බලන්න

E   |   த   |  

2022-12-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ පරිපාලන ගැටලු රැසක් එළියට

විධිමත් විමර්ශනයන් සමග කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග..

ලබන වසර මුල නැවත කැදවීමක්...

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 2019 සහ 2020 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2020.12.08 වැනිදා  පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) විමර්ශනය කෙරිණි.

එහිදී විගණකාධිපතිවරයා විසින් සිය වාර්තාවේ  පෙන්වා දී තිබූ මූලික කාරණා 21 ක් පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනිණි.

1.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට අදාළ පනත සම්බන්ධයෙන් ඇති ගැටලු යාවත්කාලීන කිරීම පිළිබද කරුණු මෙහිදී විමර්ශනය කෙරිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන ආයතනයක් ලෙස කටයුතු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට විදේශ සේවා නියෝජිතායතන නියෝජනය කරමින් සිවුදෙනෙකු පත් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමුවිය. ‍කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට අමාත්‍යාංශයේ නියෝජිතයෙකු නොමැති වීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටුව දැනුම් දුන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යාවත්කාලීන කිරීම සදහා කඩිනමින් කටයුතු කර ඒ පිළිබද මූලික වාර්තාවක් මසක කාලසීමාවක් තුළ ඉදිරිපත් කරන ලෙසයි.

2. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතට අනුව උප සභාපති තනතුරක් නොතිබිය යුතු බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන්නේය. එමෙන්ම අමාත්‍යවරයා විසින් කර ඇති පත්වීම නීත්‍යනුකූල නොවන බවත් එවැනි පත් කිරීමක් සදහා පනතේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවත්  අමාත්‍යවරයා වෙත වහාම ක්‍රියාත්මක වන පිරිදි ලිපියක් මගින් ඒ බව  දන්වන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග මෙහිදී කෙරිණි.පසුගිය කාල සීමාව තුල උක්ත තනතුර දැරෑ පුද්ගලයන් ගනු ලැබු තීරණ නිත්‍යනුකූල නොවන බව දන්වන ලෙසද ලේකම්වරයාට දන්වන ලදි.

3. කාර්යාංශයේ සංයුක්ත සැලැස්ම යාවත්කාලින කර මාස දෙකක් ඇතුලත ඉදිරිපත් කරන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට කෝප් කමිටුව නියෝග කරන ලදි. එ සමගම උපායමාර්ගික සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම සහ අනුප්‍රාප්තික සැලැස්ම ද ඊට ඇතුළත් විය යුතු බවටද උපදෙස් ලබා දෙන ලදී.


4. කම්කරු සුබසාධන අරමුදල වෙනම ගිණුමක් ලෙස පවත්වාගෙන යාම සහ විගණකාධිපතිවරයාගේ මූල්‍ය විගණනයට ලක්කිරීම සදහා වන වැඩපිළිවෙල මෙම මුදල් වර්ෂයේ සිට ක්‍රියාවට නංවන ලෙස නියෝග කෙරිණි. ඒ පිළිබඳව ප්‍රධාන මූල්‍ය නිලධාරියා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දන්වා අධ්‍යක්ෂ මණ්ඩල තීරණය දෙමසක් ඇතුළත කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කෙරිණි.

5. පූර්ව කැබිනට් නිර්දේශයකට අනුව ශ්‍රී ලංකා පොලිසියේ සේවය විමර්ශන කටයුතු සදහා කාර්යාංශය යොදාගෙන තිබුණද දැනට එවැන්නක් ක්‍රියාත්මක නොවන නිසා විමර්ශන කටයුතුවල සිදුවිය හැකි අඩුපාඩු මොනවාද යන්න හදුනා ගැනීම සිදුවිය. ඉහත කැබිනට් අනුමතියට අදාළ වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීම පිළිබඳ කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

එවැනි අවශ්‍යතාවක් නොමැතිනම් එය කැබිනට් මණ්ඩලය වෙත දන්වා ඒ සදහා අවශ්‍ය විධිවිධාන ගන්නා ලෙස ද  උපදෙස් ලබා දුන්නේය.

6. විවිධ අක්‍රමිකතාවන් පිළිබඳව විගණකාධිපතිවරයා විසින් හෝ අමාත්‍යාංශ මටිටමින් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශ මට්ටමින් ‍ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකොට වරදකරුවන්ට දඩුවම් නොකිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයන්ට අනුව ඔවුන් නිදොස්කොට නිදහස් කිරීම පිළිබඳව කරුණු සාකච්ඡා විය. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විනය පරීක්ෂණ සංචිතයේ සහයෝගය ලබාගෙන විධිමත් විනය පරීක්ෂණයක් සිදුකොට මසක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

7. විදේශගත ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් ලබා දීමේදී සිදුවී ඇතැයි කියන දෝෂ සහගත තත්ත්වයන් සහ අක්‍රමිකතා පිළිබදව විශේෂ වාර්තාවක් විගණකාධිපතිවරයා වෙතින් කැදවීමට නිර්දේශ විය. එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණාවරණයක් ලබා දීමේ ක්‍රියා පිටිපාටිය පිළිබදව සංක්ෂිප්ත වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

8. විධිමත් අනුමැතියකින් තොරව දිගින් දිගටම කාර්යාංශය මගින් සිදුකළ වියදම් සමිබන්ධයෙන් කරුණු විභාග කළ අතර ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මහාභාණ්ඩාගාරයේ නියෝජිතයා විසින් සම්බන්ධීකරණය කොට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද සංක්ෂිප්ත වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි.

එහිදී මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් ලෙස විවිධ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත්කර යවන පිරිස් නිශ්චිත කාල සීමාවකට පත් කරන ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට නියෝග කෙරිණි.

9. ආයෝජන තීන්දු පමා කිරීම මගින්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුව ඇති අලාභ පිළිබද කෝප් කමිටුව කරුණු විමර්ශනය කළ අතර එවැනි අලාභයක්  සිදුව ඇත්තේ එවැනි තීන්දු ගැනීම සදහා වන බලය එක් නිලධාරියෙකුට පැවරීම නිසා බව ද හෙළි විය. එමනිසා කමිටුවක් වෙත එම බලය පැවරිය යුතු යැයි නිර්දේශ කළ කෝප් කමිටුව  ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් තුළ දන්වන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට නියෝග කළේය.

10. විදේශ දූත මණ්ඩලවල කම්කරු සුබසාධන කටයුතු සිදුකරන අය පිළිබදව විශේෂ විමර්ශනයක් අභ්‍යන්තර විගණක විිසින් කළයුතුයැයි කෝප් කමිටුව යෝජනා කළ අතර එම වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා මගින් කෝප් කමිටුව වෙත ලැබීමට සලස්වන ලෙස නිර්දේශ කෙරිණි.

11. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විවිධ රටවල රැකියා අවස්ථාවන් සදහා පවත්වන විවිධ වැඩසටහන් මගින් විශාල පිරිසකට පුහුණු අවස්ථාවන් ලැබුණද විදේශගත වීමට අවස්ථාව නොලබන නිසා සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විගණාකාධිපති වාර්තාව මගින් හෙළිදරව් විය. එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දැනුට පුහුණු කිරීම් සදහා යොමුකොට විදේශගත විීමට සූදානම් කර ඇති  පිරිස් පිළිබද පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස කාර්යාංශයයේ සභාපතිවරයාට නියෝග කළේය. .

මෙම නිර්දේශවල ප්‍රගතිය පරීක්ෂාව සදහා නැවතත් මාස තුනකින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැඳවීමට ද මෙහිදී තීරණය විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ලොහාන් රත්වත්තේ , ගරු ශාන්ත බණ්ඩාර, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු දයාසිරි ජයසේකර, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු  එම් රාමේශ්වරන්, රාජිකා වික්‍රමසිංහ, ගරු නීතිඥ මධුර විතානගේ සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එසේම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්වරයා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

3 5

 



සම්බන්ධිත පුවත්

2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.


2026-11-16

අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලි මංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා විය. අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ සැටලයිට් කොලර් තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්‍රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට ලක් විය.මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, උපුල් කිත්සිරි, නීතීඥ එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks