01

E   |   த   |  

2022-07-07

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

සියාම් සමාගමේ ගෑස් ටෙන්ඩරය අවලංගු කිරීම සහ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න - ‘කෝප්’ කමිටුවෙන් නිර්දේශ

  • ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො. මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම පිළිබඳවත් වහාම සොයා බලන ලෙස උපදෙස්
  • අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම මුදල් අමාත්‍යාංශයෙන් පත් කිරීම වෙනුවට  මව් සමාගම හරහා පත් කිරීමටත් නිර්දේශ

 

සියාම් ගෑස් සමාගමෙන්  ඇ.ඩො. 96 ක මිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කොට ඇ. ඩො. 129 බැගින් ගෑස් මෙ.ටො. ලක්ෂයක් ඕමාන සමාගමකින් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගියදා (05) නිර්දේශ කළේය.

මීට පෙර පැවති කෝප් කමිටුවේ ලබා දුන් නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබද සාකච්ඡා කිරීම සදහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවූ අවස්ථාවේදී මෙම නිර්දේශය ලබා දෙන ලදී.

පසුගිය පෙබරවාරි මස වන විට ගෑස් මිලදී ගැනීම සදහා තිබූ වාර ටෙන්ඩරය අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො. 2,80,000 ක් සදහා ටෙන්ඩර් කැදවන ලද බවත් ඒ අනුව ගෑස්සැපයුම්කරුවන් තිදෙනෙක් ලංසු ඉදිරිපත් කොට ඇති බවත් මෙහිදී හෙළිවිය. මෙහිදී  සියාම් ගෑස් සමාගම ඇ.ඩො. 96 බැවින් අවම මිල ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එහෙත් ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංසු කැදවීමේදී දන්වා සිටි කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් (Standby Letter of Credit / SBLC) ලිට්‍රෝ ආයතනයට ඉදිරිපත් කිරීමට මෙරට බැංකුවලට නොහැකි වීම නිසා එම සියාම් සමා‍ගම හරහා ගෑස් ලබා ගැනීමට නොහැකි වූ බවද මෙහිදී ලිට්‍රෝ නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ සම්බන්ධයෙන් අදාළ සමාගම සමග සාකච්ඡා පැවත්වුවද ටෙන්ඩර් කැදවීමේදී ඉදිරිපත් කළ කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් නොමැතිව ගෑස් සැපයීමට සමාගම අකමැත්ත පළ කළ බව ලිට්‍රෝ සමාගමේ නිලධාරීහු මෙහිදී පැවසුහ.  

මෙම ප්‍රමාදය නිසා සියාම් සමාගමෙන්ම තාවකාලික විසදුමක් වශයෙන් සති දෙකකට අවශ්‍ය දළ ගෑස් ප්‍රමාණය වන මෙ.ටො. 15,000ක් හදිසි මිලදී ගැනීම් ලෙස ලබා ගැනීමට සාකච්ඡා කළද ඔවුන්ට සැපයිය හැකි වන්නේ මෙ.ටො. 6600ක් පමණක් බව දන්වා සිටීම නිසා එයද අසාර්ථක වූ බව මෙහිදී හෙළිවිය. එහෙත් වාර ටෙන්ඩරය සදහා ඇ.ඩො. 129 කට මිලගණන් එවා තිබූ ඔමාන සමාගම මසකට ගෑස් මෙ.ටො. 25000 බැගින් මෙ.ටො. ලක්ෂයක් මාස 4ක් ලබා දීමට එකගත්වය පළ කළ බවද ලිටෝ සමගම පැවසීය.

ඒ අනුව ඉහත කරුණු කැබිනට් මණ්ඩලයට දැන්වීමෙන් අනතුරුව සියාම් ගෑස් සමාගමට ලබා දී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අවලංගු කොට ඕමාන සමාගමෙන් ගෑස් මෙ.ටො. ලක්ෂයක් මිලදී ගැනීමේ වාර ටෙන්ඩරය සදහා කැබිනට් අනුමතිය ලැබුණු බවත් මෙහිදී අනාවරණය විය. ඒ සඳහා ලෝක බැංකුවේ ඇ.ඩො. මිලියන 70 ක ණය ආධාරයක් සහ ලිටෝ සමාගමේ ඇ.ඩො මිලියන 20 ක් යොදා ඇ.ඩො. මිලියන 90 ක් වැය කරන බවත් ලිටෝ සභාපති මුදිත පීරිස් මහතා මෙහිදී පැවසීය.

ගෑස් අවශ්‍යතාව අත්‍යවශ්‍ය හදිසි තත්ත්වයක් වුවද අවම ලංසුකරු වන සියම් සමාගම වෙනුවට වැඩි මිලට ඕමාන සමාගමෙන් මිලදී ගැනීම ඉදිරියේදී නරක පූර්වාදර්ශයක් සැපයිය හැකි බැවින් මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකොට ලෝක බැංකු ඇ.ඩො. මිලියන 70 ක මුදල ඵලදායි ලෙස යොදා ගත්තේද යන්න සොයා බලා වාර්තා කරන  ලෙස මෙහිදී කෝප් සභාපතිවරයා විගණකාධිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො. මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම පිළබදවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී ලිට්‍රෝ සභාපතිවරයා පවසා සිටියේ ඉන්දීය රජයේ කොන්දේසි අනුව එරට නිෂ්පාදනයක් නොවන ගෑස් මිලදී ගැනීම ගැටලුවක්ව ඇති බවයි. මේ පිළිබදව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ පිළිබදව කඩිනමින් සොයා බලා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනට පත් කර ඇති සාමාජිකයන් ගණන 4 දෙනෙකු පමණක් වීම පිළිබදවත් මෙහිදී අවධානය යොමුවිය. නෛතික තත්ත්වය අනුව සාමාජිකයන් 5 දෙනෙකු සිටිය යුතු බවත් අනාවරණය විය. තවද අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශය බැවින් මව් සමාගමේ නියෝජිතයන්ගෙන් සමන්විත වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව මෙහිදී පෙන්වා දුන් අතර ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන තනතුරු දෙකම එකම පුද්ගලයෙකු දැරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. සමාගමේ සභාපති තනතුර වෙනස් වුවද ස්ථිර ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් පැවතීම ආයතනයේ යහ පැවැත්ම සදහා අතවශ්‍ය බැවින් ඒ සදහා කඩිනමින් කටයුතු කිරීමේ වැදගත්කම කමිටුව අවධාරණය කරන ලදී. මෙහිදී ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ මෙම අර්බුදකාරී තත්ත්වය සමනය වූ වහාම ඒ සදහා කටයුතු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ වන විටත් තීරණයක් ගෙන ඇති බවයි. ඒ සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගෙන වාර්තා කරන ලෙස කමිටුව නිර්දේශ කළේය.

ලිට්‍රෝ සමාමේ මවු සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ලිට්‍රෝ සමාගමට මූල්‍ය සහය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. එහිදී රක්ෂණ සංස්ථාවේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ සමාගම සතු රුපියල් බිලියන 5ට ආසන්න මුදලක්  රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීම නිසා පසුගිය කාලයේ ගෑස් මිලදී ගැනීමේ හැකියාව ලැබුණු බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සමන් ප්‍රනාන්දු, රක්ෂණ සංස්ථාවේ සභාපති ලිට්‍රෝ හිටපු සභාපති විජිත හේරත්, ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් යන මහත්වරු ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට පැමිණ සිටි අතර ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති තෙසාර ජයවර්ධන මහතා  මාර්ගගත තාක්ෂණය ඔස්සේද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අළුත්ගමගේ, අනුර කුමාර දිසානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර,  ඉන්දික අනුරුද්ධ, එස්. එම්. මරික්කාර්, ජයන්ත සමරවීර, ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ මධුර විතානගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

5 3

8 7

 



සම්බන්ධිත පුවත්

2026-11-10

ළමා අයිතිවාසිකම් සුරැකීම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 06) රැස්විය. මෙහිදී ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ තාක්ෂණික හා පර්යේෂණමය ධාරිතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී නොවැම්බර් 20 වැනිදා ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත “විශේෂ ළමා පාර්ලිමේන්තු සහභාගීත්ව වැඩසටහන” පිළිබඳව අවධානය යොමු විය. දිවයින පුරා දරුවන් 1,200 කට අධික පිරිසකගේ අදහස් ලබා ගෙන සකස් කළ ළමා ප්‍රකාශනය (Children’s Statement) දරුවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ළමා අයිතිවාසිකම් සහ සුභසාධනය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ළමා සංසදයක් නැවත ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, ළමා අපයෝජන සම්බන්ධ නඩු කඩිනම් කිරීම, ඒ සඳහා පවතින නීතිමය බාධා ඉවත් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක ගෝලීය ක්‍රියාකාරී වැඩසටහන පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉහත වැඩසටහන යටතේ “This is my right” යන තේමාවෙන් දැනුවත් කිරීමේ පාගමනක් සංවිධානය කිරීමටත්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කර ඇති සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරිණි.එම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට අමතරව මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් සහභාගී කරගැනීමට අපේක්ෂා කරන බව මෙහිදී පැමිණි නියෝජිතයෝ පැවසූහ. එමෙන්ම, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ට සහාය ලබා ගත හැකි ආයතන හා සේවා පිළිබඳ තොරතුරු ඇතුළත් QR කේතයක් සහිත ඩිජිටල් සේවා නාමාවලියක් හඳුන්වාදීම සහ අදාළ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංවාදයක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.මේ අතර, මැක්ස් ප්ලෑන්ක් පදනමේ (Max Planck Foundation) නියෝජිතයන් සමඟ පැවති තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ පසු විපරම් සාකච්ඡාවේදී පාර්ලිමේන්තු පර්යේෂණ සහාය සහ දැනුම හුවමාරුව සම්බන්ධයෙන් අවධානය යොමු විය. නීති කෙටුම්පත් සකස් කිරීම, සංසන්දනාත්මක නීති අධ්‍යයනය සහ පනත් කෙටුම්පත්වල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව හා මානව හිමිකම් කෙරෙහි ඇති බලපෑම ඇගයීම වැනි ක්ෂේත්‍රවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තාක්ෂණික හා පර්යේෂණමය සහාය ලබාගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.එමෙන්ම, ළමා ආරක්ෂාව, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මුල්කරගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මහත්මීන් ඇතුළු කාරක සභා සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.


2026-11-10

රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීමට නිසි ආයතනික සැලසුම් හා ප්‍රධාන කාර්යසාධන දර්ශක සකස් කිරීමේ වැදගත්කම 'කෝප්' සභාපතිවරයා අවධාරණය කරයි

රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා නිසි ආයතනික හා ක්‍රියාකාරී සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මැනිය හැකි ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කළේය.පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ III වැනි අනු කාරක සභාව හමුවේ පළමු අධියර ලෙස සිය ආයතනික සැලසුම් ඉදිරිපත් කළ  ආයතන 41හි සංයුක්ත සහ ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳ  ප්‍රගති සමාලෝචන වැඩමුළුව පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවති අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.රාජ්‍ය ආයතනවල කාර්යභාරය, මූල්‍ය විනය සහ කාර්යක්ෂමතාව නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා නීත්‍යානුකූල බලතල හා වගකීම් හඳුනාගෙන කටයුතු කිරීම අවශ්‍ය බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, අතීත විගණන ගැටලු පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, ආයතනික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ ඒවා මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගෙන තිබේද යන්න ඇගයීමට ලක් කිරීම වැදගත් බව ද ඔහු අවධාරණය කළේය.මෙම වැඩමුළුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ උපදේශකවරුන් වන පී. රණසිංහ සහ  සී. එස්. මායාදුන්නේ යන මහත්වරුන්, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය ව්‍යවසායයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-10

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනේ

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.මෙහිදී ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (Eelam People's Revolutionary Liberation Front - EPRLF) නියෝජනය කරමින් කේ. ප්‍රේමචන්ද්‍රන්, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (Eros Democratic Front) නියෝජනය කරමින් රාමසාමි රාජේන්ද්‍රන්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Eelam People's Democratic Party - EPDP/ඊ. පී. ඩී. පී. ) නියෝජනය කරමින් ශන්මුගනාදන් සන්ජීවන් යන මහත්වරු සිය පක්ෂ වෙනුවෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්‍රමය, කාන්තා සහ තරුණ නියෝජනය ආදී කරුණු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු මෙන්ම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.


2026-11-06

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි.තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමංගා මහත්මිය විසින් සකස් කරන ලද තරුණ ව්‍යවසායකත්වය සහ කර්මාන්ත සංවර්ධනය පිළිබඳ යෝජනාව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය විසින් සකස් කරන ලද පළාත් පාලන ආයතන තුළ තරුණයන් සවිබලගැන්වීම පිළිබඳ යෝජනාව සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිකා සාමිවේල් මෙනෙවිය විසින් සකස් කරන ලද වතු හා වගා ක්ෂේත්‍රයේ තරුණයන් සඳහා වන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් විය.එමෙන්ම, බාහිර තරුණ සහභාගීත්ව වැඩසටහන සහ නියමු වැඩමුළු මාලාව සම්බන්ධයෙන් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් විසින් සකස් කරන ලද යෝජනා පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙම යෝජනා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඒවා අවසන් වශයෙන් සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.මේ අවස්ථාවට සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks