E   |   த   |  

2022-11-10

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ‘කෝප්’ කමිටුව නියෝග කරයි

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022 - 2025 අතර කාල පරිච්චේදයට අදාළව ගල් අගුරු මිලදීගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත්කොට ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම  ක්‍රියාත්ම කිරීමට කෝප් කමිටුව නියෝග කළේය.

මෙහිදී ගල් අඟුරු මිලදීගැනීමට ටෙන්ඩර් කැඳවන අවස්ථාවේ පැවති සුවිශේෂී තත්ත්වයන් පිළිබඳව කෝප්  කම්ටුව සාකච්ඡා කළ අතර පැමිණ සිටි නිලධාරීන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳව ද අවධානය යොමු කළේය. මෙම පසුබිම යටතේ විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී තිබුණු ප්‍රසම්පාදන ක්‍රියාවට අනුගතවීමේ දී සිදුව තිබූ දුර්වලතාවන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර මෙම සාකච්ඡා කළ කරුණු පිළිබඳ පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද කමිටුවේ සියලුම සාමාජික මන්ත්‍රීවරු අතර එකඟතාව පළ විය.

එසේම විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නීත්‍යානුකූල ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් ඉදිරිපත්කරන ලද කරුණු ද සැලකිල්ලට ගෙන විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඉදිරිපත්කොට ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා කෝප් කමිටුව විසින් නියෝග කිරීම සිදු කරන ලදි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මෙම නියෝග කිරීම සිදු කළේ නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022 -2025 අතර කාල පරිච්චේදයට අදාළව ගල් අගුරු මිලදීගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධයෙන් වූ 2022 සැප්තැම්බර් 30 දින ඉදිරිපත් කරන ලද විශේෂ විගණන වාර්තාව පිළිබඳ පරීක්ෂා කර බැලීමට එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ සඳහා  විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා කැඳවා තිබූණි.

මේ අනුව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඉදිරියේදී ක්‍රියාත්ම කිරීම සඳහා නිර්දේශ 8 ක් ඉදිරිපත්කොට තිබුණි.

  1.   ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධ සියලු පාර්ශ්ව රජයේ අනුමත ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් ට අනුකූලව සිය වගකීම නිවැරදිව ඉටු කරනු ලබන බවට තහවුරු කිරීම හා එම තත්ත්වයෙන් බැහැර වන පාර්ශවයන්ට එරෙහිව සුදුසු ඉදිරි පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම.
  2.  මාර්ගෝපදේශ සංග්‍රහයේ 1.2 ඡේදයේ සඳහන් අරමුණු වලට අගතියක් නොවන පරිදි සහ සැපයුම්කරුවන්ගේ මූල්‍ය ශක්‍යතාව, පළපුරුද්ද, සැපයුමේ ගුණාත්මකභාවය, ප්‍රමාණවත් නෛතික බැඳීම් ඇතුළු මූලික අවශ්‍යතාවයන් ආරක්ෂා වන පරිදි ලංසුකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි මට්ටමකට ලිහිල් කර තරගකාරිත්වය උපරිම කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
  3.  ලංසු ලේඛනයන්ට සංශෝධනයන් සිදු කිරීමේදී අදාළ තහවුරු කිරීම් සහ බැඳීම් වලට අගතියක් නොවන පරිදි එවැනි සංශෝධනයන්ගේ නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමෙන් පසුව එවැනි සංශෝධනයන් සිදු කළ යුතු අතර, එම සංශෝධනයට ගැලපෙන පරිදි ලංසු ලේඛනයෙහි අනෙකුත් වගන්ති හා ගිවිසුම් සංශෝධනය කිරීමට වගබලාගත යුතුය. ලංසු ලේඛනයන්ට ලංසු කැඳවීමෙන් පසු ප්‍රබල සංශෝධනයක් කිරීමෙන් හැකි සෑම විටම වැළකී සිටිය යුතුය. ලේඛනයන්ට පසුව කරන සංශෝධනයන්හිදී එම සංශෝධනයන්ට අනුගත වීම සඳහා සියලුම ලංසුකරුවන්ට සාධාරණ  කාලයක් ලබා දීමට ක්‍රියා කළ යුතුය.
  4.    ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව සකස් කළ යුතු ප්‍රසම්පාදන සැලැස්ම පරිපූර්ණ ලෙස විධිමත්ව සකස්කර අනුමත කර එයට අනුගතව කටයුතු කළ යුතු වීම සහ කාලීනව ගල් අඟුරු සැපයීම තහවුරු වන පරිදි මූල්‍ය ප්‍රසම්පාදනයන් පිළිබඳ පූර්ව එකඟතාවයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
  5.  එසේ සැපයුම්කරුවෙකුට වැඩි සංඛ්‍යාවකගේ එකතුවකින් ප්‍රසම්පාදනය සඳහා කටයුතු කරන්නේ නම් එම එකතුවට නෛතික පුද්ගලභාවයක් ඇති බවට තහවුරු කරගත යුතු අතර එයට තිබිය යුතු ශක්‍යතාවයන් හා නෛතික බැඳීම් දැඩිව තහවුරු වන පරිදි ලංසු ලේඛන හා ගිවිසුම් ශක්තිමත් කර ගුණාත්මක ගරුත්වය කාලීනව ලැබීම තහවුරු කරගත යුතුය.
  6.  ගල් අඟුරු ප්‍රසම්පාදනයට අදාළ සංයුක්ත දර්ශක තීරණය කිරීමේදී උපරිම ආර්ථික වාසියක් රජයට ලබා ගත හැකි පරිදි එම දර්ශක සකස් කිරීමට යොදා ගන්නා කලාපීය දර්ශක පිළිබඳව කාලීනව නැවත සලකා බැලීමට කටයුතු කළ යුතුය.
  7.   2022 සැප්තැම්බර් 22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයෙහි විවෘත ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය කරමින් හා දැනට ලියාපදිංචි සැපයුම්කරුවන්ටද ප්‍රසම්පාදනයට සහභාගීවීමට අවස්ථාව ලබාදෙමින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට අනුමතිය ලබාදී තිබුණි. විවෘත ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලියක් ආරම්භ කිරීමේදී ගල් අඟුරු සමාගම විසින් දැනට සැපයුම්කරුවෙකු ලියාපදිංචි කිරීමේ දී මූල්‍ය හා තාක්ෂණික ශක්‍යතාවය ඇගයීමට ලක් කරනු ලබන අවම මූලික සුදුසුකම් ලංසු ලේඛනවල ලංසුකරුවන් ඇගයීමේ නිර්ණායක ලෙස ඇතුළත් කළ යුතු බව නිර්දේශ කෙරේ.
  8.   මෙම ප්‍රසම්පාදනයන්ට අදාළව වඩාත් ප්‍රශස්ත අනුමතීන් ලබා දිය හැකි වන පරිදි අවශ්‍ය අධ්‍යනයන් කිරීමට සහ තොරතුරු ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් අමාත්‍ය මණ්ඩලය වෙත ලැබෙන ලෙස නිවැරදි තොරතුරු අප්‍රමාදව ඉදිරිපත් කිරීමට අදාළ නිලධාරීන්ට නියම කිරීම.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර, ගරු ඉන්දික අනුරුද්ධ, ගරු ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු පාඨලී චම්පික රණවක,  ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු නිමල් ලන්සා, ගරු නලීන් බණ්ඩාර, ගරු එස්. එම්. මරික්කාර්, ගරු මජිබර් රහුමාන්, ගරු රෝහිනී විජේරත්න, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු ප්‍රේම්නාත් සී දොළවත්ත, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

3

 



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා  වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 පාඩුවක් ද  නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks