2022-11-18
ජනාධිපතිතුමාගේ යෝජනාවක් පරිදි ස්ථාපිත කිරීමට නියමිත කාරක සභා ද්විත්වයකට අදාළ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේ වාර්තාව කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (නොවැ. 18) පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන ලදී.
මේ අනුව බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සහ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවට අදාළ සංයුතිය, බලතල සහ කාර්යයන් මෙම වාර්තාවේ අන්තර්ගත වේ.
2022 නොවැම්බර් 16 වන දින ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව රැස්වූ අතර එහිදී මෙම කාරක සභා ද්විත්වය ස්ථාපිත කිරීම සහ ඊට අදාළ ස්ථාවර නියෝග පිළිවෙලින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 122 සහ 123 වශයෙන් සංශෝධිත ස්ථාවර නියෝගවලට ඇතුළත් කිරීම අනුමත කරන ලදී.
එම වාර්තාවට අනුව මෙම කාරක සභා ද්විත්වයේ සංයුතිය, බලතල සහ කාර්යයන්ට අදාළ කරුණු පහත පරිදි වේ.
බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව
බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන සාමාජික මන්ත්‍රීවරයන් දහසය දෙනෙකුගෙන් සමන්විත වේ.
ශ්‍රී ලංකාවේ බැංකුකරණ, රක්ෂණ සහ වෙනත් මූල්‍ය ක්ෂේත්‍ර සේවාවන්හි වෘත්තීයමය ප්‍රමිතීන් සහ සංස්කෘතිය පිළිබඳව සලකා බලා වාර්තා කිරීමට කාරක සභාවට බලය හිමිවී තිබේ.
ඒ අනුව, ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සහ බැංකුකරණ, රක්ෂණ සහ වෙනත් මූල්‍ය සේවා ආයතනවල ප්‍රමිතීන් ඉහල නැංවීම පිණිස ඒ මත දැඩි විනයක් ඇතිකිරීම සඳහා එම ආයතන වල ක්‍රියාකාරීත්වය සහ බහුවිධ සේවා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ ව්‍යවස්ථාදායක සහ අනෙකුත් නියාමන ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටද කාරක සභාවට හැකියාව තිබේ.
ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති, විදේශීය මූල්‍ය සේවා නියෝග සහ ශ්‍රී ලංකාවේ මුදල් කටයුතු, ණය සහ මූල්‍ය සේවා සහ ආර්ථික වර්ධනය මත ඒවායේ බලපෑම් හා සම්බන්ධ කරුණු අංග සම්පූර්ණ පදනමකින් අධ්‍යයනය කොට සමාලෝචනය කිරීමට කාරක සභාවට බලය හිමිවේ.
මහ බැංකු සංචිත පද්ධතිය, අපනයන හා විදේශීය වෙළඳ ප්‍රවර්ධනය, අපනයන පාලන ආනයන පාලන, වාණිජ, කර්මාන්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, මූල්‍ය වෙළඳපොළ, මූල්‍ය ක්‍රියාවලි, මූල්‍ය ආයතනවල කාර්ය සාධනය සහ කළමනාකරණය, මුදල් නෝට්ටු, කාසි සහ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ නිදහස් කිරීම ඇතුලුව මුදල් ප්‍රතිපත්තිය හා සම්බන්ධ කරුණු සහ ණය වියපැහැදම් කිරීම සහ නැවත අය කර ගැනීම හා සම්බන්ධ කරුණු පිළිබඳව අඛණ්ඩ පදනමකින් සමාලෝචනය කිරීමට සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවර භාවය සහ අඛණ්ඩතාවය තහවුරු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය (Sri Lanka Inter Bank Offered Rate (SLIBOR)) සකස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නියාමන සහ තරඟකාරී විමර්ශන සිදුකිරීමට සහ ඒවා පරීක්ෂා කිරීමට ද කාරක සභාවට හැකියාව තිබේ.
රාජ්‍ය මූල්‍ය ආයතන සහ රක්ෂණය ඇතුළු සපයනු ලබන මූල්‍ය සේවාවන්ට අදාළ ආයතනික පාලනය, කාර්යසාධනය සහ කළමනාකරණය, විනිවිදභාවය මෙන්ම බැඳියාවන් අතර ගැටුම් සමාලෝචනය කිරීමට, මූල්‍ය ප්‍රතිපත්ති සහ රක්ෂණය ඇතුළු මූල්‍ය ආයතනවලට අදාළව රජයේ සහ අනාගත රජයන්ගේ මෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සමාලෝචන සිදු කිරීමට, සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවේ කාර්යසාධනය හා කළමනාකරණය සහ ප්‍රාග්ධන වෙළඳපොළේ ප්‍රවණතාවන් පිළිබඳ විමසා වාර්තා කිරීමට; සහ කොළඹ කොටස් වෙළඳපොළේ කාර්යසාධනය සහ කළමනාකරණය පිළිබඳ විමසා වාර්තා කිරීමට ද කාරක සභාවට බලතල හිමිවේ.
එයට අමතරව, රජය සතු යම් බැංකුවක් හෝ රක්ෂණය ඇතුළු මූල්‍ය සේවා සපයන වෙනත් ඕනෑම ආයතනයක් පිළිබඳ හෝ රජයේ ලිඛිත නීතියක් මඟින් බලය පවරා ඇති වෙනත් කාර්යයක් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් සහ ඉන් පැන නගින ඕනෑම කරුණක් පිළිබඳව සිදු කරන විමර්ශනවලින් අනාවරණය වන තොරතුරු සම්බන්ධයෙන් කාරක සභාව සෑම තුන් මාසයකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබිය යුතු අතර ප්‍රතිකාර්ය ක්‍රියාමාර්ග අවශ්‍ය කරන කරුණු සම්බන්ධ නිරීක්ෂණ සහ යම් නිර්දේශයක් තිබේ නම් එම නිර්දේශ ද එකී වාර්තාවට ඇතුළත් කිරීමද කරාක මභාව විසින් කළ යුතුවේ.
කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු එය මූල්‍ය විෂය භාර අමාත්‍යවරයාට සහ අදාළ ආයතන භාර අමාත්‍යවරයන් වෙත යොමු කිරීමෙන් පසු සති අටක කාලසීමාවක් ඇතුළත එහි සඳහන් නිර්දේශ සපුරාලීමටත්, නිරීක්ෂණ සම්බන්ධයෙන් අනුගමනය කිරීමට යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමටත්, එම අමාත්‍යවරයන් විසින් ක්‍රියා කළ යුතුය. එසේ නොමැති නම් අදාළ නිර්දේශ සපුරාලීමක් සිදු නොකළ යුතු බවට අදාළ අමාත්‍යවරයා විශ්වාස කරන්නේ නම් ඒයට ලිඛිතව ඊට හේතු දැක්විය යුතු අතර අමාත්‍යවරයා විසින් යෝජනා කරනු ලබන විකල්ප ක්‍රියාමාර්ගය කවරේ ද ඉදිරිපත් කළ යුතුය.
කාරක සභාවට අවශ්‍ය වන්නේ නම්, අදාළ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීම සඳහා කාරක සභාවට පෞද්ගලිකව පැමිණීමට ආරාධනාවක් කළ හැකි අතර එවැනි කාරණා වලින් පැන නඟින ප්‍රශ්නවලට සති අටක් ඇතුළත පිළිතුරු සැපයීම කළ යුතුවේ.
කාරක සභාවට අවශ්‍ය යැයි හැඟීයන්නේ නම් ඕනෑම ආයතනයක් පිළිබඳ සොයා බැලීම සඳහා එම කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සැදුම්ලත් අනු කාරක සභා පත් කළ හැකි අතර, කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරයන් ද එවැනි අනු කාරක සභා රැස්වීමකට සහභාගීවීමට අපේක්ෂා කරන්නේ නම්, එම සාමාජික මන්ත්‍රීවරයන්ට ද ඊට සහභාගී විය හැකි ය. එකී අනු කාරක සභා විසින් අවශ්‍ය යැයි සලකනු ලබන ඕනෑම කරුණක් පිළිබඳව කාරක සභාව වෙත වාර්තා කිරීමේ හැකියාව මිහිවේ.
එමෙන්ම, අවශ්‍ය යැයි සලකනු ලබන අවස්ථාවක දී, කාරක සභාවට හෝ කාරක සභාව විසින් පත් කරන ලද ඕනෑම අනු කරක සභාවකට, කාරක සභාව විසින් තීරණය කරනු ලබන පරිදි පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දී හෝ අදාළ ඕනෑම ආයතනයක දී රැස්වීම් පවත්වනු ලැබිය හැකි අතර කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත කාරක සභා සාමාජික මන්ත්‍රීවරයෙකු නොවන වෙනත් ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කාරක සභාවේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අවස්ථාව ලැබේ.
කාරක සභාව විසින් ස්වකීය වගකීම් ඉටුකිරීමේ කාර්යය සඳහා ඕනෑම පුද්ගලයෙකු ඕනෑම අවස්ථාවකදී කාරක සභාව ඉදිරියට කැඳවීමට, ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට සහ ඕනෑම ලිපි ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයක් පිළිබඳ විභාග කිරීමටත්, ගබඩා සහ දේපළ විමර්ශනය කිරීමටත්, බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවට හෝ එහි ඕනෑම අනු කාරක සභාවකට බලය හිමිවේ.
ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව
ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් නොවන සාමාජික මන්ත්‍රීවරයන් දහසය දෙනෙකුගෙන් සමන්විත විය යුතුවේ.
රජය සතු ව්‍යවසායවල කාර්ය සාධනය, කළමනාකරණය, මෙහෙයුම් කාර්යක්ෂමතාවය, ප්‍රතිපත්ති රාමුව, නෛතික රාමුව සහ අවදානම් කළමනාකරණය පරීක්ෂා කිරීම කාරක සභාවේ මූලික කාර්යභාරය වේ.
ඒ යටතේ, රජය සතු ව්‍යවසායවල මූල්‍ය ස්ථාවරත්වය, ණය කළමනාකරණය, ලාභ සහ ආයෝජන කළමනාකරණය පරීක්ෂා කිරීම, රජය සතු ව්‍යවසායවල පාඩු අවම කර ලාභ වැඩි කිරිම සඳහා අවසතුකරණය කිරීමේ අවශ්‍යතා, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව සඳහා ඇති අවස්ථා සහ උපායමාර්ග පරීක්ෂා කිරීම; සහ රජය සතු ව්‍යවසායන් විසින් සේවයෙහි නියුක්ත කරනු ලැබූවන්ට අදාළව මානව සම්පත් කළමනාකරණය, අධික හෝ අතිරික්ත කාර්ය මණ්ඩලය අඩු කිරීම, වේතන හා ව්‍යවස්ථාපිත ගෙවීම් නොගෙවීම සහ වේතන සහ දීමනා වැඩිපුර ගෙවීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හැකියා කාරක සභාව සතුය.
1971 අංක 38 දරන මුදල් පනත සහ 2007 අංක 7 දරන සමාගම් පනත මගින් පාලනය වන කවර හෝ රජය සතු ව්‍යවසායක් පිළිබඳව කාරක සභාව විසින් හෙළිදරව් කරගනු ලැබූ කරුණු සම්බන්ධයෙන් කාරක සභාව සෑම මාස තුනකටම වරක් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමද කමිටුවේ කාර්යභාරයක් වේ.
ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබූ විට, එය මුදල් විෂයය භාර අමාත්‍යවරයා සහ අදාළ ආයතන භාර අමාත්‍යවරයන් වෙත යොමු කළ යුතු අතර එම අමාත්‍යවරයන් විසින් වාර්තාවේ දක්වනු ලැබ ඇති නිර්දේශ සති අටක කාලසීමාවක් තුළ ඉටු කිරීමටත්, එම නිරීක්ෂණ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයන් විසින් යෝජනා කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමටත්, නැතහොත් යම් නිර්දේශයක් ඉටු නොකළ හැකිවනු ඇතැයි යන්න අදාළ අමාත්‍යවරයාගේ මතය වේ නම් එයට ලිඛිතව හේතු පැහැදිලි කර එම අමාත්‍යවරයා විසින් යෝජනා කරනු ලබන විකල්ප ක්‍රියාමාර්ගය සඳහන් කිරීමටත් කටයුතු කිරිමට කමිටුවට හැකියාව තිබේ.
කාරක සභාවට අවශ්‍ය නම්, අදාළ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීම සඳහා කාරක සභාවට පෞද්ගලිකව පැමිණීමට ආරාධනාවක් කළ හැකි අතර එවැනි කාරණා වලින් පැන නඟින ප්‍රශ්නවලට සති අටක් ඇතුළත පිළිතුරු සැපයිය යුතුය.
කාරක සභාවට අවශ්‍ය වේ නම් ඕනෑම ආයතනයක් පිළිබඳ සොයා බැලීම සඳහා සිය සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සැදුම්ලත් අනු කාරක සභා පත් කළ හැකි අතර, කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරයන් ද එකී අනු කාරක සභා රැස්වීමකට සහභාගීවීමට අපේක්ෂා කරන්නේ නම්, එම සාමාජික මන්ත්‍රීවරයන්ට ද ඊට සහභාගී විය හැකිවේ. එසේ අනු කාරක සභා විසින් අවශ්‍ය යැයි සලකනු ලබන ඕනෑම කරුණක් පිළිබඳව කාරක සභාව වෙත වාර්තා කිරීමේ හැකියාව තිබේ.
කාරක සභාව විසින් තම වගකීම් ඉටුකිරීමේ කාර්යය සඳහා ඕනෑම පුද්ගලයෙකු ඕනෑම අවස්ථාවකදී කාරක සභාව ඉදිරියට කැඳවීමට, ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට සහ ඕනෑම ලිපි ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයක් පිළිබඳ විභාග කිරීමටත්, ගබඩා සහ දේපළ විමර්ශනය කිරීමටත්, ආර්ථික ස්ථායිකරණය පිළිබද කාරක සභාවට හෝ එහි ඕනෑම අනු කාරක සභාවකට බලය හිමි වේ.
2026-09-09
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.
2026-09-09
වසර 50කට අධික කාලයක් භාවිතා කර ඇති පැරණි හා යල් පැන ගිය යන්ත්‍රෝපකරණ ක්‍රමයෙන් ඉවත් කර, නවීන තාක්ෂණයෙන් සමන්විත කාර්යක්ෂම උපකරණ මිලදී ගනිමින්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ තාක්ෂණයෙන් සහ උසස් ආරක්ෂිත මුද්‍රණ (Smart Security Printing) හැකියාවන්ගෙන් සමන්විත නවීන මුද්‍රණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනමින් තවත් සේවකයන් 21 දෙනෙකු සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.පාදුක්ක, වටරැක ප්‍රදේශයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණාලය මඟින් රජයෙන් ලැබෙන ඇණවුම් පරිදි පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය, ආරක්ෂිත මුද්‍රණ කටයුතු ( පළාත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ලොතරැයි මුද්‍රණය හා රහස් ලේඛන මුද්‍රණය) සිදු කරන බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම, SPC අභ්‍යාස පොත් මුද්‍රණය, විවිධ රාජ්‍ය ආයතන සඳහා මුද්‍රණ කටයුතු, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු, පුද්ගලික මුද්‍රණ ඇණවුම් කටයුතු සහ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදු කරන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා SPC අලෙවිසැල් ජාලය ද පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතීම හේතුවෙන් රජයට ප්‍රතිලාභ රැසක් අත්වන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, වෙළෙඳපොළ මිල පාලනය කිරීමේ සාධකයක් ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම, වෙළෙඳපොළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ (Security Printing) ඒකකයක අවශ්‍යතාව සපුරාලීම සහ රාජ්‍ය අංශයේ එකම රාජ්‍ය ව්‍යවසාය ආයතනය ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම ඒ අතර වන බව ඇය සඳහන් කළාය.මහා පරිමාණ මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සැපයීම, රජය සතු මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සපුරාලීම සහ මුද්‍රණ කටයුතු සඳහා පවතින පිරිවැය අවම කර ගැනීම ද එහි ප්‍රතිලාභ අතර වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එමෙන්ම, දීර්ඝ කාලයක සිට රාජ්‍ය ආයතනයක් ලෙස රැකියා අවස්ථා සලසා දෙමින් පුහුණු මානව සම්පතක් සහිත වීම සහ රාජ්‍ය භාගය ලෙස රජයට ප්‍රතිලාභ අත්වීමට ඉඩ සැලසීම ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
2026-09-08
“ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එම නිවේදනය පහත පරිදි වේ. පනත් කෙටුම්පතේ 3(එ) වගන්තිය අපැහැදිලි වන අතර, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා එම වගන්තිය ඉවත් කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(i) පනත් කෙටුම්පතේ 4(ච) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බවත්, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි එම වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(ii) පනත් කෙටුම්පතේ 5(4)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 5 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද,(iii) පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ද,ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.• 2026 අගෝස්තු 21 දින පෙත්සම් හතයි • 2026 අගෝස්තු 24 දින පෙත්සම් හතරයි • 2026 අගෝස්තු 25 දින පෙත්සම් අටයි • 2026 අගෝස්තු 28 දින පෙත්සම් පහයි • 2026 අගෝස්තු 31 දින පෙත්සම් තිස් එකයි • 2026 සැප්තැම්බර් 01 දින පෙත්සම් දහයයි • 2026 සැප්තැම්බර් 03 දින පෙත්සම් තුනයි • 2026 සැප්තැම්බර් 04 දින පෙත්සම් දෙකයි “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහළොවක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම්2026 අගෝස්තු 19 දින කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සමට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතක පිටපත් ලැබී ඇති බව ද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
2026-09-08
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 08) සිය සහතිකය සටහන් කළේය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් පනත යටතේ සිදුවන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමයි.මේ අනුව 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එම පනතට අදාළ වන වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් මත ප්‍රමාණවත් නොවන බැවින් එම දඩ මුදල් සංශෝධනය කිරීම මෙම නව සංශෝධන පනත මගින් සිදු වේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිදුකෙරේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 21 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.