E   |   த   |  

2022-10-13

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

නිර්මාණශීලිත්වය හා බැඳුනු ඔරොත්තු දීමේ හැකියාව සාර්ථකත්වය ඇති කළ හැකිය - ගැහැණු දරුවා පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම නිමිති කොටගෙන - පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ ගරු සභාපතිනිය වන වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය

අද ගැහැණු ළමයා හෙට කාන්තාවක්. ඒ නිසා අපේ අනාගතය අදයි. ගැහැණු දරුවා පිළිබඳ ජාත්‍යන්තර දිනයේ 10 වැනි සංවත්සරය සමරන 2022 ඔක්තෝබර් 11 වැනි දිනයේ ශ්‍රී ලාංකිකයන් වශයෙන්, දැඩි ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවද, දැරියගේ අයිතීන් සුරැකීමට නම්, දැරියගේ යථාර්ථයන් පිළිබඳව කල්පනාකාරී විය යුතුය.
සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් ද අභියෝගයට ලක්ව ඇත. රටේ දරාගත නොහැකි උද්ධමනය හේතුවෙන් සාමාන්ය ශ්‍රී ලාංකික පවුලක පෝෂණීය ආහාර ගැනීමේ ප්‍රමාණය අඩු වී ඇත. වෙනත් බොහෝ උභතෝකෝටික ප්‍රශ්න අතර ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි කිරීම් මෙම ඍණාත්මක බලපෑම් තවත් තීව්‍ර කර ඇත.

මෑත කාලීන පර්යේෂණ සහ සමීක්ෂණ මගින් සමස්ත ශ්‍රී ලංකාවේ දරුවන්ගේ මානසික, අධ්‍යාපනික සහ වෛද්‍ය යහපැවැත්ම කෙරෙහි ආර්ථික අර්බුදයේ බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වී ඇති බවට සනාථ වී ඇත. ගැහැණු දරුවාගේ දුර්වල සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය ඇගේ යහපැවැත්මට සහ ඵලදායිතාවයට පමණක් නොව අනාගත පරම්පරාවට ද බලපායි. ගැහැණු ළමයින් ද හිරිහැර හා ලිංගික හිංසනයට ගොදුරු වීමද වැඩිවෙමින් පවතී. විශේෂයෙන්ම මෙම ආර්ථික අර්බුදය තුළ ලිංගික හිරිහැර පිළිබඳ වාර්තා වල වර්ධනයක් පවතී. එවැනි දරුණු ආර්ථික අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස සමාජ නොසන්සුන්තාව, ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනයන් වැඩි වෙමින් පවතින අතර ගැහැණු ළමයා පහසුවෙන් අවදානමට ලක්විය හැකි ඉලක්කයක් විය හැකිය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා අත්පත් කරගත් මානව සංවර්ධන දර්ශක මෙම ආර්ථික අර්බුදය හමුවේ ආපසු හැරවීමේ අවදානමකට ලක්ව ඇත. විශේෂයෙන්ම, රටේ තත්ත්වය යහපත් නොකළහොත්, අධ්‍යාපනයක් ලබාදීම තම ගැහැණු ළමයා සහ පිරිමි දරුවා අතර කළ යුතු තේරීමක් බවට දෙමව්පියන් පත්විය හැකිය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් විශ්වාස කරන්නේ නිසි සහයෝගයක් ලබා දෙන්නේ නම්, මෙම අභියෝග ධනාත්මක අවස්ථාවක් බවට වෙනස් කර ගත  හැක. වාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන්නන් සහ සුභ පතන්නන් විශාල ප්‍රමාණයක් සිටිති. අපගේ සංවර්ධන ප්‍රයත්නයන් පිටුපස සැමවිටම  ශක්තිමත් ජාත්‍යන්තර සංවිධාන, සංවර්ධන හවුල්කරුවන් සහ රටේ පෞද්ගලික ව්‍යාපාර ප්‍රජාව අපට ඇත. එම නිසා පාර්ලිමේන්තු කාන්තා සංසදය ලෙස අපි මෙම සහයෝගය දක්වන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ ගැහැණු ළමයින්ට නිසි ආකාරයේ අවස්ථා ලබාදීමට ඉදිරිපත් වන ලෙසයි. මෙවැනි වටිනා ක්‍රියාදාමයන් සඳහා නායකත්වය දීමට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ නියෝජිතයන් ලෙස අපි සූදානමින් සිටිමු.

පාර්ලිමේන්තු කාන්තා සංසඳය ශ්‍රී ලංකාවේ ආර්තව දිළිදුකම වෙනුවෙන් 2020 ජාතික අයවැය විවාදයේ සිටම පෙනී සිටියේය. අපි එතැනින් නතර වූයේ නැත. අපි රජයට උපදේශනය දිගටම කරගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස වශයෙන් අද රජය තීරණය කර ඇත්තේ ආනයනික සනීපාරක්ෂක තුවා සහ ඒවා දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා වන බදු ඉවත් කිරීමටයි. වත්මන් ආර්ථික අර්බුදයට පෙර සිටම පාසල්වල ගැහැණු ළමයින් නොසිටීමට ආර්තව දිළිදුකම ද හේතු වී ඇති බැවින් මෙය කාන්තාවන් සහ විශේෂයෙන් ගැහැණු ළමයින් වෙනුවෙන් ලද දැවැන්ත ජයග්‍රහණයක් ලෙස අපි සලකමු. 2021 දී, අපි යෝජනා කළ තවත් ප්‍රධාන නිර්දේශයක් නම්, සියලුම පාසල් සිසුන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදා හැරීමයි. මෙම ආර්ථික අර්බුදය තුළ එය කළ නොහැකි වුවද, ශ්‍රී ලංකාවේ දිළිදුකම තදින්ම බලපාන ගැහැණු ළමයින් සඳහා අවම වශයෙන් නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීම පිළිබඳ රජයට උපදේශනය දිගටම කරගෙන යාමට අපි කැමැත්තෙමු.

නිර්මාණශීලිත්වය  හා බැඳුනු ඔරොත්තු දීමේ හැකියාව සාර්ථකත්වය ඇති කළ හැකිය. එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අප දකින පරිදි ශ්‍රී ලංකාව මුහුණ දෙන විපත්තිය දියුණුව ළඟාකර ගැනීමට ඇති අවස්ථාවක් ලෙස සැළකිය හැකිය. ගැහැණු දරුවා පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී අපි සමස්ත සමාජයෙන් ඉල්ලා සිටින්නේ ගැහැණු ළමයා ආරක්ෂා කිරීමට සහ සවිබල ගැන්වීමට එක්වන ලෙසයි. මේ ව්‍යසනයට එරෙහිව රටේ කෙමෙන් කෙමෙන් වර්ධනය වන ඔරොත්තු දීමේ හැකියාව ගැහැණු දරුවන්ගේ අනාගතය පෙරට වඩා දීප්තිමත් කිරීමට පියවරක් ලෙස යොදා ගැනීමට අප සමඟ අත්වැල් බැඳ ගැනීමට ඉදිරිපත් වන ලෙස කැමැත්ත හා හැකියාව ඇති සංවිධානවලට අපි ආරාධනා කරමු.

 



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා  වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 පාඩුවක් ද  නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks