E   |   த   |  

2022-06-22

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම්, මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිලිබදව සොයාබැලීමට ‘කෝප්’ කමිටුව වෙනම විශේෂයෙන් රැස්වීමට තීරණය කරයි

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම්, මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිළිබඳව සොයාබැලීමට ඉදිරි කාලය තුළදී කෝප් කමිටුව වෙනම විශේෂයෙන් රැස්වීමට තීරණය කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹීම සිදුවිය.

මීට පෙරද පසුගිය (10) වැනිදා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා තිබූ අතර එදින කාලය ප්‍රමාණවත් නොවීම නිසා සාකච්ඡා කිරීමට නොහැකි කරුණු කිහිපයක් මෙහිදී අවධානයට යොමු විය.

විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට අයත් මිලදීගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඉදිරිපත්වන කරුණු සම්බන්ධයෙන් පරස්පරතාවක් පෙනෙන බව පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරු පෙන්වාදුන්හ. මේ නිසා ජනන සැලැස්ම ඇතුළු සියලු කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තුව සහ කථානායකවරයා දැනුවත් කරන ලෙස එම මන්ත්‍රීවරු කෝප් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. මෙහිදී කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ සොයාබැලීම සඳහා කෝප් කමිටුවට විශේෂයෙන් රැස්වීමට හැකි බවයි.

මේ නිසා වඩාත් හොදින් මේ පිළිබඳ සොයාබැලීමට හැකියාව ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණ සිටි මන්ත්‍රීවරුන්ද ඊට එකඟ වූ අතර මේ පිළිබඳව සොයාබැලීමට කෝප් කමිටුව ඉදිරියේදී විශේෂයෙන් රැස්වීමට තීරණය විය.


එසේම 2008 නොවැම්බර් 14 දින අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සහ 2009 මැයි 26 දිනැති අංක 39 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්ෂක මණ්ඩලය අනුමතිය මත කාර්ය මණ්ඩලයට වරින්වර විවිධ කාර්ය මණ්ඩල දීමනා ගෙවීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව මෙම දීමනා ලෙස  2021 වර්ෂයේ දී රුපියල් මිලියන 2,134.9 ක් සහ 2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1,544.4 ක් ලබාදී ඇති බව අනාවරණය විය. මෙහිදී කෝප් සභාපතිවරයා පෙන්වා දුනනේ මෙම සියලු මුදල් ජනතා මුදල් බැවින් වගකීම් සහිත විය යුතු බවයි. එසේම දීමනා ගෙවීම් සඳහා යොදාගෙන ඇති ඇතැම් කාණ්ඩ විහිළු සහගත බව ද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. නිදසුනක් ලෙස 'මනු කියවීමට' අමතරව 'නිවැරදිව මනු කියවීම' ලෙස දීමනාවක්ද ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වියදම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු බදු මගින් බලාපොරොත්තු වන ආදායම ඉක්මවන බවද පෙන්වා දුන්හ.

තවද වැටුප් සංශෝධනය කරන අවස්ථාවකදී 2007 දෙසැම්බර් මස අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සහ 2015 මැයි මස සාමූහික ගිවිසුමකට එළඹුණ විට උපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවා තිබූ බව ද මෙහිදී අනාවරණය විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුනනේ මේ වන විට මෙම බදු ගෙවීම නවත්වා ඇති බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙය රට පැත්තෙන් විශාල ප්‍රශ්නයක් බවයි. අවසානයේ මෙම මුදල රටේ මහජනතාවගේ මුදල් වලින් ගෙවා ඇති බව මින් පැහැදිලි වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම කෙටුම්පත් සාමූහික ගිවිසුම මත පදනම්ව 2021 වර්ෂයේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් සේවක වැටුප 25% කින් වැඩි කර තිබුණි. නමුත් අදාළ පාර්ශවයන්, සේවා යෝජකයින් සහ සේවක සංගම් විසින් මෙම කෙටුම්පතට අත්සන් නොකිරීම නිසා මෙම සාමූහික ගිවිසුම අවසන් නොකළ කෙටුම්පත් ගිවිසුමක් බැවින් මෙය නීත්‍යානුකූල ලියවිල්ලක් නොවන බව මෙහිදී අනාවරණය විය. මේ අනුව මෙම අනවසර ගෙවීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ අහිතකර බලපෑම දළ වශයෙන් රුපියල් බිලියන 9.6 ක් බවද කෝප් කමිටුව පැහැදිලි කළේය. කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙම ආයතනය රාජ්‍යට හිමි නැති ස්වරූපයක් දිස් වන බවයි.

තවද 2018 - 2034 දීර්ඝකාලීන විදුලි ජනන සැලැස්මට අනුව සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය 2022 වන විට ක්‍රියාත්මක කළ යුතුව තිබුණ ද මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂය අවසානයේ රුපියල් මිලියන 301.19 ක වියදමක් දරා තිබියදී ව්‍යාපෘතියේ කටයුතු නැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ශක්‍යතා අධ්‍යනයට මිලියන 301.19 ක වියදමක් දරා ශක්‍යතා අධ්‍යනයක් සිදුකොට සුදුසු ශක්‍යතා මට්ටමක නොපවතින බව දක්වමින් ව්‍යාපෘතිය අතරමග අවසන් කිරීම සිදු කොට ඇති බව මේ අනුව පෙනී යන බවයි. මේ නිසා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙස නිර්දේශ කළේය.

මීට අමතරව ලංකා ගල් අඟුරු සමාගම (LCC) හරහා සීමාසහිත ටොරියන් යකඩ හා වානේ සමාගම (TISCL) වෙතින් 2013 වර්ෂයේ දී මිළ දී ගත් ගල් අඟුරු තොගයක් වාරකන් බලපෑම හේතුවෙන් ගොඩබෑමට නොහැකි වීම පිළිබඳව ද,  දිගුකාලීන ජනන සැලැස්මට අනුව සැලසුම් කර ඇති වාර්ෂික නව විදුලි ජනනය විවිධ බලාගාරවලින් සහ විවිධ බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට සිදුවිය.

මෙම කාරක සභාව සඳහා ගරු අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු ඉන්දික අනුරුද්ධ, ගරු ඉරාන් වික්‍රමරත්න, (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා, (ආචාර්ය) ගරු නාලක ගොඩහේවා, ගරු ජගත් පුෂ්පකුමාර, ගරු නලීන් බණ්ඩාර, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ ගරු මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ.

 

1 2

34



සම්බන්ධිත පුවත්

2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා  වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 පාඩුවක් ද  නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-17

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රධාන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තුවේ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, කාරක සභාව අද (නොවැ. 17) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SINTEC) සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම (SLIBTEC) යන ආයතන සිය නිරීක්ෂණයට ලක් කළ අතර, අදාළ ආයතනවල 2025/2026 වසරවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2027 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සලකා බැලීම සහ ආයතන පරිශ්‍රවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණයි.කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද උක්ත නිරීක්ෂණ චාරිකාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ලසිත් භාෂණ ගමගේ සහ චතුර ගලප්පත්ති යන මහතුවරු එක්ව සිටියහ.


2026-11-17

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවී තිබෙන වැටුප් වර්ධක පරතරයන් සහ විෂමතාවයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එක් සේවාවකට පමණක් වෙන් වෙන්ව වැටුප් සංශෝධන සිදු කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ සංසන්දනාත්මකව ගැටලු මතුවන බවට මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.සේවා ව්‍යවස්ථාව සහ බඳවා ගැනීමේ වයස් සීමා සංශෝධනය, විදුහල්පති විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම්, පාසල් වර්ගීකරණය සහ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය, ගුරු සහ විදුහල්පති නිල නිවාස ප්‍රතිසංස්කරණය ඇතුළු කරුණු පිළිබඳව අනුකාරක සභාව විසින් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනා සහිත අවසාන වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks