2022-11-25
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්...
- රාජ්‍ය සේවයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවල පවතින අධික ප්‍රමාදය මගහරවා ගැනීමට කඩිනම් ක්‍රමවේදයක්...
- දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සඳහා තම තටයුතු සිදු කර ගෙනයාම සඳහා කාර්යාල පහසුකම්...
- ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවීම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා...
- කොළඹ නගරයේ සනිපාරක්ෂක හා මලාපවාහන ව්‍යාපෘතිය ගැන දැඩි අවධානය...
සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති අතර වහාම ඊට අවශ්‍ය නීතිමය තත්ත්වය සකස් කරන ලෙස, පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරියා වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දුන්නේය.
ඒ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී 2022.11.24 දින අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.
ක්ෂේත්‍ර නිලධාරීන් හට සිය කොට්ඨාශය තුළම ඡන්දය ඉල්ලීමේ හැකියාව ලබා දීම සඳහා ලැබී ඇති කැබිනට් අනුමැතිය අනුව,සංශෝධනයක් සිදු කිරීම සඳහා ඔක්තොබර් 19 වැනිදා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බව, අමාත්‍යංශ නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ කාර්යභාරය පිළිබඳ මෙහිදී විමසා බැලුනු අතර, ආයතන ප්‍රතිව්‍යහගත කිරීමේ වැඩසටහනට මෙම ආයතනයද ඇතුළත්ව ඇති බැවින් මන්ත්‍රිවරයන් ආයතනය වෙත ගෙන්වා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලෙස, අග්‍රාමාත්‍යවරයා එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත උපදෙස් ලබා දුන්නේය.
රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා ස්ථාන මාරුවීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසයි. ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදනයක් නොමැති බවත් ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ ඉල්ලීම් මත මාරුවීම් ලබාදීම සිදුකරන බවත්, පැවසූ අමාත්‍යාංශ ලේකම්වරයා,මේ වනවිට ප්‍රාදේශිය ලේකම්වරයෙක් හට එක් සථානයක සේවය කළ හැක්කේ අවුරුදු 06 ක් බවත් එහි උපරිමය අවුරුදු 12 ක් ලෙසක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිර්දේශයක් ලබාගෙන ඒ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරිම් සිදුකර ඇති බවත් කියා සිටියේය.
සමහර ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල 2021 සඳහා ලබාදී තිබූ ප්‍රතිපාදන යොදවා කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කොට නොතිබීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. එහිදී සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නේ ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගන්නා ලෙසයි. අල්ලස් ගැනීම්, වංචා සහ දූෂණ වලට සම්බන්ධ ප්‍රාදේශීය ලෙකම්වරු සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ මන්දගාමී බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්නේය.
අක්‍රමිකතා සිදුකරන ග්‍රාමනිලධාරින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මෙහිදී මන්ත්‍රීවරු ඉල්ලා සිටි අතර සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කොට තිබියදී පවා ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාදවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම ක්‍රියාමාර්ග ගන්නා බවයි. එහිදී ප්‍රාථමික හා ද්විතීක මට්ටමේ නිලධාරීන්ගේ පැමිණිලි ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතත්, තෘතීයික මට්ටමේ නිලධාරීන්ගේ පැමිණිලි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතත් යොමු කොට ඇති අතර විධායක මට්ටමේ නිලධාරීන්ගේ පැමිණිලි සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සෘජුව මැදිහත් වන බවයි. රාජ්‍ය සේවයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවල පවතින අධික ප්‍රමාදය මගහරවා ගැනීමට වහා කටයුතු කළ යුතු බව, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සඳහා තම තටයුතු සිදු කර ගෙන යාම සඳහා කාර්යාල පහසුකම් කඩිනමින් ලබා දිය යුතු බව සභාපතිවරයා ස්වදේහ කටයුතු අතිරේක ලේකම් වෙත අවධාරණය කළ අතර දිස්ත්‍රික් කාර්යාලවල ඒ සඳහා පහසුකම් නොමැති අවස්ථාවලදි පළාත් අණ්ඩුකරවරු සමඟ සාකච්චා කොට ඒ සඳහා පහසුකම් ලබා ගන්නා ලෙස ද වැඩි දුරටත් උපදෙස් දුන්නේය.
මීට පෙර යෝජනා කරන ලද මෙතෙක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලද, නගර සභා මහ නගර සභා බවට අසස් කිරීම සඳහා කරුණු යළි අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට අවශ්‍ය කටයුතු අප්‍රමාද ව ඉටු කරන ලෙසද අතිලේක ලේකම් (පාලාත් පාලන හා පළාත් සභා) වෙත සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.
පාළාත් පාලන මැතිවරණ ක්‍රමය යළි වෙනස් කරන ලෙස මන්ත්‍රීවරුන් විසින් ඉල්ලිම් සිදු කරන ලද අතර එම ඉල්ලිම් සිමා නිර්ණය කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා පැවසිය. මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරිමට අග්‍රාමාත්‍යවරයා දිගු කාලයක් ගත් උත්සහය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් මහතා විශේෂ ස්තුතිය පිරිනැමිය.
කොළඹ නගරයේ සනිපාරක්ෂක හා මලාපවාහන වයපෘති වෙනුවෙන් වසර 15 ක් පමණ කාලයක් තුල විශාල මුදලක් වැය කර ඇති නමුත් මෙතෙක් එම වැඩසටහන සාර්ථකව අවසන් කර නොමැති විම පිළිබඳ කණස්සල්ල පළ කළ අග්‍රාමාත්‍යවරයා, ඉදිරි වසර තුළ අවසන් කළ හැකි වෙන් වෙන් වු යෝජනා සකස් කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම රැස්වීමට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්ත ඇතුළු මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් සහභාගී වූහ. එමෙන්ම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරිහුද, අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.
2026-08-18
අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩල/ ආයතන තුනක සභාපතිවරුන්ගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ පත් කිරීම, කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ලෙස එස්.ඒ.එම්. පීරිස් මහතාගේ පත් කිරීම, සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ සභාපතිවරයා ලෙස එච්.එම්.පී. රත්නායක මහතා පත් කිරීම සහ ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය ලෙස (ආචාර්ය) ඩබ්ලිව්.එම්.වී. වනසිංහ මහත්මිය පත් කිරීම කාරක සභාව විසින් අනුමත කරන ලදී.ගරු අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීමට, ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර ජයකොඩි සහ නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරු ද සහභාගී වූහ.
2026-08-18
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා සංවිධානය කළ “Voice to Policy” සංවාද වැඩසටහන පසුගියදා (අගෝ. 16) මීගමුව ජෙට්වින් බ්ලූ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර මෙහිදී ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කෙරෙන වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන ලෙස ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්විණි. තරුණ ප්‍රජාවට සිය අදහස්, ගැටලු සහ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, වැඩමුළුව සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.මෙම අවස්ථාව සඳහා විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල, එස්. එම්. මරික්කාර්, විශ්‍රාමික ලුතිනන් කමාණ්ඩර් එන්. ආර්. ප්‍රගීත් මධුරංග, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඩී. සූරියබණ්ඩාර සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙහිදී තරුණ ප්‍රජාව විසින් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය, දේශපාලන සහභාගීත්වය, වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා, තාක්ෂණය, ව්‍යවසායකත්වය සහ තරුණයන් සඳහා පවතින අවස්ථා හා තොරතුරු වෙත ප්‍රවේශය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරන ලදී.විශේෂයෙන් උසස් අධ්‍යාපන පාඨමාලා සහ උපාධි සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවම කිරීම, දේශපාලනයට සම්බන්ධ වීමට අපේක්ෂා කරන තරුණයන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සහ තරුණ ව්‍යවසායකත්වය පුළුල් කිරීම ඇතුළු කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.තරුණ ප්‍රජාව විසින්ම සිය ප්‍රමුඛ ගැටලු හඳුනාගෙන, ඒවා සාකච්ඡා කර, පොදු කරුණු ලෙස වර්ගීකරණය කර ප්‍රතිපත්තිමය අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් අනතුරුව ඒවා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සෘජු සංවාදයක් පැවැත්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූයේය. වැඩසටහනේදී ඉදිරිපත් වූ තරුණ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි සලකා බැලීම සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තු සංසදය සිය අවධානය යොමු කළේය. එමෙන්ම, අදාළ කරුණු සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ ඉදිරියේදී සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, වැඩසටහනේදී මතු වූ නිර්දේශ සහ යෝජනා ලේඛනගත කර විවෘත පාර්ලිමේන්තු සංසදය වෙත ඉදිරිපත් කිරීම සඳහා තරුණ වාර්තාකරුවන් (Youth Rapporteur) පත් කිරීම ද මෙහිදී සිදු විය.මෙම වැඩමුළුව සඳහා CII (Coalition for Inclusive Impact) ආයතනය අනුග්‍රාහකත්වය සපයනු ලැබීය.
2026-08-14
එල් නිනෝ (El Niño) තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතික්‍රියාශීලී අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගොස් පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් (Anticipatory Crisis Governance) ස්ථාපිත කළ යුතු බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරිණි.ගරු විරුද්ධ පාර්ශ්වයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති මෙම රැස්වීමේදී දේශගුණික විපර්යාස, එල් නිනෝ තත්ත්වය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවී සංරක්ෂණය, අලි-මිනිස් ගැටුම, ආපදා කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.රැස්වීමේ ප්‍රධාන විශේෂඥ කරුණු දැක්වීම සිදු කළ බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වෙරළ සාගර විද්‍යාව පිළිබඳ වින්ත්‍රොප් මහාචාර්ය චරිත පට්ටිආරච්චී මහතා, දේශගුණික අවදානම් හමුවේ කල්තියා සූදානම් වීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ ආදර්ශය ද මෙහිදී සාකච්ඡා වූ අතර, 2019 වසරේ සුළි කුණාටුවකදී පැය 24ක් තුළ පුද්ගලයන් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යෑමට එම ප්‍රාන්තයට හැකි වූ බව පෙන්වා දෙන ලදී.අලි-මිනිස් ගැටුම පිළිබඳ අනුකමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින්, දේශගුණික තත්ත්වයන් හමුවේ අලි-මිනිස් ගැටුම තීව්‍ර විය හැකි බැවින් ප්‍රජා මූලික විදුලි වැටවල්, කන්නයට අදාළ කුඹුරු වැටවල්, වනජීවී වාසස්ථාන සහ ජල කළමනාකරණය ඇතුළු කෙටි හා දිගුකාලීන ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දෙන ලදී.එල් නිනෝ ඔරොත්තු දීමේ ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමේ සභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින් කෘෂිකර්මාන්තය, ජෛව විවිධත්වය, ජල සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම විශ්ලේෂණය කර ඇති අතර, විද්‍යාත්මක පදනමක් සහිත දේශගුණික විපර්යාසවලට ඔරොත්තුදීමේ හැකියාවක් පිළිබඳ උපාය මාර්ගික රාමුවක් (Strategic Climate Resilience Framework) යෝජනා කර ඇත.වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය පියවීම, වනජීවී කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජාතික උද්‍යාන ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම්, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පාරිසරික හානි අවම කිරීම පිළිබඳව අවධානය යොමු විය. සංවේදී පූජනීය ප්‍රදේශවල පාරිසරික බලපෑම් අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය සඳහා Differential Pricing ක්‍රමවේදය හඳුන්වාදීම සහ උද්‍යාන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද යෝජනා ඉදිරිපත් විය.දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති, ආයතනික සම්බන්ධීකරණය සහ කල්තියා සූදානම් වීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර ආයතන සහ සංවර්ධන හවුල්කරුවන්, පර්යේෂකයින්, තරුණ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගී විය.
2026-08-13
මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු (Security Stickers) ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී කිරීමේ අවශ්‍යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධ කරුණු විමර්ශනයට ලක් කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, විජේසිරි බස්නායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගී විය.මෙහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදයේ පිරිවැය, තාක්ෂණික ප්‍රමිතීන් සහ රජයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව කමිටුවේ දීර්ඝ අවධානය යොමු විය. 2016 අයවැය යෝජනා අනුව බදු නොගෙවන ලද මත්පැන් භාවිතය අවම කිරීම, සුරාබදු ආදායම තව දුරටත් සුරක්ෂිත කිරීම හා ව්‍යාජ මත්පැන් වැළැක්වීමේ අරමුණින් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදයේ කොන්ත්‍රාත්තුව 2017 වසරේදී ඉන්දීය සමාගමක් වන Madras Security Printers (MSP) වෙත ලබා දී ඇති බව කමිටුව හමුවේ අනාවරණය විය.අධිවේගී මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලීන්හි භෞතික ස්ටිකර් භාවිතයේ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් 2021 වසරේදී ඩිජිටල් (Inkjet) කේත මුද්‍රණයට අවසර ලබා දී ඇති අතර, මුද්‍රිත කඩදාසි ස්ටිකර් දහසක් සඳහා ගෙවන ඇමෙරිකානු ඩොලර් 5.99ක මුදලම ඩිජිටල් කේත මුද්‍රණය සඳහා ද ගෙවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය. බෝතල් කිරීමේ කම්හල්වල ස්ටිකර් මුද්‍රණ යන්ත්‍ර සඳහා වන මූලික යටිතල පහසුකම් පිරිවැය සැලකිල්ලට ගත යුතු වුව ද, සාමාන්‍යයෙන් ඩිජිටල් ස්ටිකරයකට, කඩදාසි ස්ටිකරයට වඩා අඩු පිරිවැයක් දැරීමට ඉඩ ඇත. මෙම පිරිවැය ක්‍රමවේදය සහ රජයට ලැබෙන ප්‍රතිලාභ නැවත සලකා බැලීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.එමෙන්ම, ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය සඳහා ජාත්‍යන්තර ISO ප්‍රමිතීන් ප්‍රමාණවත් ලෙස යොදා ගැනීම, මත්පැන් නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදන ගලා යෑම නිරීක්ෂණය කිරීම සඳහා Track and Trace ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ ජංගම යෙදුමක් මගින් නිෂ්පාදන සත්‍යතාව තහවුරු කර ගැනීමේ පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය.නව ටෙන්ඩර් ක්‍රියාවලියේදී මිල සමඟ ගුණාත්මකභාවය, දත්ත ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රමිතීන් සලකා බැලිය යුතු බවත්, ව්‍යාජ ස්ටිකර් සහ අනුකරණ වැළැක්වීම සඳහා තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් ටෙන්ඩර් ඇගයීම් සඳහා සම්බන්ධ කරගත යුතු බවත් කමිටුව අවධාරණය කළේය.අනෙකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේද( global best practices) පිලිබඳ සොයා බලා වාර්තාවක් සකස් කර කමිටුවට ඉදිරිපත් කළ යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලදී.මේ අතර, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති නව රෙගුලාසි පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. 2026 ජූලි 10 දිනැති අංක 2496/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම රෙගුලාසි මගින් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති අතර, වගකීම් සහගත වෙළෙඳාම සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූල නීතිමය රාමුවක් ශක්තිමත් කිරීම එහි අරමුණ වේ. අදාළ ගැසට් පත්‍රය, පනතේ 20 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. බලහත්කාරී ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන්, 2026 ජූලි 23 දින අවසන් කරන ලද එක්සත් ජනපදයේ '301 වගන්තිය' (Section 301) යටතේ ක්‍රියාත්මක බලහත්කාරී ශ්‍රමය ආශ්‍රිත තීරුබදු පියවරවලදී, ශ්‍රී ලංකාවට මුලින් නියමිතව තිබූ 12.5%ක මට්ටම වෙනුවට පහළම, වඩාත් වාසිදායක 10%ක කාණ්ඩයට ඇතුළත් වීමට හැකි විය.තවද, 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, 1998 අංක 12 දරන පනතින් ස්ථාපිත කර 2019 අංක 15 දරන පනතින් සංශෝධනය කරන ලද එම අරමුදල, වර්තමාන සන්ධර්භයට නොගැළපීම, දුර්වල කාර්යසාධනය සහ වත්කම් ඌණ උපයෝජනය හේතුවෙන් මෙම අරමුදල විසුරුවා හැරීමට තීරණය කර ඇති බව සඳහන් විය. අරමුදල වසා දැමීමෙන් පසුව එමගින් ලබාදුන් අත්‍යවශ්‍ය සේවාවන් කම්කරු අමාත්‍යාංශය හරහා අඛණ්ඩව පවත්වාගෙන යමින්, වෙනම ආයතනික ව්‍යුහයක් පවත්වාගෙන යාමට වැයවන පිරිවැය ඉතිරි කර රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට අපේක්ෂා කරන බව ද කමිටුව හමුවේ නිලධාරීහු පැහැදිලි කළහ.