පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2022-11-23
• ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ආගමික කල්ලියක බලපෑම් තිබේද ?
• පසුගිය ලෝක කුසලානයට සහභාගීවූ නිලධාරීන්ට සියළු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක් ගෙවලා...
• බෙල්වුඩ්, හොලිවුඩ් සහ බොලිවුඩ් තත්ත්වයට සංවර්ධනය කිරීමට පියවර...
පසුගිය ක්‍රිකට් තරඟාවලි දෙකකදීම තරඟාවලියේ වීරයා බවට පත්වී ඇති චාමික කරුණාරත්න ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලදී දෙවන ස්ථානයේ පසුවන අවස්ථාවකදී ඔහු ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසීමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුනනේය.
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බවද මන්ත්‍රීවරු පැවසූහ.
මේ අදහස් පළ වූයේ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැ. 22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
පසුගිය ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගත වූ නිලධාරින් පිලිබඳ සොයා බැලිය යුතු බවට මෙහිදී අදහස් පළ විය. සියළු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක වියදම් මුදලක් එක් අයෙකු වෙත ගෙවා ඇති අතර නිලධාරීන් නොවන පිරිස්ද ඉහත පහසුකම් යටතේ සංචාරයට සහභාගී වී ඇති බවද මන්ත්‍රීවරු සඳහන් කළහ.
එමෙන්ම, T20, T10 සහ LPL තරඟාවලි පැවැත්වීමේදී මුදල් භාවිතය සම්බන්ධව විධිමත් නියාමනයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය බව මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය බෙල්වුඩ් ඊස්තටික් ඇකඩමි ලෙස NVQ 6 ජාත්‍යන්තර පිළිගැනීම සහිත සහතිකය ලබා දීම සඳහා සංවර්ධනය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදි දැනට පවතින විෂයන්ට අමතරව රංගනය, වේෂ නිරුපණය, රූපවාහිනි සහ සිනමා නිශ්පාදන තාක්ෂණය ආදි විෂයන් අලුතින් ඇතුලත් කිරිමටද පියවර ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය සියළු තාක්ෂණ උපකරණ සහිත මැදිරි සංකීර්ණයක්ද ඉදි කොට 2023 දී එය හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා කර්මාන්ත වල තත්ත්වයට උසස් කිරිමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී බෙල්වුඩ් ආයතනයේ දරුවන් වර්තමානයේදී ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටළු රැසක් දක්නට ලැබුණු බවත් විශේෂයෙන් ම ඔවුන්ට පුර්ණ කාලින විදුහල්පතිවරයෙකු නොමැතිකම, ආහාරපාන ගැටළු, ගමනාගමන පහසුකම් පිළිබද ගැටළු පිළිබදව අමාත්‍යවරයා විසින් අවධානය යොමු කොට ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ මන්ත්‍රීවරු සිය ස්තූතිය පළ කළහ.
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය පිහිටා ඇති අක්කර 50ක භූමියේ පිහිටි තට්ටු 4ක ගොඩනැගිල්ල 2015 - 2019 කාලයේ සිටි සභාපතිවරයා විසින් කඩා ඉවත් කිරිම පිළිබඳ වහා සොයාබලා එයට එරෙහිව නීතිමය කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය.
ලංකාවේ ඇති එකම ජාත්‍යන්තර මට්ටමේ හොකී ක්‍රීඩා පිටියේ තණ තීරය නිසි පරිදි නඩත්තු නොවීම නිසා ප්‍රමිතිගත මට්ටමේ නොමැති බව මෙහිදි සාකච්ඡා විය. එය නැවත සකස් කොට හොකී ක්‍රීඩාව වෙනුවෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පිලිබඳ මන්ත්‍රීවරු මෙහිදී අදහස් පළ කළහ. මෙහිදී නිලධාරින් සඳහන් කළේ 50% මූල්‍ය දායකත්වයක් ලංකාව විසින් දැරීමේ පදනම මත ආසියානු හොකී සම්මේලනය විසින් එය සංවර්ධනය කිරිමට එකඟවී ඇති බවයි.
එමෙන්ම, දියගම ක්‍රීඩාංගනයේ සින්තටික් ධාවන පථය අබලන්වී තිබිම සම්බන්ධවද මෙහිදී අදහස් පළ වූ අතර, ඒ හේතුවෙන් සුගතදාස ක්‍රිඩාංගනය හැරුණු කොට ක්‍රීඩකයන්ට පුහුණුවීම් සිදු කිරිමටවත් ධාවන පථයක් නොමැති බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රිඩාගාරය නිසි පරිදි නඩත්තු නොවීම නිසා වර්ෂා සමයේදී තෙමීමට ලක්වීම නිසාවෙන් අබලන් වී ඇති බව මෙහිදී සාකච්ඡා විය. ජපාන ආධාර සහ තාක්ෂණය උපයොගී කොට ගනිමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජපාන තානාපති කාර්යාලය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව තරුණසේවා සභාවේ සභාපතිවරයා පැවසීය.එමෙන්ම තරුණ සේවා සභාව විසින් උපයනු ලබන ආදායම් එහි නඩත්තු කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවද මෙහිදී සභාපතිවරයා සඳහන් කළේය.
පළාත් සභා ක්‍රියාත්මක නොවීම නිසා පළාත් සහ ප්‍රාදේශීය ක්‍රීඩාවන් විනාශ වෙමින් පවතින බව මෙහිදී අවධාරණය වූ අතර එය ජාතික තලයේ ක්‍රීඩකයන් බිහිවීම කෙරෙහිද නිශේධනාත්මකව බලපාන බැවින් ඒ පිලිබඳ අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලෙසද මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ. රටපුරා පවතින විවිධ ක්‍රීඩා සම්මේලන වල ක්‍රියාකාරීත්වය නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරම්භ කළ යුතු බවටද මෙහිදි අදහස් පළ විය.
ක්‍රීඩා සංගම් කාරක සභාව වෙත කැඳවා සාකච්ඡා කිරිමේ හැකියාව පිළිබඳ මෙහිදී අදහස් පළ වූ අතර, සභාපතිවරයා කමිටු ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නේ ඒ සම්බන්ධව ඉදිරි කටයුතු සිදුකරන ලෙසයි.
මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ගරු රෝහණ දිසානායක, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සරත් වීරසේකර, කාවින්ද ජයවර්ධන, නලින් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ජගත් සමරවික්‍රම, වීරසුමන වීරසිංහ, සම්පත් අතුකෝරළ, චින්තක මායාදුන්නේ, වරුණ ප්‍රියන්ත ලියනගේ, මොහොමඩ් මුසාම්මිල්, මුජිබර් රහුමාන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
2026-09-30
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව තරුණ කටයුතු සහ ගරු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.නව ක්‍රිකට් පාලන ව්‍යුහය සඳහා ස්වාධීන අධ්‍යක්ෂවරුන් ඇතුළත් කිරීමට යෝජනා කර ඇති අතර, නව නීතිරීති යටතේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඍජුව තීරණ ගැනීම සිදු නොකරන අතර, එම සංගම් පළාත් ක්‍රිකට් සංගම් හරහා කටයුතු කිරීමට නියමිත බව කාරක සභාවේදී ප්‍රකාශ විය.පාසල් ක්‍රිකට් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 900ක මුදලක් සහ උපකරණ ලබා දෙන බවත්, පුහුණුකරුවන් බඳවා ගැනීම සහ ක්‍රීඩක තේරීම් ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමඟ වැඩපිළිවෙළක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් කාරක සභාවට අනාවරණය විය.එමෙන්ම, ක්‍රීඩා සංගම් සම්බන්ධ විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර, ක්‍රීඩා සංගම් 33ක් අදාළ නිර්දේශ සම්පූර්ණ කර ඇති බවත්, තවත් සංගම් 33ක් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට නියමිත බවත් කාරක සභාවේදී ප්‍රකාශ විය.මහජනතාව සෞඛ්‍ය හා ව්‍යායාම කටයුතු සඳහා භාවිත කරන ඇවිදින මංතීරු සහ ක්‍රීඩා සංකීර්ණවලින් ගාස්තු අය කිරීම වහාම අත්හිටුවීමට අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති අතර, ක්‍රීඩාව ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස නොව ජාතික සෞඛ්‍යය හා ප්‍රජා සුබසාධනය සඳහා වන රාජ්‍ය වගකීමක් ලෙස පවත්වාගෙන යා යුතු බවට වූ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය අවධාරණය කෙරිණි.සෑම පළාතකටම අවම වශයෙන් එක් කෘත්‍රිම ධාවන පථයක්(synthetic track) ලබා දීමේ සැලසුම යටතේ මීළඟ කෘත්‍රිම ධාවන පථය අනුරාධපුරයේ ඉදිකිරීමට නියමිත බවත් සඳහන් විය. දැනට දිවයිනේ කෘත්‍රිම ධාවන පථ දෙකක් පමණක් පවතින බවද කාරක සභාවේදී සඳහන් විය.අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පහසුකම් සංවර්ධනය, මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගනය සහ හිඟුරක්ගොඩ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය, බදුල්ල හාලිඇල ප්‍රදේශයේ ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම සහ කළුතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේ පවතින ගැටලු විසඳීම පිළිබඳවද කාරක සභාවේදී කරුණු සාකච්ඡා කෙරිණි.තවද, ජාත්‍යන්තර තරඟ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල ජාතික කණ්ඩායම් සහ නිල වශයෙන් හඳුනාගත් ජාත්‍යන්තර තරඟාවලි සඳහා පමණක් ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජාතික තේරීම් හා විදේශ තරඟ සඳහා කණ්ඩායම් යැවීමේදී කිසිදු ජාතියක් හෝ ප්‍රදේශයක් හෝ මත පදනම්ව වෙනස්කම් සිදු නොකරන බවත් කාරක සභාවට අනාවරණය විය.මෙම අවස්ථාවට ගරු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන් කමිටුවේ සමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2026-09-30
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද එම අනුකාරක සභාව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.ලෝක බැංකුවේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන යටතේ පාසල්වල සිදු කර ඇති කාර්යයන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු අනුකාරක සභාව දැනුවත් කළහ. මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර ඇති කාර්යයන් තවදුරටත් කඩිනම් කිරීමේ අවශ්‍යතාව අනුකාරක සභාව අවධාරණය කළ අතර, වැඩසටහනේ ප්‍රගතිය ඇතුළත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලැබිණි.පාසල්වල පවතින සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් සම්බන්ධ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන්ම පානීය ජලයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත් අනු කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.එමෙන්ම, පාසල් සඳහා විදුලි සංදේශ පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ආදර්ශ ප්‍රාථමික පාසල් ස්ථාපිත කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද අනුකාරක සභාව විසින් දීර්ඝ වශයෙන් විමසා බැලිණි.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්.එම්. සමන්ත රණසිංහ මහතා සහ පද්මසිරි බණ්ඩාර මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.
2026-09-30
2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි සහ විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම රෙගුලාසි සහ නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී, විදේශ ආයෝජන, විගාමිකයන් විසින් අරමුදල් විදේශයන් වෙත මාරු කිරීම සහ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ විධිවිධාන පිළිබඳව කරුණු විමසා බැලීය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙම රැස්වීමට මුදල් අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.මෙහිදී 2026 අංක 01 දරන විදේශ විනිමය රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් විදේශයන්හි සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව අවධානය යොමු විය. විදේශ ආයෝජන සඳහා සුදුසුකම් ලබන තැනැත්තන්, ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර සහ විදේශයන් වෙත ප්‍රාග්ධනය යොමු කිරීමේදී අදාළ වන සීමාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දේශීය සමාගම්වලට විදේශයන්හි සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට ඇති අවස්ථා සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.2026 අංක 02 දරන විදේශ විනිමය රෙගුලාසි සම්බන්ධයෙන් විගාමිකයන්ට ශ්‍රී ලංකාවේ පවතින වත්කම් විදේශයන් වෙත මාරු කිරීමේදී අදාළ වන ක්‍රමවේද සහ සීමාවන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, විගාමික දීමනාව යටතේ ප්‍රාග්ධනය විදේශයන් වෙත මාරු කිරීම සහ කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව ද කාරක සභාවේදී කරුණු පැහැදිලි කෙරිණි.මේ අතර, විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, විදේශ විනිමය රටින් පිටතට ගලා යාම කළමනාකරණය කිරීම සඳහා පවතින තාවකාලික සීමාවන් පිළිබඳව මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරන ලදී. ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ එම සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූහ.අපනයනකරුවන් පෙර වසරේ මෙරටට ගෙනන ලද අපනයන ආදායම් සහ එම ආදායම්වලින් කොටසක් විදේශ ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා භාවිත කිරීමට ලබා දී ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා වූ අතර, දේශීය ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු ඉදිරිපත් විය..එමෙන්ම, විදේශ විනිමය අවිධිමත් ලෙස රටින් පිටතට ගලා යාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සහ ඒ සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. ආනයන හා අපනයන සම්බන්ධ බැංකු සහ රේගු දත්ත අතර පවතින පරස්පරතා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම, විදේශ විනිමය අවභාවිතය වැළැක්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, දේශීය ඉදිකිරීම් ඇතුළු සමාගම් විදේශයන්හි ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමේදී අවශ්‍ය වන බැංකු ඇපකර සහ අනෙකුත් මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින සීමාවන් පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.මෙම සාකච්ඡාවේදී නීති රීති දැඩි කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ සාමාජිකයින් අවධානය යොමු කළ අතර ආර්ථික වර්ධනයට බාධාවක් වන පරිදි අනවශ්‍ය රෙගුලාසි පැනවීම තුළින් ව්‍යාපාරිකයන් අධෛර්යමත් වීමේ අවදානමක් පවතින ඔවුහු පෙන්වා දුන්හ. විනිමය රටින් පිටතට ගලායාම සීමා කිරීම හේතුවෙන් රට තුළට පැමිණෙන විනිමය ප්‍රමාණයද අඩුවිය හැකි බව එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේය.රෙගුලාසිවල ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලෙස සටහන් කර තිබියදී, නියෝගයේ ලැයිස්තුගත (listed companies) සමාගම් පුළුල් කිරීම සඳහා එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක් ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින්, මෙම ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක සීමාව මාස 6කට පමණක් බලපැවැත්වෙන බවත්, එය 2027දී ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවත් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ. එලෙසම, ලැයිස්තුගත නොවන (non-listed companies) සමාගම් සඳහා මෙම සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 0.2ක් වන බව ද ඔවුහු සඳහන් කළහ.විදේශ විනිමය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සීමාවන්ට වඩා වැඩි විදේශ විනිමය පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව කටයුතු කළ හැකි බවයි. එහිදී ව්‍යාපාරයේ ශේෂ පත්‍රය (balance sheet) පදනම් කර ගනිමින් එම අනුමැතිය ලබා දෙන බව ද පැහැදිලි කෙරිණි. කෙසේ වෙතත්, එවැනි අනුමැතිය ලබා ගැනීමේ අවස්ථාව ඉහළ වත්කම් සහිත ව්‍යාපාරවලට වැඩි වශයෙන් හිමිවීමේ ඉඩකඩක් පවතින බවට ද මෙහිදී අදහස් පළ විය.
2026-09-25
නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ උක්ත පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් මහත්මියගේ පත්වීමට සහ කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එමෙන්ම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතාගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


