E   |   த   |  

2022-11-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ‘කෝප්’ කමිටුවේ විමසුමට

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් අද පස්වරුවේ (නොවැ. 24)  පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) විමර්ශනයට බඳුන් විය.

එහිදී විගණන වාර්තාවේ සදහන් පරිදි විගණනය සිදුකළ වසර  2015 – 2019 කාලයට අදාළව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරු සියලුදෙනා කමිටුව වෙත කැඳවා තිබිණි. මෙහිදී  මධ්‍යම සංස්කෘතික අරමුදලේ පනත , ක්‍රියාකාරීත්වය, අරමුණු ඇතුළු කාරණා විමර්ශනයට ලක් කිරීම සිදුවිය. එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් ‍විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත්  මෙහිදී අවධානය යොමුවිය. එහිදී විශේෂයෙන් පාලක සභාවේ  209 වන රැස්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරන ලදී.

මේ පිළිබදව තවදුරටත් කරුණු විමසීම සදහා විගණකාධිපතිතුමාගේ වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් වූ ප්‍රගතිය කමිටුවට වාර්තා කරන ලෙස කමිටු සභාපතිවරයා නියෝග කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවට අනුව විගණකාධිපතිවරයාගේ නිර්දේශ පහත පරිදි වේ.

  1.  අරමුදලේ පාලක මණ්ඩල සංයුතිය සියලු ආගම් නියෝජනය වන පරිදි සකස් විය යුතුද යන්න සහ මණ්ඩලය කාලීනව රැස්වීම හා කළමනාකරණ තීරණ කඩිනමින් ගැනීමට ක්‍රියාකළ යුතුවීම සඳහා අරමුදල පනත සුදුසු පරිදි සංශෝධනය කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම.
  2.  අරමුදලේ සියලු අංශ ආවරණය වන පරිදි මණ්ඩලයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැසුම් තාත්වික අයුරින් පිළියෙළ කළයුතු වීම සහ ඉලක්කගත කාල පරිච්ඡේදය තුළ ඉලක්ක කරා ළඟාවීමට ක්‍රියාකළ යුතුවීම.
  3.  පනතේ සඳහන් කර ඇති පරිදි අරමුදලේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ සියලු කාරණාවලට රීති සෑදීමට කඩිනමින් ක්‍රියාකළයුතු වීම.
  4.  අරමුදලේ මුලු වියදම තුළ වැඩි ප්‍රතිශතයක් සේවක පිරිවැය නියෝජනය වී තිබීම පිලිබඳව සහ සංරක්ෂණ වැනි කාර්ය සාධන කටයුතු සඳහා වැඩි දායකත්වයක් නොතිබීම පිළිබඳ අවධානය යොමු කර සුදුසු පියවර ගත යුතු වීමත්, සංස්කෘතික උරුම ස්ථාන සංරක්ෂණය සඳහා වැඩි අවධානයක් යොමු කළයුතු වීම.
  5.  අරමුදල පනතේ සඳහන් විධිවිධානයන්ට අනුව ප්‍රවේශපත් ගාස්තු අයකිරීම සහ මුදල් ආයෝජනය කිරීම සහ ආයෝජන මුදල් ආපසු ගැනීම හැකිතාක් පූර්ව අනුමැතිය මත කලයුතු වීම.
  6. ගෙවීම් කිරීමේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයට හා කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයට සහ රාජ්‍ය පරිපාලන, කළමණාකරන සේවා චක්‍රලේඛවලට අනුකූලව කටයුතු කලයුතු වීම.
  7.  කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටි සංශෝධනය කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතු වීම, අරමුදල සමඟ කාර්ය මණ්ඩලය බඳවා ගැනීමමේ දී නිවැරදි අවශ්‍යතාවය හඳුනාගෙන බඳවා ගැනීම සහ අරමුදලේ ජ්‍යෙෂ්ඨ මට්ටම සඳහා ස්ථිර පදනම මත සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලය බඳවා ගැනීම පිළිබඳ අවධානය යොමුකළ යුතුවීම.
  8. අරමුදලේ බඳවාගැනීම් පටිපාටියට සහ අනුමත කාර්ය මණ්ඩල සංයුතියට පටහැනිව පාලක මණ්ඩල අනුමැතිය මත අවිධිමත් ලෙස කාර්ය මණ්ඩලය බඳවා ගැනීමෙන් වැළකීම සහ වෙනත් ආයතන වෙනුවෙන් සේවය සැපයීම වෙනුවෙන් අරමුදලට කාර්ය මණ්ඩල බඳවා ගැනීමෙන් වැළකිය යුතු වීම.
  9. වියදම් අවශ්‍යතාවයන් ඉක්මවා යන පරිදි ආයෝජන ආපසු ලබා ගැනීම වැලැක්වීම සහ එපරිදි කටයුතු කර තිබීම පිළිබඳ සුදුසු පියවර ගත යුතුවීම
  10.  අන්තර්ජාලය මගින් විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම වැනි නව ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් කළයුතු වීම.
  11.  සංස්කෘතික හා ආගමික ස්ථානවලින් ආදායම් ඉපයීමේ දී අරමුදල යටතේ පවතින සියලු ස්ථාන ආවරණය වන සේ විද්‍යුත් ප්‍රවේශපත් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සහ ඒ සඳහා සුදුසුකම්ලත් කාර්ය මණ්ඩලයක් යෙදවීම.
  12.  කාලීන සහ සත්‍ය අවශ්‍යතාවයන්ද සලකා නිසි ඇගයීමකින් යුතුව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සහ ආගම් නියෝජනය වන පරිදි විනිවිදභාවයකින් ද යුතුව මූල්‍ය පරිත්‍යාග ප්‍රතිපාදන ලබා දිය යුතු වීම හා එහි මූල්‍ය වටිනාකම තීරණය කිරීම විධිමත් අධිකාර බලයක් සහිත පාර්ශවයන් විසින් සිදු කළ යුතු වීම.
  13.  අදාල ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පසුවිපරම් කල යුතු වීමත්, අදාල ප්‍රතිලාභී ආයතනද සමීප අධීක්ෂණයක් සමග මෙහෙය විය යුතු වීම.
  14.  සියලු ප්‍රසම්පාදන කටයුතු එම මාර්ගෝපද්යයන්ට අනුකූලව කළ යුතු වීමත්, පුරාවිද්‍යා කොමසාරිස්ගේ අනුමැතිය සහ වෙනත් යෝග්‍යතා සහතික ඇතිව පමණක් සංරක්ෂණ ඉදි කිරීම් කටයුතු කළ යුතු වීම.
  15.  අනුමත අයවැය ලේඛනය අනුව වියදම් දැරීම සහ සංශෝධිත අයවැය ලේඛනයන් ඉදිරිපත් කර අනුමත කරගැනීමට කටයුතු කිරීම.
  16.  අදාල චෙක්පත් භාරදීමේ දී මුදල් රෙගුලාසි ප්‍රකාරව නියමිත පරිදි අදායකයා වෙත වෙක්පත් භාරදීමක්, ආයතන වෙත ලබා දුන් අත්තිකාරම් පියවා ගැනීමට කඩිනම් පියවර ගැනීම.
  17.  ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ශක්තිමත් කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලය විසින් රජයේ ව්‍යාපෘති ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව ඍජු කොන්ත්‍රාත් ක්‍රමවේදය යටතේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය වෙත කොන්ත්‍රාත්තු පැවරීමට අනුමැතිය ලබාදී තිබුණද, නැවත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත මෙම කොන්ත්‍රාත් මෙලෙස පැවරීම තුලින් අමාත්‍ය මණ්ඩලයේ අරමුණු ඉටු නොවීම පිළිබඳ අවධානය යොමු කළ යුතු වීම.
    එමෙන්ම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විගණන වාර්තා පදනම් කරගෙන සිදු කරන අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව මසක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත් කිරීමට ද ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නියෝග කළේය.

 

මේ පිළිබදව තවදුරටත් විමර්ශනය කිරීම සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල නැවතත් 2023 ජනවාරි 20 වැනි දින කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට ද මෙහිදී තීරණය විය.
 
එසේම එම රැස්වීම 2015 වසරේ සිට සේවය කළ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ  අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු අදාළ නිලධාරීන් කැඳවන බවද කමිටු සභාපතිවරයා පැවසීය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු පාඨලී චම්පික රණවක, ගරු දයාසිරි ජයසේකර,  ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නලීන් බණ්ඩාර, ගරු මුජිබර් රහුමාන්, ගරු එස්.එම් මරික්කාර්, ගරු සංජීව එදිරිමාන්න, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

එසේම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදාණපතිරණ මහතා ඇතුළු නිලධාරීහුද  මධ්‍යම සංස්කෘතික අරමුදලේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

34

 



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා  වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 පාඩුවක් ද  නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks