E   |     |  

2022-11-23

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතින් පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ නව ස්වාධීන කොමිෂන් සභාවක්

  • අල්ලස් වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම්...

 

පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  පසුගියදා (නොවැ. 21) අවධානය යොමු විය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

අල්ලස්, දූෂණ සහ වංචා වැලැක්වීමට විධිමත් ආයතනික ව්‍යුහයක් නිර්මාණය කර අවශ්‍ය බලතල ලබාදීමට අපොහොසත් වීම නිසා රටේ පවතින සියලුම අල්ලස් හා දූෂණ චෝදනා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට එල්ල වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කමිටුව දැනුවත් කළේය. යෝජිත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකියනු ඇති බවත් කොමිෂන් සභාව සිය ප්‍රගති වාර්තාව මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු මෙහිදී පවසා සිටියේය.

කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ලෙස නීති, වෝහාරික විගණන, ගිණුම්කරණය, ඉංජිනේරු, ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික සේවය, රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රවල වසර 20 කට වැඩි පළපුරුද්ද සහිත  පුද්ගලයන් පත් කිරීමට ද පනත් කෙටුම්පතේ යෝජනා කර ඇත. කොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය ඇතිව ජනාධිපතිවරයා විසිනි. ඊට අමතරව මෙම කොමිෂන් සභාව සඳහා මුදල් වෙන් කිරීම පාර්ලිමේන්තුව හරහා ඍජුව සිදු කළ යුතු බවද නීතීඥ ජයමාන්න සඳහන් කළේය.

එසේම වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාගැනීමට සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට ද කෙටුම්පත යෝජනා කර ඇත. පනත් කෙටුම්පතට අනුව රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් හැර දූෂණය සහ අල්ලස වැඩි වශයෙන් සිදුවන ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයාට රෙගුලාසි සෑදීමේ හැකියාවද පවතින බව සඳහන් විය. රජයේ වැදගත් දෙපාර්තමේන්තු මෙම කාර්යාලය සමඟ අන්තර්ජාලය හරහා සම්බන්ධ වී ඇති බැවින් වත්කම් බැරකම් පිළිබඳ විමසීම් පහසුවෙන් සිදු කළ හැකි බවද ජයමාන්න මහතා පැවසීය.

රාජ්‍ය අංශයේ දූෂණ වංචා පමණක් නොව පෞද්ගලික අංශය, ක්‍රීඩා ක්ෂේත්‍රය ආදී අංශවල අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ප්‍රතිපාදන ද ඊට ඇතුළත් බව මෙහිදී සාකච්ඡා විය. අල්ලස් වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

යෝජිත පනත් කෙටුම්පතට අදාළව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්ඡා කොට සුදුසු සංශෝධන සිදුකිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිත “බදු පදනම මත ලබා දී ඇති පරිශ්‍රයන්හි සන්තකය නැවත අත්පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන)” පනත් ‍කෙටුම්පත පිළිබඳවද  අමාත්‍යවරයා කමිටුව දැනුවත් කළේය. සාමාන්‍ය කුලී සහ නෙරපීමේ නඩු කටයුතුවලදී ඇතිවන නීතියේ ප්‍රමාදයයන් මැඩපවත්වමින් ඉතා කෙටි කාලයක් තුළදී බදු දීමනාකරුට සහන ප්‍රදානය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම පනත් කෙටුම්පත මගින් කඩිනම් සහ කාර්යක්ෂම ක්‍රියාදාමයක් හදුන්වා දී ඇති අතර නොතාරිස්වරයෙකු ඉදිරියේ විධිමත් පරිදි ලියා අත්සන් කළ බදු ගිවිසුමක් මත බද්දට ලබා දී ඇති පරිශ්‍රවල බදු කාල සීමාවන් ඉක්මවා දිගු කලක් රැදී සිටින බදු ගැනුම්කරුවන් නෙරපීමටද මෙමගින් විධිවිධාන සලසා ඇත.

එමෙන්ම 2022 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් පනවන ලද 2022 ඔක්තෝබර් 12 දිනැති අංක 2301/33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සලකා බලා අනුමත කිරීමද මෙහිදී සිදුවිය.

අමාත්‍ය ගරු නසීර් අහමඩ්, ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, කාදර් මස්තාන්, ඩී.බී හේරත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, අනුර ප්‍රයදර්හන යාපා, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, ඩී. වීරසිංහ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්.එස්. තවුෆීක්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරීහූ පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

 

1 3

9

 



සම්බන්ධිත පුවත්

2026-09-08

තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගන්නවා – විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදය

විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු මේ බව සඳහන් කළහ.“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි. මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර  සහ එම්.කේ.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ. මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය CII (Coalition for Inclusive Impact) ආයතනය විසින් ලබා දෙන ලදී.


2026-09-07

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් කරුණු විමසයි

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලද   ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පසුගියදා කරුණු විමසන ලදී. එම කාරක සභාව ගරු අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී  මෙම කරුණු විමසීම සිදු විය. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි/පොලිස් අධිකාරිවරුන් පිරිසක් මෙම කාරක සභාවට කැඳවා තිබිණි. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද කාරක සභාව විසින්  කැඳවන ලදී. දිට්වා සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී  ඊට අදාළව ගන්නා ලද පියවර පිළිබඳව ජන මාධ්‍යයට දැක් වූ අදහස් සම්බන්ධයෙන් සවිස්තර කරුණු දැන ගැනීම පිණිස මෙසේ කාරක සභාවට හිටපු මන්ත්‍රීවරයා කැඳවා තිබිණි.කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.


2026-09-07

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සහ ප්‍රතිපත්තිමය යෝජනා සාකච්ඡාවට

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 13 වැනි රැස්වීම එම සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.2026 ජූලි සිට 2027 ජූනි දක්වා කාලසීමාව සඳහා සකස් කළ සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (International Foundation for Electoral Systems – IFES) තාක්ෂණික සහයෝගය ඇතිව සකස් කර ඇති මෙම ක්‍රියාකාරී සැලැස්ම ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සකස් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සම්බන්ධීකරණය සහ අධීක්ෂණය, අයවැය වෙනුවෙන් පෙනී සිටීම සහ වගවීම, නෛතික හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ප්‍රවේශවිය හැකි හා අන්තර්කරණය වූ රාජ්‍ය සේවා යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරිණි.IFES ශ්‍රී ලංකා නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රක උබේසේකර මහතා, ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මහත්මිය සහ ආබාධිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සාමාජික ටිකිරි කුමාර ජයවර්ධන මහතා විසින් සංසදය හමුවේ මෙතෙක් සිදු කර ඇති කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් හා අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමේ සැලසුම්කරණයට ඇතුළත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. කිලිනොච්චිය, මුලතිව්, කළුතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පවත්වා ඇති දිස්ත්‍රික් උපදේශන වැඩසටහන්වල අත්දැකීම් මත ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේද මෙවැනි වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව සඳහන් විය.එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක ප්‍රවේශ විගණන කමිටු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ආබාධ සහිත ප්‍රජාවගේ සක්‍රීය සහභාගිත්වය ලබා ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ගොඩනැගිලි සහ නගර සැලසුම් කිරීමේ ආරම්භක අවස්ථාවේ සිටම ප්‍රවේශතා පහසුකම් ඇතුළත් කිරීම මඟින් පසුව සිදු කිරීමට සිදු වන අධික වියදම් සහිත වෙනස්කම් අවම කරගත හැකි බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.2027 ජාතික අයවැය සඳහා ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන 60කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සකස් කළ ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යෝජනා 234කින් සමන්විත වාර්තාවක් දැනටමත් ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කර ඇති බවද මෙහිදී සඳහන් විය. එම යෝජනා ක්‍රියාත්මක වන ආකාරය සහ ඒ මඟින් ආබාධ සහිත තැනැත්තන්ට සැබෑ ප්‍රතිලාභ ලැබෙන්නේද යන්න සමීපව නිරීක්ෂණය කිරීමට ද සංසදය තීරණය කළේය.ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සහ ප්‍රවේශ පහසුකම් සැලසීම සඳහා පවතින නෛතික හා ප්‍රතිපත්තිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. දැනට සකස් කරමින් පවතින “ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත” සහ “සංඥා භාෂා පනත් කෙටුම්පත” පිළිබඳ ප්‍රගතිය විමසීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය විය.එමෙන්ම ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන සහ ප්‍රමිතීන් ජාත්‍යන්තර යහ පිළිවෙත්වලට අනුකූලව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පෞද්ගලික අංශයේ ආයතන සඳහා ප්‍රවේශතා සම්බන්ධ මාර්ගෝපදේශ හඳුන්වා දී, ඒවා ක්‍රමයෙන් නෛතික රාමුවකට ඇතුළත් කිරීම මෙන්ම තෝරාගත් පෞද්ගලික ආයතන කිහිපයක් සමඟ ආදර්ශ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාද ඉදිරිපත් විය.රාජ්‍ය සේවා වඩාත් ප්‍රවේශවිය හැකි හා අන්තර්කරණය වූ සේවා බවට පත් කිරීම සම්බන්ධයෙන්ද රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු විය. කම්කරු අමාත්‍යාංශයේ “මෙහෙවර පියස” ගොඩනැගිල්ල සහ සෙත්සිරිපාය I සහ II අදියර ගොඩනැගිලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රවේශ විගණනවල ප්‍රතිඵල පිළිබඳවද සාකච්ඡා කෙරිණි. සෙත්සිරිපාය III අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භයේ සිටම ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශවිය හැකි ආකාරයට සැලසුම් කිරීමට කටයුතු කර ඇති බවද මෙහිදී සඳහන් විය.මීට අමතරව, පහත් තට්ටුව සහිත බස් රථ සේවා, ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශවිය හැකි සංචාරක කර්මාන්තය සහ “මිතුරු නගර” වැඩසටහන වැනි වැඩසටහන් රාජ්‍ය සේවාවන්හි ප්‍රවේශතාව වැඩිදියුණු කිරීම සඳහා ආදර්ශ ලෙස හඳුනාගෙන ඇති අතර, සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ප්‍රවේශතා බාධක ඉවත් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.රැස්වීම අවසානයේ අදහස් දැක්වූ සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ආබාධ සහිත ප්‍රජාවට බියෙන් හා සැකයෙන් තොරව නිදහස්, ස්වාධීන සහ ගෞරවාන්විත සමාජ ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සංසදයේ ප්‍රධාන අරමුණක් බවයි.ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔවුන්ගේ හඬට ප්‍රමුඛත්වය ලබාදීම සහ සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මෙම කාර්යභාරය අඛණ්ඩව ඉටු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම කටයුතු සඳහා දායක වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, IFES ආයතනයට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ටද ඒ මහතා සිය ස්තූතිය පළ කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) නිහාල් අබේසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-04

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, කාර්යක්ෂම මානව සම්පත් රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම පිළිබඳව දැනුම් දී තිබූ බැවින්, ස්ථාවර නියෝග ප්‍රකාරව එම අවස්ථාවේදී තාවකාලික සභාපතිවරයා ලෙස පත් කර ගත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු  සහභාගී වුහ.එමෙන්ම, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  විජේසිරි බස්නායක මහතා ද සහභාගී විය.ජාතික විගණන කාර්යාලයේ විගණන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.විගණන ක්‍රියාවලිය තාක්ෂණිකව පරිවර්තනය කිරීම මඟින් විගණන කටයුතුවල කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වඩාත් පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමටත් හැකි වනු ඇති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, විගණන සේවයට බඳවා ගනු ලබන දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් ඇති වන මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගෙන ඒවා නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා වූ අතර, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ වගකීම අවධාරණය කෙරිණි.සමෘද්ධි බැංකු විගණනයේදී පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ද  කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒවා වඩාත් කාර්යක්ෂමව විගණනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අතර, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවිය යුතු මාසික වැටුප් හා දීමනා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.ජාතික කාන්තා කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එහි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙන්ම, කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි විභාග කිරීම හා විමර්ශනය කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව සතු වගකීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.කොමිෂන් සභාව පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ පරිපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පනතට අනුව අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ කාලීනව සිටිය යුතු බැවින්, එම සාමාජිකයින් සඳහා දීමනා ප්‍රමාණවත් නොවන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දුන් අතර පූර්ණ කාලීන සාමාජිකයින්ට අමතර දීමනා ලබා දීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව  ද කාරක සභාව විසින් මෙහිදී  මුදල් අමාත්‍යාංශය ට දැනුම් දෙන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks