බලමින් රියදුරු බලපත්‍ර ලබා දෙන වාහන  වර්ග පුළුල් කිරීම,වාහනවලට  ගැළපෙන ආරක්ෂිත උපකරණ සවි කිරීම සහ ඉදිරි ගැසට් සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කෙරිණි..ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා දීමේදී පවතින නීතිමය තත්ත්වය, විශේෂ සලකුණු භාවිතය සහ සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහාය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන නවීකරණය කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු විය.එක් පුද්ගලයෙකුට වාහන කිහිපයක් සඳහා බලපත්‍ර ලබා දීම, වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේදය සරල කිරීම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර මාර්ගගත පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද  යෝජනා ඉදිරිපත් විය.ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා අවශ්‍ය ගැසට් සංශෝධන, ප්‍රාදේශීය මට්ටමින් සේවා පුළුල් කිරීම සහ අදාළ ආයතන දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමේ වැදගත්කම ද අවධාරණය විය.මෙම රැස්වීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරීහු  ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks