බලන්න

E   |     |  

2022-05-20

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ලබන සතියේ මුදල් කාරක සභාව හමුවට

  • ආනයන හා අපනයන පාලන රෙගුලාසි සදහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය

 

වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට  ලබන සතියේ කැඳවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන්  ඊයේ (19) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.

තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් 2022 අංක 6 දරන ආනයන හා අපනයන පාලන රෙගුලාසි සදහා ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය අද හිමිවිය.

ආනයන පාලන බලපත්‍රවලට යටත් කරන ලද භාණ්ඩ ආනයනය සදහා වැයවන මුදල් දේශීය කර්මාන්ත සහ අපනයනවලට බාධා නොවන ලෙස ඉතිරි කර ගැනීම මෙම ගැසට් පත්‍රය හරහා සිදුවනු ඇත.

මේ අනුව තෝරා ගන්නා ලද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අතුරින් භාණ්ඩ 369ක් ආනයනය කිරීම සදහා ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතා පැනවීමේ යෝජනාව බලාත්මක කිරීම පිණිස රෙගුලාසි පනවා 2022.04.09 දිනැති අංක 2274/42 දරන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරන ලදී. 2022 අප්‍රේල් 10 වැනි දින හෝ ඊට පසු දිනකදී නැව් හෝ ගුවන්ගතකළ භාණ්ඩ ආනයනයේදී මෙම රෙගුලාසි අදාළ වේ.

අත් ඔරලෝසු හා ඔරලෝසු, විදුලි සංදේශ උපකරණ සහ කොටස්, කිරි නිෂ්පාදන, මද්‍යසාර, රූපලාවන්‍ය නිෂ්පාදන, ඉටිපන්දම්, ලාම්පු සහ ආලෝක උපාංග, පළතුරු, රබර් නිෂ්පාදන (ටයර් සහ මකන) , විදුලි උපකරණ සහ ඉලෙක්ට්‍රොනික අයිතම යන කාණ්ඩවලට අයත් භාණ්ඩ ආනයනය සදහා සාපේක්ෂව වැඩි පිරිවැයක් දරා ඇති බවත් එය මුළු ආනයන පිරිවැයෙන් 84%ක ප්‍රමාණයක් බවත් මෙහිදී අනාවරණය විය. මේ අනුව මෙම භාණ්ඩ ආනයනය සදහා පසුගිය වසර 3ක කාලය තුළ සාපේක්ෂව වැය කරන ලද  ඇ.ඩො. මිලියන 512 ක පමණ ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කර්මාන්ත සහ අපනයනවලට බාධා නොවන පරිදි ඉතිරිකර ගැනීම මේ හරහා අපේක්ෂා කෙරේ.  

අමාත්‍ය ගරු කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු  ඉන්දික අනුරුද්ධ, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ගරු මුජිබර් රහුමාන්, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු නලින් ප්‍රනාන්දු, ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර සහ (ආචාර්ය) සුරේන් රාඝවන් යන මහත්වරු ද ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4

6

 



සම්බන්ධිත පුවත්

2026-09-23

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

සැප්තැම්බර් 24 සහ 25 දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට  නියමිත “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පත්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්. 22) එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි. නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කාරක සභාවට සහභාගී වූහ. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් 2026.09.22 දින පාර්ලිමේන්තුවට නිවේදනය කළ  පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳව ද නිතිපතිවරයා කාරක සභාවට පැහැදිළි කිරීමක් සිදු කළේය. එසේම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් කාරක සභා මන්ත්‍රීවරු සිය අදහස් පළ කළහ. යෝජිත සංශෝධන මගින් අධිකරණ ධාරිතාව පුළුල් කිරීම, අභියාචනා යුක්තිය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම, විභාග වෙමින් පවතින නඩු වේගවත්ව අවසන් කිරීම, විනිසුරුවරුන්ගේ අත්දැකීම් රඳවා ගැනීම සහ විනිසුරුවරුන් පත් කිරීමේ ආයතනික ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන තිබේ.ඒ අනුව, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.තවද, පළාත්බද මහාධිකරණ මට්ටමේ අධිකරණ ධාරිතාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. පළාත්බද මහාධිකරණ විසින් බරපතළ අපරාධ සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබන අතර, 2006 වසරේ සිදු කරන ලද සංශෝධනවලින් අනතුරුව පළාත්බද සිවිල් මහාධිකරණ මඟින් අභියාචනා අධිකරණ බලය ද ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නඩු ගොඩ ගැසීම සහ ඒවා අවසන් කිරීමේදී සිදු වන ප්‍රමාදයන් හේතුවෙන් අතිරේක අධිකරණ සහ විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය මතු වී ඇත. ඒ අනුව; අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීම මඟින් පළපුරුදු අධිකරණ නිලධාරින්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම ද මෙම සංශෝධන මගින් අපේක්ෂා කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යා‍මේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර සහ චන්දන සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ද මීට අමතරව කාරක සභික නොවන මන්ත්‍රීවරුන් වන නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, නීතීඥ යූ.පී. අබේවික්‍රම හා ගයාන් ජනක යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-09-23

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීම පහසු කිරීමට පියවර ගැනීම පිළිබඳව විශේෂ කමිටුවේ අවධානය

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කරන ලද, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පිහිටුවන ලද විශේෂ කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගියදා පළමු වරට රැස්විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සුගත් වසන්ත ද සිල්වා, දිනේෂ් හේමන්ත සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මෙන්ම ඔවුන්ගේ ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන සකස් කර භාවිත කිරීමේදී මුහුණ පාන ප්‍රායෝගික හා නෛතික ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (NTMI) මගින් සිදු කරන වෛද්‍ය පරීක්ෂණ, ආබාධිත තත්ත්වය අනුව ලබා දෙන වෛද්‍ය නිර්දේශ සහ ඒ අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්, වෛද්‍ය පරීක්ෂණ දිස්ත්‍රික් මට්ටමින් ලබා දීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා පෙනීමේ පරාසය ඇතුළු වෛද්‍ය නිර්ණායක සලකා බලමින් රියදුරු බලපත්‍ර ලබා දෙන වාහන  වර්ග පුළුල් කිරීම,වාහනවලට  ගැළපෙන ආරක්ෂිත උපකරණ සවි කිරීම සහ ඉදිරි ගැසට් සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කෙරිණි..ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා දීමේදී පවතින නීතිමය තත්ත්වය, විශේෂ සලකුණු භාවිතය සහ සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහාය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන නවීකරණය කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු විය.එක් පුද්ගලයෙකුට වාහන කිහිපයක් සඳහා බලපත්‍ර ලබා දීම, වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේදය සරල කිරීම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර මාර්ගගත පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද  යෝජනා ඉදිරිපත් විය.ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා අවශ්‍ය ගැසට් සංශෝධන, ප්‍රාදේශීය මට්ටමින් සේවා පුළුල් කිරීම සහ අදාළ ආයතන දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමේ වැදගත්කම ද අවධාරණය විය.මෙම රැස්වීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරීහු  ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-09-23

අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පැවති  පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමැතිය ලබා දීම සිදු විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සභාපතීත්වය දරන එම කාරක සභාව එදින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා වන මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කොට තිබේ.අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ තව තනතුරු ඇති කිරීම හා පැවැති තනතුරු උත්ශ්‍රේණිගත කිරීමේදී " අධ්‍යක්ෂවරයා" යන තනතුරු නාමය "අධ්‍යක්ෂ ජනරාල්වරයා" ලෙස පදවි නාම ගත වුව ද, 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනතේ පවතින ප්‍රතිපාදන ඊට අදාළව සංශෝධනය වී නොතිබිණි. තවද, ඊට අනුශාංශිකව, සංශෝධනය විය යුතු අනෙකුත් පදවි නාම ද සංශෝධනය වී නොතිබූ අතර මෙම පනත් කෙටුම්පත මගින් එම සංශෝධන හඳුන්වා දී ඇත. එමෙන්ම, උක්ත පනතේ සඳහන් " නිවේදිත කෘෂිකාර්මික භෝග '' ලෙස නම් කර ඇති අපනයන කෘෂි භෝගවල අර්ථ විවරණයන් වර්තමානයේ පවතින නිෂ්පාදන හා වෙළඳ පොළ තත්ත්වයන් සලකා බැලීමේ දී ප්‍රායෝගික නොගැළපීම් පෙන්නුම් කරන බැවින් වර්තමානයේ හා අනාගත අපනයන කෘෂි කර්මාන්තයට උචිත වන පරිදි අදාළ අර්ථ ගැන්වීම, නිර්වචනය කර සංශෝධනය කර ගැනීමේ අවශ්‍යතාවය මතු වී තිබේ.ඒ අනුව, පනතේ 19 වන වගන්තියේ " අපනයන කෘෂිකර්ම භෝගය " යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට ආහාර භෝග ඛාණ්ඩයට අයත් වන වී, එළවළු, පලතුරු, අල බෝග සහ අතිරේක ආහාර භෝග හැර දේශීය පරිභෝජනයට අමතරව අපනයනය කිරීමේ හැකියාවක් ඇති භෝගයක් වශයෙන් හඳුනාගත් සහ මේ පනතේ 2 වන වගන්තිය යටතේ “නිවේදිත කෘෂිකාර්මික භෝගයක්" ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද යම් භෝගයක් අදහස් වන බව පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත. එසේම වැවිලි භෝගයක් ලෙස හඳුනාගත් යම් භෝගයක් මෙයට ඇතුළත් නොවිය යුතු බවත් එහි වැඩිදුරටත් සදහන් වේ. තවද මෙරට ගම්මිරිස් ඇතුළු භෝග අපනයනය පිළිබඳව ද කාරක සභාව විසින් කරුණු විමසන ලදී. ඒ අනුව 2025 වසරේදී මෙරට ගම්මිරිස් මෙට්‍රික් ටොන් 12910 ක් අපනයනය කර ඇති බවත්, ලංකාවේ විශාලම ගැනුම්කරු ඉන්දියාව බවත් මෙහිදී අනාවරණය විය. කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.  


2026-09-23

විදුහල්පති සේවයේ වැටුප් විෂමතා විසඳීමට අනුකාරක සභාවක්

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇති වන වැටුප් විෂමතා සහ ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කළේය.අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි. 2014 ඔක්තෝබර් 22 දින නිකුත් කළ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම හේතුවෙන් ඇති වී තිබෙන වැටුප් විෂමතාව පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේය.ගුරු සේවයේ 1 වන ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින විශාල වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව මෙහිදී නිලධාරීහු පැවසුහ. එසේම 03/2014 චක්‍රලේඛය මගින් විදුහල්පති සේවයට පත් වන අවස්ථාවේ ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ රැඳී සිටියා නම් හිමිවන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් නැවතත් වැටුප් පරතරයක් ඇතිවන බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.මේ හේතුවෙන් ගුරු සේවයේ 1 වන සහ 2-I ශ්‍රේණිවල සිටින ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් පවතින බවද සාකච්ඡා විය. එබැවින් ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම “නව පත්වීමක්” වෙනුවට “උසස්වීමක්” ලෙස සැලකෙන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව අවධානය යොමු විය.ගුරු සේවයේ උසස්වීම් ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, විශ්වවිද්‍යාලයකින් පත්වීමක් ලබා පැමිණෙන නව ගුරුවරයෙකුට ගුරු සේවයේ 1 වන ශ්‍රේණිය දක්වා පැමිණීමට වසර 19ක පමණ සේවා කාලයක් ගතවන බව කමිටුව විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම අධ්‍යාපනවේදී (B.Ed) උපාධිධාරීන් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට සෘජුව බඳවා ගැනීම පිළිබඳවද අවධානය යොමු විය.මේ අතර, 2030 වසර දක්වා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට පෙර පැවැති ක්‍රමවේදයට අනුව ගුරු පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ වාචිකව එකඟතාවකට පැමිණ ඇති බව ද මෙහිදී අනාවරණය විය. ඒ අනුව, මෙම වසර තුළ B.Ed උපාධිධාරීන් ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් විය.මෙම බඳවා ගැනීම් දැනට පැවැත්වෙන 23,000ක ගුරු බඳවා ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් නොකර, පළාත් මට්ටමින් පවතින විෂයානුබද්ධ පුරප්පාඩු පදනම් කර ගනිමින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද සාකච්ඡා විය.පාසල් පද්ධතියේ පවතින සැබෑ විෂය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි B.Ed උපාධි පාඨමාලා යාවත්කාලීන කිරීම සඳහා විශ්වවිද්‍යාලවලට 2030 දක්වා කාලය ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන් විද්‍යාව, ගණිතය සහ ප්‍රාථමික අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර සඳහා විශේෂිත B.Ed පාඨමාලා හඳුන්වාදීමේ අවශ්‍යතාව ද මෙහිදී කමිටුව විසින් පෙන්වා දෙන ලදී.මේ අතර, දකුණු පළාතේ රසායනාගාර සේවකයින් සහ මුරකරුවන් 261 දෙනෙකු සඳහා වැඩිපුර ගෙවා තිබූ වැටුප් අයකර ගැනීමේ ගැටලුව පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වූ අතර 2008-2009 වර්ෂවලදී අදාළ වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවර වෙනුවට 12 වන වැටුප් පියවරේ පිහිටුවීම හේතුවෙන් රුපියල් මිලියන 50.8ක පමණ වැඩිපුර වැටුප් ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය.2016 වසරේදී මෙම කරුණ අනාවරණය වී ඇති අතර, 2022 වසරේදී ඒ පිළිබඳ  විගණන විමසුමක් මගින් විමසා ඇති බවත්, මේ වන විට වැටුප් වර්ධක අත්හිටුවීම සහ වැටුපෙන් අයකර ගැනීම මගින් රුපියල් මිලියන 15.1ක මුදලක් අයකරගෙන ඇති බවත් සඳහන් විය.මෙම පරිපාලනමය දෝෂයට සේවකයින් සෘජුව වගකිව යුතු නොවන බවත්, ඔවුන් වෙත නිකුත් කළ පත්වීම් ලිපිවල නිශ්චිත වැටුප් තලයක් සඳහන් කර තිබූ බවත් මෙහිදී පැමිණි පිරිස විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව, සේවකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ සාධනීය මැදිහත්වීම ලබාගැනීම සඳහා ඔහුගේ අවධානයට ලිපියක් යොමු කිරීමටද කාරක සභාව තීරණය කළේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks