බලන්න

E   |   த   |  

2022-12-09

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට නොගැනීම සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාවේ කනගාටුව

ඉන්දීය රජය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව යන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ලබාදී තිබුණත් රජයේ දෙපාර්තමේන්තු ඖෂධ මිලදී ගැනීම සඳහා ඒවා නිසි ලෙස භාවිතයට නොගැනීම සම්බන්ධයෙන් කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා පසුගියදා සිය කනගාටුව පළ කළේය.

කෙසේ වෙතත්, එම ණය පහසුකම් යටතේ පෞද්ගලික අංශයට ලබා දී ඇති කෝටාව නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.
 
ඔහු මේ බව පැවසුවේ බටහිර  ඖෂධ සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුව  පසුගියදා (දෙසැ. 05) රැස්වූ අවස්ථාවේදීය.

රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් පමණක් පවතින බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීහු මෙහිදී පැවසූහ.  එසේම දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් මිලියන 6ක් වාර්ෂිකව  වැය වන බවද ඔවුහු ප්‍රකාශ කළහ. මෙම ආනයනය නතර කර අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීමට ගන්නා උත්සාහයන් දිරිමත් කළ යුතු බව මෙහිදී කමිටුව පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් ඖෂධ සැපයුම් අංශය සඳහන් කළේ ඉන්දියානු ණය ආධාර ව්‍යාපෘතිය (Indian Credit Line) යටතේ වාර්ෂිකව ඇනවුම් කළ යුතු අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් මාසය වන විට ඇනවුම් කර ඇති බවත්, එම ව්‍යාපෘතියේ ස්වභාවය අනුව ඖෂධ ලැබීමේ යම් ප්‍රමාදයක් පවතින බවත් ය. ජාත්‍යන්තර ආධාරවලට අමතරව මහා භාණ්ඩාගාරය වෙතින්ද රුපියල් සහ ඩොලර් මූල්‍ය ප්‍රතිපාදන ඖෂධ මිල දී ගැනීම සඳහා ලබාදෙන බව ද භාණ්ඩාගාර නිලධාරීහු මෙහිදී පැවසූහ.

බටහිර ඖෂධ නිෂ්පාදනය සහ සැපයීම සම්බන්ධ කාරණයේ දී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ගෙවීම් සිදු කර පෞද්ගලික අංශයට අවශ්‍ය ඖෂධ සැපයීමේ හැකියාවක් පවතී නම්, රටට යම් ඩොලර් ප්‍රමාණයක් ඉතිරිවන බවට වන යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් විය.

දේශීය සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ශාකමය අමුද්‍රව්‍ය 130 ක් දැනට ඉන්දියාව සහ චීනය වැනි රටවලින් ආනයනය කරන බවත් ඉන් ශාක 50 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වගා නොකරන බවත් ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේය. ඉතිරි ඖෂධීය ශාක 80 වගා කිරීම සඳහා ඉඩම් ගැටලු සහ වෙනත් හේතු මත බාධාවක් වී ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළහ. නමුත් විද්වත් කමිටුවක් මගින් සකසන ලද ආයුර්වේද සහ දේශීය වෙදකම සඳහා භාවිතා කළ හැකි ශාකමය අමුද්‍රව්‍ය සම්බන්ධ ප්‍රතිනිධි ලැයිස්තුව අනුව පිටරටින් ගෙන්වන අමුද්‍රව්‍ය 130 අතරින් තවත් 40-50 ක පමණ ප්‍රතිනිධි ගණයට ඇතුලත් වන බැවින් එම ශාක 130 න් වැඩි ප්‍රමාණයක් මෙරට වගා කිරීමේ හැකියාව පවතින බවට විශ්වාස කළ හැකි බව කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ලංකාවේ පවතින ශාකමය ඖෂධ එකතු කරගැනිමේ ගැටළුවක්  පවතින අතර, ඊට හේතු ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තු නියෝජිතයන් පෙන්වා දුන්නේ වන සං‍රක්ෂණ  නීති යනාදිය මගින් ශාක වැවීම සහ එකතු කිරීම සම්බන්ධයෙන් බාධා ඇතිවන බවය. මෙහිදී කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව සමග ආයුර්වේද දෙපාර්තමේන්තුව සාකච්ඡා කොට යම් බලපත්‍ර ක්‍රමයක් ඔස්සේ ඖෂධ ශාක වගා කිරීමේ හැකියාවක් පවතින බවය. එමෙන්ම අඩවි වන  නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඖෂධ එකතු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන්ට හෙතෙම උපදෙස් දුන්නේය.

ආර්ථික ස්ථායීකරණ කමිටු සභාපති, පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේ දැනට ඖෂධ මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බැවින්, විශ්‍රාමිකයන් වැඩිහිටියන් සම්බන්ධයෙන් විශාල සැළකිල්ලක් දැක්විය යුතු බවය. ඔහු පෙන්වා දෙන්නේ එසේ නොවුනහොත් කොරෝනාවට වඩා හානියක් ඉදිරියේ දී සිදුවිය හැකි බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අශෝක් අබේසිංහ, ගරු ඒ. එල්. එම්. අතාවුල්ලා, ගරු එම්. රාමේෂ්වරන්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජිතයින්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, බටහිර ඖෂධ සමාගම් නියෝජිතයින් ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට  සහභාගී වූහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.


2026-11-16

අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලි මංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා විය. අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ සැටලයිට් කොලර් තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්‍රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට ලක් විය.මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, උපුල් කිත්සිරි, නීතීඥ එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks