පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ල වෙත ස්ථාපිත කොට අද දිනට (29) වසර 40 ක් සපිරෙයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු විය. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා විය. ඒ අනුව 1979 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ විය.
එවකට ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවන ලදී. මේ අනුව ජෙෆ්රි බාවා මහතා ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරාගන්නා ලද අතර ජපන් සමාගමකට මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු පවරා තිබුණි. මෙහිදී ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කරගෙන නිර්මාණයකොට ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතු සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබේ.
මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 වර්ෂයේදී අවසන් වූ අතර 1982 අප්‍රේල් 29 වැනි දින ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. මේ අනුව එතෙක් ගාලු මුවදොර පිහිටි මෙරට ව්‍යවස්ථාදායකය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදිකළ අභිනව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගෙන ඒම සිදු විය.
විශේෂයෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘතකිරීමත් සමග ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත්වීමද සිදු විය.
නා ගස් පෙළකින් සමන්විත පිවිසුම් මාර්ගය පසුකරමින් වර්තමාන පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසිය යුතුය. මෙහිදී පාර්ලිමේන්තුව මහජනයා වෙත සමීප කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැරණි ගෘහනිර්මාණ ශිල්පක්‍රම අනුව ඉදිකර ඇති “අම්බලම” යන සංකල්පය මුල්කොටගත් ස්ථාන කිහිපයක් දැකිය හැකිය. මෙම ස්ථාන දේශපාලඥයන් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රදේශයන්හි ජනතාව එක් රැස්වී සුහදව සාකච්ඡා කිරීමේ අරමුණින් ඉදිකරන ලද බව පැවසේ. එසේම පාර්ලිමේන්තු පිවිසුමේදී ජලය පිරි පොකුණ දැකගත හැකිය.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල ආචාර්ය මංජු ශ්‍රී චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට බිතු සිතුවම් කිහිපයක් දැකිය හැකිය. සභා ගර්භයෙහි ප්‍රධාන ද්වාරය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇති අතර එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කොට තිබේ.
පාර්ලිමේන්තුවේ සභා ගර්භය හැඩයෙන් සෘජුකෝණාශ්‍රාකාර වන අතර එය මහල් දෙකක් පුරා විසිරී පවතී. එසේම රජවරුන්ට, පන්සල්වලට සහ කෝරළ වලට අයත් කොඩි 18ක් සභා ගර්භයේ ඉහළ කොටසේ දැකිය හැකිය. තවද සභා ගර්භයේ මධ්‍යයේ එල්ලා ඇති රිදී ආලේපිත පොකුරු පහන සභා ගර්භයට ගාම්භීර බවක් එක් කරයි.
2026-10-01
විභාග සමත්වීමට පමණක් සීමා නොවී පාසලේදී ලබා ගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ හැකියාව මෙන්ම සමාජීය හා ආවේගාත්මක කුසලතා සහිත දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණක් බව අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පැවසුවාය.අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (සැප්. 29) පැවැත්විණි.මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, වත්මන් අධ්‍යාපන පද්ධතිය මගින් විභාග සමත් වීමට හැකියාව ඇති දරුවන් බිහි කළද, එම දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කළාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් පාසලේදී ලබා ගන්නා දැනුම සැබෑ ජීවිතයේදී භාවිත කිරීමේ හැකියාව, සමාජීය හා ආවේගාත්මක කුසලතා මෙන්ම අනාගත වෘත්තීය අවස්ථා පිළිබඳ අවබෝධය ද වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.පාසල් අතර පවතින සම්පත් විෂමතාව අවම කරමින් සියලු පාසල් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සාධාරණව ලබා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය. එමෙන්ම, පාසල දරුවන්ට ආරක්ෂිත, ආකර්ෂණීය සහ සතුටින් රැඳී සිටිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් පාසල් ක්‍රීඩා පහසුකම්, ක්‍රීඩා උපකරණ සහ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.මෙහිදී තරුණ පරපුර අමතමින්, අග්‍රාමාත්‍යතුමිය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සක්‍රීය පුරවැසි සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. දේශපාලනය යනු පක්ෂ දේශපාලනයට පමණක් සීමා වූවක් නොවන බවත්, සමාජය තුළ සක්‍රීය පුරවැසියන් ලෙස මැදිහත්වීම ද එහි වැදගත් කොටසක් බවත් ඇය පැවසුවාය.මේ අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව සිසුන් දැනුවත් කළේය.තරුණ පරපුර අමතමින්, නියෝජ්‍ය කථානායකවරයා බහුවිධ භාෂා දැනුමේ වැදගත්කම මෙන්ම විනය සහ නීතියට ගරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. රටේ අනාගතය හැඩගැස්වීමේදී දේශපාලන හා තීරණ ගැනීමේ ක්‍රියාවලියට තරුණ පරපුර සක්‍රීයව දායක විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.ඕනෑම වෘත්තියක් ගෞරවයෙන් හා කැපවීමෙන් ඉටු කිරීමේ වැදගත්කමත්, අන් අයගේ වෘත්තීන් අගය කරමින් ඒවායින් ඉගෙනීමේ අවශ්‍යතාවත් නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සමාජය තුළ සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා මානසිකත්වයේ පරිවර්තනයක් අවශ්‍ය බවත්, විනයගරුක හා ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීම සියලු දෙනාගේම වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සහ ශිෂ්‍ය මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුන් විසින් තම අමාත්‍යාංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කරන ලදී.මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් වෙත අග්‍රාමාත්‍යතුමිය ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ , බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ජී. ප්‍රදීප් පුෂ්පකුමාර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උදෙන හෙට්ටිආරච්චි, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන) රංජිත් ප්‍රේමතිලක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) හසිනි විජය වික්‍රම, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් පාලන) චාමලී එදිරිසිංහ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සමාජ විද්‍යා) ඒ.කේ.එස්.කේ රුපදේව, කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව බාර ආචාර්ය කේ.ඩබ්ලිව් ක්‍රිෂාන් චිනතක සහ නදීශා නිර්මලී යන මහත්ම මහත්මීන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-30
අයවැය පළමුවර කියවීම ඔක්තෝබර් 07 අයවැය කථාව නොවැම්බර් 122027 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2026 නොවැම්බර් 12 වැනිදා සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා විවාදය පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 25) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමතිය හිමි වී තිබේ. මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් 2026 නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව) සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින 07ක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත. ඒ අනුව නොවැම්බර් 20 ප.ව. 6.00ට දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.අනතුරුව නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 14 ප.ව. 6.00 ට අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී තීරණය කර තිබේ.මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර, සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම පාර්ලිමේන්තුව මෙම සෑම දිනකම පෙ.ව. 9.30ට රැස්වීමට නියමිතය.මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. ඉන්පසු, පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සහ පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කිරීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත. ඒ අනුව, විවාදය පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දෙදින හැර අන් සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා රජයට සහ විපක්ෂයට 50:50 අනුපාතය මත පදනම්ව සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය විය.තවද, දෙවනවර කියවීමේ විවාද කාල සීමාව තුළ ආණ්ඩු පක්ෂයට 60% ක් සහ විපක්ෂයට 40% ක් ලෙස ද, කාරක සභා අවස්ථාවේ විවාද කාල සීමාව තුළ ආණ්ඩු පක්ෂයට 40% ක් සහ විපක්ෂයට 60% ක් වන ලෙස ද කාලය වෙන් කිරීමට මෙහිදී අනුමතිය හිමි වී ඇත. එසේම අමාත්‍යාංශයක වැය ශීර්ෂ සම්බන්ධ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය අදාළ දිනය අවසානයේ දී ප.ව. 6.00ට පැවැත්වීමටත් නියමිතව ඇත.
2026-09-25
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයිවිසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 25) සිය සහතිකය සටහන් කළේය.විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද පැවැත්වුණු අතර, එහිදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් සංශෝධනය කර ඇත.එමෙන්ම අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වේ.මේ අතර අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය.පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද පැවැත්වුණු අතර, එහිදී පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් පනත් කෙටුම්පත අද සම්මත කෙරිණි.මෙම පනත සංශෝධනය මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට සංශෝධනය කර ඇත. අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කරමින් අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
2026-09-25
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද වැඩි ජන්දයෙන් සම්මතයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අද (සැප්. 25) විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 7.13 ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 158 ක්ද, විපක්ෂව ඡන්ද 63 ක්ද හිමි විය. ඒ අනුව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.අනතුරුව, කාරක සභා අවස්ථාවේදී දෙවන වගන්තියට ගෙන එන ලද සංශෝධන ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. එම සංශෝධනවලට පක්ෂව ඡන්ද 158 ක් ද, විපක්ෂව ඡන්ද 63 ක් ද හිමි විය.පනත් කෙටුම්පත තෙවන වර කියවීමේදී පක්ෂව ඡන්ද 158ක් ද, විපක්ෂව ඡන්ද 63ක් ද ලැබුණු අතර, ඒ අනුව පනත් කෙටුම්පත තෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.එමෙන්ම,අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේ අද වැඩි ජන්දයෙන් සම්මත කෙරිණි. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 7.53 ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 158ක්ද, විපක්ෂව ඡන්ද 63 ක්ද හිමි විය. එම පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 158 ක්ද විපක්ෂව ඡන්ද 62 ක්ද, හිමි විය. ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවන වර කියවීම වැඩි ඡන්ද 96 කින් පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මත විය.විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙක අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2026 අගෝස්තු 18 වැනි දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද (25) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

