බලන්න

E   |   த   |  

2022-12-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ජයවර්ධපුර රෝහලේ පරිපාලන දුර්වලතා රැසක් ‘කෝප්’ කමිටුවේ අවධානයට

•    විගණකාධිපතිගෙන් විශේෂ විමර්ශන වාර්තාවක් කැදවයි...
•    මාස තුනකින් යළි කැදවීමක්...

 

2022/12/06 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ‍රැස් වූ  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමි‍ටුව) විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් ඇති ගැටලු හඳුනාගන්නා ලදී.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධව විගණකාධිපතිතුමා විසින් මීට වසර 5 කට පෙර සිදු කරන ලද විගණනයකට අදාළ තොරතුරු  සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව ඉදිරිපත් කරන ලද විගණන වාර්තා පදනම් කරගෙන කෝප් කමි‍ටුව ‍රැස් විය. එහිදී විගණකාධිපති තුමාගේ වාර්තාවේ සඳහන් වෙන සියලු කාරණා සාකච්ඡාවට බඳුන් විය..

විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර ආරෝග්‍යශාලා මණ්ඩල පනත, එහි දැක්ම, මෙහෙවර, අරමුණු, සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කර ඇති ආකාරය පිළිබඳව කරුණු සාකච්ඡාවට ගැනුණි. එසේම උක්ත පනතට අනුව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමේදී රෝහල් කාර්යමණ්ඩල නියෝජනය කෙරෙන ආකාරයට පත් කිරීම් සිදු කිරීම පිළිබඳව ලැදියාවේ ගැ‍ටුමක් (conflict of interest) ඇත්දැයි සැලකිල්ලට ගෙන එවැන්නක් තිබේනම් එය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය විය.

විගණකාධිපතිතුමන් පෙන්වා දී ඇති කළමනාකරණ දුර්වලතා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. එහිදී දීර්ඝ කාලීනව සහ කෙටි කාලීනව ප්‍රමාණවත් සැලැස්මක් නොමැති නිසාවෙන් සැලසුම් සම්බන්ධයෙන් බරපතල දුර්වලතාවයක් ඇති බවත් පසක් විය. ඒ අනුව මෙම ආයතනයේ දැක්ම අනුව වසර 2030 දී දකුණු ආසියාවේ හොඳම රෝහල බවට පත් කිරීමේ ඉලක්කයට ළඟා වීම සඳහා සුදුසු උපායමාර්ගික සැලසුම් මාස 2 ක් තුළ ඉදිරිපත් කිරීමට යෝජනා විය. එම සැලසුම් වලට මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදන කළමනාකරණය, අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන සැලස්ම, සහ විගණකාධිපති තුමා විසින් පෙන්වා දී තිබෙන පරිපාලන ගැටලු පෙන්වා දීම සඳහා කටයුතු කරන්නේ කෙසේද යන කාරණා ඇතුළත් විය යුතු බව සඳහන් කෙරුණි. එසේම සකස් කරන ලද සැලැස්ම කෝප් කමි‍ටුවට ඉදිරිපත් කිරීමටද නිර්දේශ කෙරුණි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහල පරිශ්‍රයට අයත් ඉඩමේ ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන අනවසර පදිංචිකරුවන් සිටීනම් ඔවුන්ව ඉවත් කිරීම සඳහා ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් කෝප් කමි‍ටුවෙන් නිර්දේශ කෙරුණි.

විගණකාධිපතිතුමාගේ විගණන වාර්තාවේ දැක්වෙන පරිදි, විවිධ උපදේශන සේවා ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් ගෙවා ඇති නමුදු සේවා නිම නොකළ ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ මුදල් නැවත අය කරගැනීම සඳහා පියවර ගැනීමට කෝප් කමි‍ටුවෙන් නිර්දේශ කෙරුණි.

කෝප් කමි‍ටුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලන ගැටලු විශාල සංඛ්‍යාවක් හඳුනා ගත්තේය. ඒවා සඳහා වන විසඳුම් සාකච්ඡාවට ගැනුණි. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කෝප් කමි‍ටුවෙන් අනු කමි‍ටුවක් පත් කිරීමට තීන්දු කෙරුණි. එම අනුකමි‍ටුව රෝහල් පරිශ්‍රයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට  අපේක්ෂා කෙරේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සියලුම වැදගත් අංශ ආවරණය වෙන පරිදි විශේෂ විගණන වාර්තාවක් පිළියෙල කරන ලෙස විගණකාධිපතිතුමාට කෝප් කමි‍ටුව විසින් දැනුම් දෙන ලදී.

රෝහලේ සියලුම කාර්ය මණ්ඩල ඇතුළත් වෙන ලෙසට සහ එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා අනු කමි‍ටු කිහිපයක් පත් කර ඒවායේ සහය ලබා ගන්නා ලෙසට අධ්‍යක්ෂක මණ්ඩලය වෙත කෝප් කමි‍ටුවෙන් නිර්දේශ කෙරුණි.

2015 වර්ෂයේදී සර්වේ ජනරාල්වරයා විසින් රෝහලේ ඉඩම් ප්‍රමාණය මැනුම්ගතකොට තිබුණි. නමුත් එසේ තිබියදී පෞද්ගලික මිනුම්දෝරුවරයෙකු ලවා රෝහල් ඉඩම නැවත මිනුම්ගත කොට තිබුණි. එහිදී මිනුම්පතිවරයාගේ පිඹුර තිබියදී නැවත පෞද්ගලික මිනුම්දෝරුවරයෙක් ලවා මැනුම් කටයුතු සිදුකළේ කුමක් සඳහාද, ඒ සඳහා සම්බන්ධ වුණ නිලධාරීන් කවුරුන්ද යන්න නම් ගම් සහිතව සවිස්තරාත්මක වාර්තාවක් කෝප් කමි‍ටුවට ලබා දෙන ලෙස නීති නිලධාරිනියට කෝප් කමි‍ටුව විසින් නිර්දේශ කෙරුණි.

ස්නායු ශල්‍ය ඒකකය සඳහා රු මිලියන 4.2 ක් වියදම් කර මිලදී ගෙන තිබුණ ශල්‍ය ද්‍රව්‍ය වලින් 80% ක් කල් ඉකුත්වීමට වග කිව යුතු නිලධාරීන්ට ගනු ලබන පියවර සම්බන්ධයෙන් කෝප් කමි‍ටුව විසින් විමසා සිටියේය. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කළ කමි‍ටුවකින් සිදු කළ පර්යේෂණ වාර්තාව මීට දින කිහිපයකට පෙර රෝහලට ලැබුණ බව රෝහල් නිලධාරීන් පවසා සිටියහ. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට කොප් කමි‍ටුවෙන් නිර්දේශ කරන ලද්දේ ඒ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදුකර සති 2 ක් තුළ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසටයි.

මෘදුකාංගයක් සඳහා රු මිලියන 1.8 ක් ද, ලේඛන ස්කෑන් කීරීම සහ අප්ලෝඩ් කිරීම සඳහා 2019 වර්ෂයේදී රු මිලියන 19.7 ක් ද වැය කර තිබීම සම්බන්ධයෙන් විගණන විමර්ෂණයට අදාලව පරීක්ෂණයක් සිදු කර සති 2 ක් තුළ එහි වාර්තාව කෝප් කමි‍ටුවට දන්වන ලෙසද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂකවරයා ඇතුළු කළමණාකාරීත්වයට නිර්දේශ කෙරුණි.

මාස 3 ක් ඇතුළත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීමට කෝප් කමි‍ටුව වෙත නැවත කැඳවීමට තීරණය විය.


රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, ගරු ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු අනුර දිසානායක, ගරු පාඨලී චම්පික රණවක, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නිමල් ලන්සා, ගරු එස්. එම් .එම් මුෂාරෆ්, ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු නීතිඥ මධුර විතානගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එසේම විගණකාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,  ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා, අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 10

12

 



සම්බන්ධිත පුවත්

2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.


2026-11-16

අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 13) පාර්ලිමේන්තුවේ දී රැස් විය.මෙහිදී අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලි මංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා විය. අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ සැටලයිට් කොලර් තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්‍රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට ලක් විය.මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, උපුල් කිත්සිරි, නීතීඥ එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks