E   |   த   |  

2022-10-05

පුවත් කාණ්ඩ : පුවත් 

ෆේස්බුක් ඔස්සේ මන්ත්‍රී වරප්‍රසාද කඩකළ බව පිළිගත් පුද්ගලයා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඉදිරියේ සමාව ගනියි

  • අපහාසාත්මක  ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පුවත්පත් මාධ්‍යවේදීන් දෙදෙනාට අවවාද...
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ  “වට්ස්ඇප්”  ඇමතුම් පිළිබද දත්ත නෛතික අවසරයකින් තොරව ලබා ගැනීම පිළිබද පරීක්ෂණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලබන 18 වැනිදා  වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට ...

 

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රී වරප්‍රසාද කඩකළ බව පිළිගත් පුද්ගලයෙකු ඒ පිළිබදව කනගාටුව ප්‍රකාශ කරමින් ඊයේ (ඔක්. 04)  ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේදී සමාව ගැනීම සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර්. සම්බන්දන් මහතාට අපහාසාත්මක අයුරින් පළ කර තිබූ මෙම වීඩියෝව තුළින් ඒ මහතාගේ වරප්‍රසාද කඩවී ඇති බවට පාර්ලි‍මේන්තු මන්ත්‍රී ගරු එම්.ඒ. සුමන්තිරන් මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ෆේස්බුක් පිටුව අයත් යෝහරාසා ශාන්තිරකුමාර් නම් පුද්ගලයා වරප්‍රසාද කමිටුවට ඊයේ කැඳවා තිබිණි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (04) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේදී මෙම සිදුවීමට අදාළ විමර්ෂණ කටයුතු සිදුවිය.

මෙහිදී තමා අතින් මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදුවී ඇති බව එම පුද්ගලයා පිළිගැනීම නිසා දෙපාර්ශවයේ එකගතාව මත කොන්දේසි සහිතව සිද්ධිය සමථයකට පත්කිරීමට තීරණය විය. මේ අනුව මේ පිළිබඳව කනගාටුව පළ කරමින් සමාව අයැද ප්‍රසිද්ධ පුවත්පතක  මෙන්ම එම ෆේස්බුක් පිටුවේ ප්‍රකාශයක් පළ කිරීම යන කොන්දේසි මත  පැමිණිල්ල විභාග කිරීම අවසන් කරන ලද අතර ඉදිරියේදී මෙවැනි ක්‍රියාවලින් වළකින ලෙස තරයේ අවවාද කරමින් කමිටුව විසින් ඔහුව නිදහස් කරන  ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ පොදුවේ පාර්ලිමේන්තුව පිළිබදව අපහාසාත්මක ප්‍රකාශයක්  සිදු කළහොත් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත ය‍ටතේ  දඩුවම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට පවතින බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු බලය යටතේ අවවාද කිරීමට හෝ සය මසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමට ද බලය පවතින බවත්,  යම් වරදක් සිදුවී ඇති බව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන්නේ නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ හැකි බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව ඊට වරදකරු වුවහොත් වසර දෙකකට නොවැඩි සිර දඩුවමකට හෝ දඩ මුදලකටද නොඑසේනම් මෙම දෙකටමද යටත් කළ හැකි බවද සභාපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මේ  අතර පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරුන්ටම අපකීර්තියක් ගෙන දෙන අයුරින් අසත්‍යය ප්‍රවෘත්තියක් පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධානපෙළේ සිංහල දිනපතා පුවත්පතක පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඉදිරියට ඊයේ (04) කැඳවන ලදී. “මැතිසබේ කැන්ටිමේ දියර කිරි හිඟ වී මන්ත්‍රීවරු යකා නටති” යන සිරස්තලය යටතේ 2022 මාර්තු 09 දින එම පුවත්පතේ පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත කැටගොඩ මහතා විසිනි.

මේ අනුව මෙම අසත්‍ය ප්‍රවෘත්තිය හරහා සමස්ත පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් කෙරෙහි මහජනතාව තුළ වෛරයක් ඇතිවීමට හේතුවී ඇති බව කැටගොඩ මන්ත්‍රීවරයා පැවසීය. මේ පිළිබදව පාර්ලිමේන්තුවේ ආහාර හා ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා‍ද කාරක සභාව ඉදිරියට කැදවන ලද අතර මෙහිදී ඔහු පවසා සිටියේ මේ පිළිබදව තමා සොයාබැලීමක් සිදුකළ බවත් එහිදී එවැනි කිසිදු සිදුවීමක් පිළිබද තොරතුරු වාර්තා නොවූ බවත්ය.

මේ අනුව අසත්‍ය තොරතුරු පළ කිරීමක් මගින් සමස්ත පාර්ලිමේන්තුවේම ගෞරවයට හානියක් සිදුවී ඇති බව පෙනී යන බවත්, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් ලෙස වඩාත් වගකීමෙන් යුතුව වාර්තාකරණයේ නියැලීමේ අවශ්‍යතාවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අධිකරණයමය ක්‍රියාමාර්ගවලින් තොරව මෙය විසඳා ගැනීමට දෙපාර්ශවය එකඟ විය. මේ අනුව මෙම අසත්‍ය තොරතුරු පළ කිරීම පිළිබඳව කනගාටුව පළ කරමින්  ප්‍රකාශයක් සති දෙකක් තුළ පෙර ප්‍රවෘත්තියට ලබා දුන් ප්‍රසිද්ධියම ලබා දෙමින් අදාළ  පුවත්පතේ පළ කිරීම සහ එහි පිටපතක් සතියක් තුළ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත එවීම, ඉදිරියේදී පාර්ලිමේන්තුව හෝ මන්ත්‍රීවරුන් කෙරෙහි එවැනි අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශ පළකිරීමෙන් වළකින බවටද එකගවීම යන කොන්දේසිවලට යටත්ව මෙය සමථයකට පත්කරන බව කාරක සභා සභාපතිවරයා පැවසීය. එසේම මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට ලිඛිතව දන්වන ලෙසද නියෝග කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ “වට්ස්ඇප්” දුරකථන ඇමතුම් පිළිබඳ දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නෛතික අවසරයකින් තොරව ලබා ගැනීම නිසා මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවීමට අදාළව සිදුකර තිබූ පැමිණිල්ල පිළිබදව ද කාරක සභාවේ අවධානය යොමුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා අමාත්‍යවරයෙකුව සිටි සමයේ එම අමාත්‍යාංශයේ සිදු වූ මූල්‍ය අවභාවිතාවක් පිළිබද  සිදුකරන පරීක්ෂණයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දත්ත ලබා ගෙන ඇතිබව ද මෙහිදී සදහන් විය. මේ අනුව මේ පිළිබද ඉදිරි කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලබන 18 වැනිදා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවන ලෙස නියෝග කළේය.

රාජ්‍ය අමාත්‍ය ගරු අනුරාධ ජයරත්න, ගරු තලතා අතුකෝරාළ, ගරු කෝකිලා ගුණවර්ධන සහ ගරු වීරසුමන වීරසිංහ යන කාරක සභා සාමාජික මහත්ම මහත්මීහු ද පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-11-21

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට ඊයේ (නොවැ. 20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.ඒ අනුව, නොවැම්බර් 23 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.  තවද, දෙසැම්බර් 05 සෙනසුරාදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් (දෙවැනිවර කියවීම) නියමිතව ඇත.එසේම, දෙසැම්බර් 07 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. (මෙම පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 23 දින දෙවැනිවර කියවීමේ විවාදය පවත්වා කල් තබා ඇත)  ඒ අනුව ඉහත දිනයන්හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනේ.මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කිරීමට අදාළ යෝජනා ත්‍රිත්වයකට ද පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් බැහැර කිරීමේදී නිර්දේශිත ප්‍රමිතීන් සහ ආරක්ෂිත ක්‍රියාපටිපාටීන්, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු ඒ සම්බන්ධ කරුණු පිළිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම, ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කිරීම සහ කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්‍ෂණ නීති ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කර බැලීම, එවැනි සිද්ධියක් නැවත සිදුවීම වළක්වා ගැනීම උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනා ත්‍රිත්වයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.


2026-11-20

2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා  ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.


2026-11-20

වැව් ආශ්‍රිත අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2,196 ක්

වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්‍ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2026-11-20

මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන 05 ක් දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නැරඹීමට ස්ථාන 05 ක් විවෘත කර ඇති බවත්,  බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථාන මෙන්ම දෙමටමල් විහාරය මෙලෙස විවෘතව පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මේ වන විට ලියාපදිංචි කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 137 ක් බව ද ඒවා ගලබැද්ද, මාලිගාවිල, බුදුරුවගල සහ බිබිල යන පුරාවිද්‍යා කලාප 04 කට අයත් වන බව ද අමාත්‍යවරයා කිවේය. මෙම කලාපවලට අයත් භුමි ප්‍රමාණය විග්‍රහ කළ අමාත්‍යවරයා, ගලබැද්ද කලාපයට වර්ග කිලෝමීටර 2000.1 ක්, මාලිගාවිල කලාපයට වර්ග කිලෝමීටර 1199.2 ක්, බුදුරුවගල කලාපයට 1426.2 ක් සහ බිබිල කලාපයට 713.1 ක් අයත් බව ද සඳහන් කළේය.නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ද, යුධගනාව පුරාවිද්‍යා ස්ථානයට විහාරස්ථානය මඟින් ද, දෙමටමල් විහාරයට විහාරස්ථානය මඟින් ද සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා තිබෙන බවත්, මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානයේ ඇති යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks