04

E   |     |  

2022-06-21

පුවත් කාණ්ඩ : පුවත් 

පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) පමණක් රැස්වෙයි

  • විපක්ෂය විසින් හෙට ගෙන ඒමට නියමිතව තිබූ සභාව කල්තැබීමේ යෝජනාව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමට...

 

පාර්ලිමේන්තුව මෙම සතිය තුළ අද (21) සහ හෙට (22) පමණක් රැස්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී  තීරණය විය.

පාර්ලිමේන්තුව ජූනි 21 සිට 24 දක්වා රැස්වීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වුවද පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර විපක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් හෙට (22) දිනයේ විපක්ෂය විසින් ගෙන ඒමෙන් අනතුරුව විවාදයට ගැනීමට නියමිතව තිබූ රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ගෙන ඒමටත් මෙහිදී තීරණය වී ඇත.

හෙට දිනයේ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව ලබන ජූලි 4 වන සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සඳහා ද  එදින පෙ.ව 10.00 සිට ප.ව 3.30 දක්වා සම්පූර්ණ කාලය වෙන්ව ඇත.

 

1

3

4

5

 



සම්බන්ධිත පුවත්

2026-03-30

චීනයේ පැවැති 2026 බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට ගරු කථානායකවරයා සහභාගී වෙයි

කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට බෝආඕ ආසියානු සංසදයේ සභාපති ගරු බන් කී මූන් මහතා ගරු කථානායකතුමා හමුවෙයිසහයෝගීතාව සහ තිරසාර සංවර්ධනය අවධාරණය කරමින් කථානායකතුමා ප්‍රධාන සමුළුව අමතයිශ්‍රී ලංකා - චීන සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා 2026 මාර්තු 25 සිට 27 දක්වා චීන මහජන සමූහාණ්ඩුවේ හයිනාන් පළාතේ පැවැති බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට (Boao Forum for Asia Annual Conference 2026) සහභාගී වීම සඳහා නිල සංචාරයක නිරත විය.දූත පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජයලත් පෙරේරා මහතා ඇතුළත් විය.2026 මාර්තු 25 දින, ගරු කථානායකතුමා බෝආඕ සංසදයේ සභාපති බන් කී මූන් මහතා සහ සංසදයේ මහලේකම් ෂැං ජුන් මහතා හමුවිය. එම රැස්වීමේදී බන් කී මූන් මහතා, ගෝලීය අස්ථිරතාව ඉහළ යමින් පවතින මෙවන් අවස්ථාවකදී ආසියාව තුළ සංවාදය හා සහයෝගීතාව සඳහා බෝආඕ සංසදයේ වැදගත්කම අවධාරණය කළේය. වර්තමාන අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිමත් දේශපාලන නායකත්වය අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ කලාපීය භූමිකාවද ඔහු ප්‍රශංසාවට ලක් කළේය. තවද එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස සේවය කළ කාලය තුළ ශ්‍රී ලංකාවේ කළ සංචාරය සිහිපත් කරමින්, යුධ ගැටුම්වලින් පසු කාලය තුළ රට ලබාගත් ප්‍රගතිය ද  බන් කී මූන් මහතාගේ ඇගයීමට ලක් විය.ආසියානු කලාපය සහ ලෝකය මුහුණ දෙන සංකීර්ණ අභියෝගවලදී සංවාදය, සහයෝගීතාවය සහ ප්‍රතිපත්තිගරුක නායකත්වයේ වැදගත්කම ගරු කථානායකතුමා අවධාරණය කළේය. ඵලදායී සහභාගීත්වයක් සඳහා බෝආඕ සංසදයේ සහ එහි නිර්මාතෘවරුන්ගේ කාර්යභාරය ඇගයීමට ලක් කළ කථානායකවරයා, සාමය සහ බහුපාර්ශ්විකත්වය ඉදිරියට ගෙන යාමේදී ලබා දෙන ගෝලීය නායකත්වය වෙනුවෙන් ගරු බන් කී මූන් මහතාට ප්‍රශංසා කළේය. ශ්‍රී ලංකාවේ අත්දැකීම් සඳහන් කරමින්, ස්ථාවර හා සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීමේදී සංහිඳියාව, සියලු දෙනාටම අවස්ථාව ලබාදීම සහ යහපාලනයේ වටිනාකම ඔහු අවධාරණය කළ අතර, දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළේය. දේශගුණික විපර්යාස සහ මානුෂීය අභියෝගවලට මුහුණ දීම සඳහා වැඩි දියුණු කළ ගෝලීය සහයෝගීතාවයේ අවශ්‍යතාවය ද ගරු කථානායකතුමා පෙන්වාදුන් අතර, සාමකාමී සහ තිරසාර අනාගතයක් හැඩගැස්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග, අන්‍යෝන්‍ය ගෞරවය සහ වගකීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.2026 මාර්තු 26 වන දින, ගරු කථානායකතුමා "නව ප්‍රවණතා, නව අවස්ථා සහ නව සහයෝගිතා සමඟින් අනාගතය එක්ව හැඩගස්වමු" යන තේමාව යටතේ සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීය. භූ දේශපාලනික තත්ත්වයන්, ආර්ථික අවිනිශ්චිතතාව, දේශගුණික විපර්යාස සහ කෘතිම බුද්ධිය වැනි නැගී එන තාක්ෂණයන්හි වේගවත් දියුණුව ඇතුළු ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී බහුපාර්ශ්විකත්වය සහයෝගීතාවය සහ සාමූහික ක්‍රියාමාර්ගවල වැදගත්කම ඔහු සිය දේශනයේදී ඉස්මතු කළේය.සියලු දෙනා ඇතුළත් සංවාදය, තාක්ෂණයේ සදාචාරාත්මක පාලනය, වේගවත් දේශගුණික ක්‍රියාමාර්ග සහ තිරසාර සංවර්ධනය සඳහා අවශ්‍යතාවය ගරු කථානායකවරයා අවධාරණය කළේය. හවුල්කාරිත්වය, නවෝත්පාදනය සහ බෙදාගත් වගකීම තුළින් නායකත්වය දීමට ගෝලීය වර්ධනයේ මධ්‍යස්ථානයක් ලෙස ආසියාවට සැලකිය යුතු විභවයක් ඇති බව ඔහු සඳහන් කළේය.ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ පිළිබඳ සඳහන් කරමින්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය මෙන්ම ශක්තිමත් පාලනයක් ඇති කිරීම සහ  සියලු දෙනාට අවස්ථා හිමිවන ඩිජිටල් සහ ආයෝජන-හිතකාමී ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා දරන උත්සාහයන් පෙන්වා දුන්නේය. පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, ඩිජිටල් සේවා, සැපයුම් සහ උසස් නිෂ්පාදන ඇතුළු ප්‍රධාන අංශවල ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු කලාපීය හවුල්කරුවන්ට ආරාධනා කළේය.චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ගරු ෂාඕ ලෙජි මහතා ප්‍රධාන සැසිවාරයට සහභාගී වී ප්‍රධාන දේශනයක් පැවැත්වීය. සිංගප්පූරුවේ අගමැති ගරු ලෝරන්ස් වොන්ග්; අසර්බයිජාන් ජාතික සභාවේ කථානායක ගරු සහිබා ගෆරෝවා සහ කසකස්තානයේ පළමු නියෝජ්‍ය අගමැති ගරු රෝමන් ස්ක්ලියාර් යන මහත්ම මහත්මීහු ද මෙම සමුළුවට එක්ව සිටියහ.මෙම සමුළුවට සමගාමීව, චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ගරු ෂාඕ ලෙජි මහතා සමඟ ගරු කථානායකතුමා ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්විණි. කථානායකවරයා ලෙස සිය පළමු චීන නිල සංචාරය මෙය බව සඳහන් කළ කථානායකවරයා, එය දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.ශ්‍රී ලංකාව සහ චීනය අතර  සේද මාවත ඔස්සේ වෙළඳ හා සංස්කෘතික හුවමාරු හරහා වසර 2,000 කට වැඩි කාලයක් පුරා දීර්ඝ කාලීන සබඳතා පවතින බව ගරු කථානායකවරයා සිහිපත් කළේය. නිරතුරුව චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය මෙන්ම විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවෙන් පසු ලබාදුන් සහය පිළිබඳව ඔහු සිය  කෘතඥතාව මෙහිදී පළ කළේය.දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු වර්ධනයක් ඇති බව ගරු කථානායකතුමා පෙන්වාදුන් කළ අතර, චීන සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, එමඟින් චීනය ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රටවල් පහෙන් එකක් බවට පත්ව ඇති බවත් සඳහන් කළේය. චීන ජාතිකයින් සඳහා වීසා රහිත විධිවිධාන හඳුන්වාදීම මෙම ඉහළ යාමේ ප්‍රවණතාවයට ධනාත්මක ලෙස දායක වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය. චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ගරු ෂාඕ ලෙජි මහතා ප්‍රකාශ කළේ, ද්විපාර්ශ්වික හුවමාරු තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලාංකික ජාතිකයින් සඳහා ද වීසා රහිත විධිවිධාන හඳුන්වා දීම සඳහා පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි..2001 දී පිහිටුවන ලද  බෝආඕ ආසියානු සංසදය, ආසියාව පුරා සහ ඉන් ඔබ්බට රජයන්, ව්‍යාපාර සහ ශාස්ත්‍රාලිකයන් අතර සංවාද සඳහා ඉහළ මට්ටමේ වේදිකාවක් සපයන රාජ්‍ය නොවන සහ ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයකි. කලාපීය ආර්ථික සහයෝගීතාව, සියලු දෙනාට අවස්ථා හිමිවන ගෝලීයකරණය සහ බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන මෙම සංසදයේ 25 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුව ප්‍රධාන කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ  සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය  සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, කර්මාන්ත විශේෂඥයින් සහ විද්වතුන් එක්රැස් කරන ප්‍රමුඛ වේදිකාවක් ලෙස පිළිගැනේ.


2026-03-24

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ගරු කථානායකතුමා හමු වෙයි - ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා 2026.03.20 වන දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් ගරු කථානායකතුමා, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව දීර්ඝකාලීනව ලබා දී ඇති සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව පළ කළේය. විශේෂයෙන්ම, මෑතකදී ඇති වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ විපතින් අනතුරුව ඕස්ට්‍රේලියාව විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3.5ක් වටිනා මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමා විශේෂ කෘතඥතාව පළ කළේය.ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම ආපදා ප්‍රතිචාර යාන්ත්‍රණය සහ මෙරටට සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩ සහතිකය තහවුරු කරමින්, සුළි කුණාටුව අතරතුර කිසිදු සංචාරකයෙකුට හානියක් සිදු නොවූ බව ගරු කථානායකතුමා අවධාරණය කළේය.රජයේ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා තරුණයින් සඳහා වෘත්තීය පුහුණු අවස්ථා ශක්තිමත් කිරීම සඳහා ගන්නා පියවර පිළිබඳව ද ගරු කථානායකතුමා මෙහිදී  අවධානය යොමු කළේය. ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස ඕස්ට්‍රේලියාවේ වැදගත්කම සඳහන් කරමින්, අදාළ පාර්ශ්වකරුවන් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ටද ගරු කථානායකවරයා ආරාධනයක් කළ අතර, ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව සාමකාමී සහ හිතකර ගමනාන්තයක් බව අවධාරණය කළේය. ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය. විධිමත් තනි කවුළු පහසුකම් යාන්ත්‍රණයක් (single-window) හඳුන්වා දීම මෙන්ම අල්ලස හා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ගෙන ඇති පියවර ඔහු පෙන්වා දුන්නේය. තවද, ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මඟින් පාර්ලිමේන්තු සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද ඔහු සඳහන් කළ අතර, ජාත්‍යන්තර අවස්ථාවලදී ඕස්ට්‍රේලියාව විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳවද කෘතඥතාව පළ කළේය.මෙහිදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පුළුල් පරාසයක ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ කැපවීම නැවත තහවුරු කළේය. මෑතකදී ඇති වූ 'දිට්වා' සුළි කුණාටුව ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, විශේෂයෙන් සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව, ශ්‍රී ලංකා රජය හා ජනතාවට ඔහු ප්‍රශංසා කළේය.තවද, දැනට ශ්‍රී ලාංකික සිසුන් 20,000ක් පමණ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බව සඳහන් කළ ඒ මහතා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ අපේක්ෂාව ද ප්‍රකාශ කළේය.සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මෙම වසර තුළ තවත් ඕස්ට්‍රේලියානු සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකා වෙළඳපොළේ පරිප්පු ඇතුළු ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික නිෂ්පාදන පවතින බව ඔහු තවදුරටත් පෙන්වාදුන් අතර, විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයේ ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කළේය.ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින කල් පවත්නා සහ මිත්‍රශීලී සබඳතා පිළිබිඹු කරමින්, විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ අන්‍යෝන්‍ය කැපවීම දෙපාර්ශ්වය විසින් මෙහිදී නැවත තහවුරු කරන ලදී.


2026-03-23

මීළග පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ

අප්‍රේල් 7, 9 සහ 10  පාර්ලිමේන්තුව රැස්වෙයි පාර්ලිමේන්තුව අප්‍රේල් 7, 9 සහ 10 දිනවල රැස්වීමට නියමිත ය.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.03.19 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වන මෙම දින ත්‍රිත්වයේම පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.  ඒ අනුව 2026 අප්‍රේල් 7 වැනි අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 4.45 දක්වා ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය  ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සහ  ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතය. තවද, 2026.03.17 දින  පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ  සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ද්විත්වය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් නොවුණහොත් මෙදින දෙවනවර කියවීමට තීරණය වී ඇත.අනතුරුව ප.ව. 4.45 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ. එසේම ප.ව. 5.30 ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව ඇත.අප්‍රේල් 8 වැනි බදාදා රජයේ නිවාඩු දිනයක් බැවින්  එදින පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ.2026 අප්‍රේල් 9 වැනි බ්‍රහස්පතින්දා  පෙ.ව. 11.30 සිට ප.ව. 2.00 දක්වා (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනත යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනත යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනත යටතේ නියෝග විවාදයට ගැනේ. තවද  මහජන ආරක්ෂක ආඥා පනත යටතේ සහ  අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගරු ජනාධිපතුමා විසින් ප්‍රකාශන පළ කරනු ලැබුවහොත්  ඊට අදාළ වූ යෝජනා සම්මත ද්විත්වය ද මෙදින විවාදයට ගැනීමට තීරණය වී ඇත.      ඉන්පසු ප.ව. 2.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2019 අප්‍රේල් 21 දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය  පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත. 2026 අප්‍රේල් 10 වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ගරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය කර තිබේ. 


2026-03-20

ක්ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයා අද (මාර්තු 20) සිය සහතිකය සටහන් කළේය.  ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත මගින් ශ්‍රී ලංකාව තුළ මුදල් ණයට දීමේ හා ක්ෂුද්‍රමුල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා වන ශක්තිමත් නෛතික රාමුවක් හඳුන්වා දීම සඳහා නව නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සළසනු ලැබේ. මෙම අධිකාරියේ අරමුණ වන්නේ බලපත්‍රලාභී මුදල් ණයට දෙන්නන් සහ බලපත්‍රලාභී ක්ෂුද්‍රමුල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය කිරීම , එම ආයතන හා සම්බන්ධ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සහ මහ බැංකුව සහ අනෙකුත් නියාමන අධිකාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීමයි. එමෙන්ම මෙම පනත් කෙටුම්පත තුළින් 2016 අංක 6 දරන ක්ෂුද්‍රමුල්‍ය පනත පරිච්චින්න කිරීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම ද සිදුවේ.ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2025 නොවැම්බර් මස 26 වන දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026 මාර්තු 4 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.  ඒ අනුව ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2026 අංක 9 දරන ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත ලෙස අද (20) සිට බලාත්මක වේ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks