E   |   த   |  

2022-10-25

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යාවත්කාලීන කිරීමටත් එහි ක්‍රියාකාරිත්වය ප්‍රතිව්‍යුහගත කිරීමට ‘කෝප්’ කමිටුවෙන් නියෝගයක්

•    ප්‍රගති සමාලෝචනයට සති හයක්...
•    මාස තුනකින් නැවතත්  කෝප් කමිටුවට කැඳවීමක්...


ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යාවත්කාලීන කොට එහි ක්‍රියාකාරීත්වය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා වෙත නිර්දේශ කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පසුගිය දා සිදු කරන ලදී.

මේ අනුව සති 6ක් ඇතුළත මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ කෝප් කමිටුවට වාර්තාවක් ලබාදීමට ද නිර්දේශ කළේය.

මෙම නිර්දේශ සිදු කළේ ඉඩම් ප්‍රතිසංසකරණ කොමිෂන් සභාවේ 2020 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (ඔක්. 21) දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කෝප් කමිටුව විසින් නිර්දේශ කිහිපයක්ම එම කොමිෂමට ලබාදුන් අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ පරීක්ෂාකර බැලීමට ඉඩම් ප්‍රතිසංසකරණ කොමිෂන් සභාව නැවත මාස 3ක් ඇතුළත කෝප් කමිටුවට කැඳවීමට තීරණය කළේය.

මෙහිදී මෙම කොමිෂන් සභාව ඉඩම් පැවරීමේදී පවතින ගැටළු කෝප් කමිටුවට නිරීක්ෂණය වූ අතර මේ අනුව පසුගිය වසර 20ක කාලසීමාව තුළ ඉඩම් පැවරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත් කිරීමට කෝප් සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.

එසේම ඉඩම් හඳුනාගැනීම සහ වටිනාකම ඇස්තමේන්තුගත කිරීම සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමට කෝප් කමිටුව නිර්දේශ කළ අතර එම කාර්යසාධන බලකායට පැවරෙන වගකීම් පිළිබඳ විස්තර අමාත්‍යාංශ ලේකම් විසින් සති දෙකක් ඇතුළත කෝප් කමිටිවට වාර්තා කිරීමට නිර්දේශ කළේය. මෙම කාර්යසාධන බලකාය සඳහා මැනුම්පති හෝ ඔහුගේ නියෝජිතයෙක් එසේම රජයේ තක්සේරුකරු හෝ ඔහුගේ නියෝජිතයෙක් පත් කිරීමට ද කෝප් කමිටුව නිර්දේශ කළේය.

තවද “2018 ඉඩම් කැබලි දසලක්ෂයක් බෙදාදීමේ ව්‍යාපෘතිය” පිළබඳව ද කෝප් කමිටුවේදී සාකච්ඡා වූ අතර මෙහි ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කළේය. විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා තාවකාලික පදනම මත බඳවාගත් 214 දෙනෙකු පිළිබඳ කළමනාකරණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට අනුමත සේවක සංඛ්‍යාවට ඇතුළත් කරගැනීම පිළිබඳ නිෂ්චිත අවසන් තීරණයක් ගෙන අවශ්‍ය නම් අමාත්‍යමණ්ඩල අනුමතිය සඳහා යොමු කිරීමට ද මෙහිදී නිර්දේශ කළේය.

එසේම ඉඩම් බෙදාදීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තුළට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටිය ඇතුළත් කොට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ද කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

තවද වසර 50ක් පැරණි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත වර්තමානයට ගැලපෙන ආකාරයෙන් යාවත්කාලීන කිරීමටද මෙහිදී කෝප් කමිටුව නිර්දේශ කිරීම සිදු විය.

එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආරම්භ කළ දැනට රුපියල් මිලියන 350ක් වියදම් කොට තාවකාලිකව නවතා ඇති කාබනික පොහොර ව්‍යාපෘතිය පොහොර නිෂ්පාදන පිළිබඳ දැනුමක් ඇති රාජයේ ආයතනයකට පැවරීමට සති දෙකක් ඇතුළත කටයුතු කරන ලෙස ද කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අතුරුදහන් වූ ලිපිගොනු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර අතුරුදහන් වූ ලිපිගොනු ලේඛන විගණකාධිපතිතුමාවෙත වහාම ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව එම කොමිෂන් සභාවට දැනුම් දීම මෙහිදී සිදු විය.  

ව්‍යවස්ථාපිත පැවරීම් යටතේ කලින් හඳුනාගෙන ඇති ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීම පිළිබඳ වහාම කිටයුතු කිරීමටද මෙහිදී කෝප් කමිටුව නිර්දේශ කළේය.

එසේම මෙම කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති මතයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වර්ෂ 10ක පමණ කාලයක සිට වියාචනය කර ඇති බැවින් මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස් කොට වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මාස 3ක් ඇතුළත කටයුතු කරන ලෙස ද මෙහිදී දැනුම්දීම සිදු විය.

එසේම පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතියක් නිර්මාණයකිරීම සහ සංවර්ධනය කිරීම වෙනුවෙන් පෞද්ගලික පරිගණක ආයතනයක් වෙත ගෙවන ලද රුපියල් මිලියන 17ක මුදල නැවත අයකරගැනීම සඳහා අදාළ සමාගමට එරෙහිව කටයුතු කරන ලෙස සහ එම කටයුත්තට සම්බන්ධ නිලධාරීනට විරුද්ධව විනයානුකූල පියවර ගැනීමටද කෝප් කමිටුව නිර්දේශ කළේය.

තවද හෝමාගම ප්‍රදේශයේ බදු ඔප්පුවක් නොමැතිව පෞද්ගලික සමාගමකට පවරා ඇති අක්කර 6ක ඉඩම් ප්‍රමාණය වෙනුවෙන් අයකරගත යතු රුපියල් මිලියන 12කට ආසන්න මුදල අයකරගැනීම සඳහා සති දෙකක් ඇතුළත නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසද කෝප් කමිටුව නිර්දේශ කළේය. ඒ සඳහා ගිවිසුම් ගත නොවීම සහ තක්සේරු විටනාකමෙන් 6% වෙනුවට 4% ක් අයකිරීම වෙනුවෙන් පරීක්ෂාකර කෝප් කමිටුව වෙත වාර්තා කිරීමටද මෙහිදී දැනුම් දීම සිදු විය.

අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව කුලී ගිවිසුමකින් තොරව 2016 වර්ෂයේ සිට රජයේ තක්සේරුව ඉක්මවමින් මෙම කොමිෂමේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල කුලියට ගැනීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීම  සහ එම කාර්යාලය රජයේ ගොඩනැගිල්ලකට ගෙනයාම සඳහා කඩිනමින් පියවර ගැනීමටද මෙහිදී කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

තවද වැටුප් දෙකක් ලබාගත් නීතිඥයෙක් වන විමර්ශන නිලධාරියෙක් සම්බන්ධයෙන් අදාළ ආයතන විමසා මිලියන 1.7 ක වැටුප් සහ අනෙකුත් දීමනා අයකරගැනීමට කටයුතු කිරීමට ද, එම නිලධාරියාට විරුද්ධව කටයුතු කිරීමටද මෙහිදි නිර්දේශ කළේය.

එසේම රජයේ ආයතන වලින් අය කර ගතයුතු හිගබදු ආදායම වන බිලියන දෙකක මුදල සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සහ මහා බාණ්ඩාගාරය සමග සාකච්ඡා කර කඩිනමින් නිරවුල් කිරීමට කටයුතු කරන ලෙස ද මෙහිදී නිර්දේශ විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ඉන්දික අනුරුද්ධ, ගරු ඩී. වී. චානක, ගරු ශාන්ත බණ්ඩාර, ගරු ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අනුර කුමාර දිසානායක, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු පාඨලී චම්පික රණවක, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නලීන් බණ්ඩාර, ගරු නිමල් ලන්සා, ගරු එස්. එම්. මරික්කාර්, ගරු රෝහිනී කවිරත්න, ගරු (මහාචාර්ය) චරිත හේරත්, ගරු මුජිබර් රහුමාන්, ගරු මධුර විතානගේ, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු ප්‍රේම්නාත් සී දොලවත්ත, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා  වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 පාඩුවක් ද  නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks