logo

බලන්න

02

E   |     |  

2022-11-17

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ලබාගත් ණය සදහා බැංකු පොලී අනුපාත ඉහළ දැමීම නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට බැංකුවලට උපදෙස් ලබා දී තිබෙනවා - මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පවසයි

•    පවතින මූල්‍ය ප්‍රතිපත්ති අනුව ලබන වසරේ අග වන විට උද්ධමනය 4 – 5% ට අඩුවෙන් පවත්වා ගැනීමට හැකිවේවි...
•    බැංකු මගින් ඩොලර් මාරු කිරීමේදී කිසිදු අපහසුතාවක් ඇතිවීමට හේතුවක් නැහැ…

 

පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ  ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ  ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැ. 16) පාර්ලිමේන්තුවේදී පැවති මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබදව මන්ත්‍රීවරු විමසා සිටි අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.  

මෙලෙස පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණය හිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට සිදුව ඇති බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කොට යම් සහන කාලයක් සදහා  අදාළ පොලිය පමණක් ගෙවීමට හැකිබවයි. ඒපිළිබදව බැංකුවලට උපදෙස් මේ වන විට ලබා දී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය. ඒඅනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග  මෙම අගය ලබන වසර අගවන විට   4 - 5% අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සදහා  නව  පනතක් මේ වන කෙටුම්පත් කර අවශ්‍ය කටයුතු සිදුකරන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම බැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී සිදුවන අපහසුතා පිළිබදවද කාරක සභාවේදී අවධානය යොමුවිය. මේපිළිබදව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් විමසා සිටි අතර එසේ ප්‍රමාදයන් වීමට හේතුවන කිසිදු උපදෙසක් මහ බැංකුව ලබා දී නොමැති බවත් මහබැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය. මේ අනුව ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය උපදෙස් බැංකුවලට ලබා දෙන ලෙස අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව ආයතන 126 කින් 22 ක් අවුරුදු 5කට වැඩි ප්‍රමාණයක් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති බව ද ඇතැම් වාර්ෂික වාර්තා ලබා දීම වසර 7 ක් පමණ ප්‍රමාද කර ඇති ආයතන පවතින බව ද  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පැවසීය. මේ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන බැවින්ද නියමිත කාලය තුළ වාර්ෂික වාර්තා භාරදීම පිළිබද ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිීය.

විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්  වන ජගත් කුමාර සුමිත්‍රාරච්චි, සහන් ප්‍රදීප් විතාන යන මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද  මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශයීය සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

 

3 4

 



සම්බන්ධිත පුවත්

2026-07-22

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්‍රමවේදය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි.ඒ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී පර්යේෂණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ආයතනික මෙහෙයුම් කමිටුව (Institutional Operations Committee) සහ සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත සම්බන්ධීකරණ කණ්ඩායම (Six-member Coordination Team) පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම පර්යේෂණය සඳහා යොදා ගැනීමට නියමිත මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය (Mixed-Methods Design), ප්‍රශ්නාවලි (Questionnaires) සකස් කිරීම සහ දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස අවධානය යොමු විය.තවද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුකාරක සභාව වෙත මහජන අදහස් ලබාගැනීමේ ප්‍රගතියද මෙහිදී සාකච්ඡා කෙරුණි.පර්යේෂණයට අදාළ මානව සම්පත් සහ කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) අංශවල දායකත්වය ලබාගැනීම, පර්යේෂණයේ ක්‍රියාකාරී කාලසටහන (Gantt Chart) සකස් කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද මෙහිදී කරුණු සලකා බැලීය.එසේම, වාණිජ මණ්ඩල, කර්මාන්ත සංගම් සහ වෘත්තීය ආයතන ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ සහ රටපුරා පිහිටි තෝරාගත් SLIATE ආයතනවල ක්ෂේත්‍ර නිරීක්ෂණ (Field Visits) සිදුකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.පර්යේෂණයේ ඉදිරි ක්‍රියාමාර්ග නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කරමින් මීළඟ රැස්වීමට අවශ්‍ය ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට ද අනුකාරක සභාවේදී තීරණය කෙරිණි.මෙම අනුකාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ද එක්විය.


2026-07-22

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් අවභාවිතයන් සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් CID සහ අල්ලස් කොමිසමට කරුණු යොමු කිරීමට "කෝප්" කමිටුවේ අවධානය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ඉඩම් අවභාවිතයන්, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE/කෝප්) අවධානය යොමු විය.ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමර්ශනයේ ඉතිරි කරුණු සලකා බැලීම සඳහා කෝප් කමිටුව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී මාලිගාවත්ත, ඇල්විටිගල මාවත සහ දඹුල්ල රංගිරිගම ප්‍රදේශවල පිහිටි අධිකාරිය සතු වටිනා ඉඩම්, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සහ ඉතා අඩු නාමික වටිනාකම් යටතේ බාහිර පාර්ශ්ව වෙත බදු දීම, ගිවිසුම්වල සඳහන් පරමාර්ථයන්ට පටහැනි ලෙස එම ඉඩම් භාවිත කිරීම සහ අධිකාරිය සතු දේපළ නිසි ලෙස ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙම ගනුදෙනු බොහොමයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරමාර්ථයන්ට සහ නීතිමය ප්‍රතිපාදනවලට පටහැනිව සිදුවී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කළ අතර, අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළේය.තවද, මෙම සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම අනාගතයේදී මෙවැනි අක්‍රමිකතා නැවත සිදු නොවන පරිදි දේපළ කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාරක සභාව නිර්දේශ කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතීඥ සුජීව සේනසිංහ, මුජිබුර් රහුමාන්, චමින්ද විජේසිරි, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, සුනිල් රාජපක්ෂ, තිලිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, රුවන් මාපලගම, ජගත් මනුවර්ණ සහ දිනේෂ් හේමන්ත, එම්.කේ.එම්. අස්ලම්, සුදත් බලගල්ල යන මහත්වරු සහභාගි වූහ. 


2026-07-21

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවක

ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් නීති සම්පාදනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම පිළිබඳ අවධානයආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් නීති සම්පාදනය හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරයා ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන කිහිපයක නියෝජිතයන් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්විණි.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ආන්ද්‍රේ ෆ්‍රැන්චේ මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ස්ථාපිත කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට ප්‍රශංසාව පළ කළ අතර, ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් සංවර්ධනය සියලු ක්ෂේත්‍ර ඔස්සේ ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකීමේ වැදගත්කම අවධාරණය කළේය. නීති ප්‍රතිසංස්කරණ, ප්‍රවේශ පහසුකම්, අධ්‍යාපනය, රැකියා අවස්ථා, ප්‍රජා මට්ටමේ පුනරුත්ථාපනය සහ ජාතික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ඇතුළු ක්ෂේත්‍රවලදී තාක්ෂණික විශේෂඥතාව සහ ආයතනික සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැපවී සිටින බවද ඒ මහතා පැවසීය.යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත බෙගෝනා අරෙලානෝ මහත්මිය, විශේෂයෙන් සෞඛ්‍ය, පෝෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවලදී ආබාධ සහිත දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර, ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු අධීක්ෂණ කාර්යභාරයේ වැදගත්කමද පෙන්වා දුන්නාය.එමෙන්ම UNFPA, UNDP, ILO සහ UN Volunteers ආයතනවල නියෝජිතයන් විසින් තරුණ කටයුතු, අධ්‍යාපනය, ආබාධිතභාවය සම්බන්ධ දත්ත රැස් කිරීම, රැකියා අවස්ථා සහ සමාජීය අන්තර්කරණය පිළිබඳ දැනට ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධයෙන් සංසදය දැනුවත් කරන ලදී.මෙහිදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සහ සංඥා භාෂාව පිළිබඳ පනත් කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර, එම පනත් කෙටුම්පත් 2026 සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. තවද, රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම, විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් සඳහා අධ්‍යාපන ප්‍රදාන හඳුන්වා දීම සහ මෙම වසර තුළ ආබාධ සහිත දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන දහයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.එමෙන්ම, රජයේ අමාත්‍යාංශ මඟින් ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් කරගත් අයවැය යෝජනා සකස් කිරීම, ජාතික ආබාධිත දත්ත පද්ධතිය අවසන් කිරීම සහ ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධ වාර්තාකරණයේදී අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම ඇතුළු ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳවද සංසදයේ අවධානය යොමු විය.සාකච්ඡාව අවසානයේදී සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, සංසදයේ තේමාව වන "බාධාවකින් තොර සමාජ ජීවිතයක්" තේමාව නැවත අවධාරණය කරමින්, සියලු පාර්ශ්ව එක්ව ආබාධ සහිත පුද්ගලයන් ඇතුළත් සමාජයක් ගොඩනැගීම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දුන්නේය.මෙම අවස්ථාව සඳහා සංසදයේ ගරු නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගයන්ත කරුණාතිලක මහතා සහ (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය, UNFPA, UNICEF, UNDP, ILO සහ UN Volunteers ආයතනවල නියෝජිතයෝ ද එක්ව සිටියහ.


2026-07-20

පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව, විශේෂ කාරක සභාව හමුවට

පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කළ තාක්ෂණික වාර්තාවක් පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් කෙරිණි.ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගියදා රැස්වූ මෙම විශේෂ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් ද සහභාගි විය.මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය සහ මැතිවරණ ප්‍රතිඵල නොවෙනස්ව පවත්වාගෙන යමින් කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳ කරුණු පැහැදිලි කරන ලදී.මෙම යෝජිත මැතිවරණ ක්‍රමවේදය තුළ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීමේදී මතුවිය හැකි නීතිමය හා ප්‍රායෝගික ගැටලු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි රැස්වීමකදී නැවත සාකච්ඡා කිරීමට තීරණය කෙරිණි.පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන්  33% ක් දක්වා ඉහළ නැංවිය යුතු බව එහිදී  අදහස්  දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඒකමතිකව අවධාරණය කරන  ලදී.  ඒ අනුව, අදාළ මැතිවරණ ක්‍රමවේදය සකස් කිරීමේදී එම ප්‍රතිපත්තිමය තීරණය සැලකිල්ලට ගත යුතු බව ද සංසදය විසින් මෙහිදී  පෙන්වා  දෙන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, යන මහත්වරුන් සහ සාමාජික ගරු මන්ත්‍රීවරුන් වන ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මින් මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඇතුළු එම කොමිෂන්  සභාවේ  සාමාජිකයෝ  සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks