01

E   |   த   |  

2022-04-29

පුවත් කාණ්ඩ : පුවත් 

දියවන්නා පාර්ලිමේන්තු සංකීර්ණයට අවුරුදු 40 සපිරෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ල වෙත ස්ථාපිත කොට අද දිනට (29) වසර 40 ක් සපිරෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු විය. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා විය. ඒ අනුව 1979 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ විය.

එවකට ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවන ලදී. මේ අනුව ජෙෆ්රි බාවා මහතා ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරාගන්නා ලද අතර ජපන් සමාගමකට මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු පවරා තිබුණි. මෙහිදී ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කරගෙන නිර්මාණයකොට ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතු සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබේ.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 වර්ෂයේදී අවසන් වූ අතර 1982 අප්‍රේල් 29 වැනි දින ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. මේ අනුව එතෙක් ගාලු මුවදොර පිහිටි මෙරට ව්‍යවස්ථාදායකය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදිකළ අභිනව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගෙන ඒම සිදු විය.

විශේෂයෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘතකිරීමත් සමග ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත්වීමද සිදු විය.

නා ගස් පෙළකින් සමන්විත පිවිසුම් මාර්ගය පසුකරමින් වර්තමාන පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසිය යුතුය. මෙහිදී පාර්ලිමේන්තුව  මහජනයා වෙත සමීප කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැරණි ගෘහනිර්මාණ ශිල්පක්‍රම අනුව ඉදිකර ඇති “අම්බලම” යන සංකල්පය මුල්කොටගත් ස්ථාන කිහිපයක් දැකිය හැකිය. මෙම ස්ථාන දේශපාලඥයන් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රදේශයන්හි ජනතාව එක් රැස්වී සුහදව සාකච්ඡා කිරීමේ අරමුණින් ඉදිකරන ලද බව පැවසේ. එසේම පාර්ලිමේන්තු පිවිසුමේදී ජලය පිරි පොකුණ දැකගත හැකිය.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල ආචාර්ය මංජු ශ්‍රී චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට බිතු සිතුවම් කිහිපයක් දැකිය හැකිය. සභා ගර්භයෙහි ප්‍රධාන ද්වාරය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇති අතර එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කොට තිබේ.

පාර්ලිමේන්තුවේ සභා ගර්භය හැඩයෙන් සෘජුකෝණාශ්‍රාකාර වන අතර එය මහල් දෙකක් පුරා විසිරී පවතී. එසේම රජවරුන්ට, පන්සල්වලට සහ කෝරළ වලට අයත් කොඩි 18ක් සභා ගර්භයේ  ඉහළ කොටසේ දැකිය හැකිය. තවද සභා ගර්භයේ මධ්‍යයේ එල්ලා ඇති රිදී ආලේපිත පොකුරු පහන සභා ගර්භයට ගාම්භීර බවක් එක් කරයි.

 

1 2



සම්බන්ධිත පුවත්

2026-10-21

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.10.21

2026 ඔක්තෝබර් 20 දිනැති තම නිවේදනයේ සඳහන් පෙත්සම් තිහට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තුනක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.එමෙන්ම, 2026 ඔක්තෝබර් 07, 08 සහ 20 දිනැති නිවේදනවල සඳහන් පෙත්සම් විසි පහට අමතරව,  “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් එකොළහක පිටපත් සහ “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.


2026-10-20

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර 12 වැනි අන්තර් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා බෙල්ජියමේ සංචාරයක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා සහ ආර්ථික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මේ මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සංචාරයක නිරත වූහ. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර 12 වැනි අන්තර් පාර්ලිමේන්තු රැස්වීමට (IPM) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සහ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීම මෙම සංචාරයේ අරමුණ විය.යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායමේ සභාපති Șerban-Dimitrie Sturdza මහතා සහ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ සම සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීම ඔක්තෝබර් 15 වැනිදා බ්‍රසල්ස් නුවරදී සාර්ථකව අවසන් විය.ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ යුරෝපා සංගමය සඳහා ශ්‍රී ලංකා තානාපති චන්දන වීරසේන මහතා සහ බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව පැවති පළමු යුරෝපා සංගමය - ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු රැස්වීම මෙය වීම විශේෂත්වයකි. මෙම රැස්වීම දෙපාර්ශ්වය අතර පාර්ලිමේන්තු සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් වූ අතර, අඛණ්ඩ සංවාදය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම කැපවීම එහිදී යළි තහවුරු කෙරිණි.මෙහිදී යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන හා ආර්ථික සබඳතා, ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම යුක්රේනයේ සහ මැදපෙරදිග තත්ත්වය, ඉන්දු–පැසිෆික් කලාපයේ වර්ධනයන්, සමුද්‍රීය සහයෝගීතාව, වෙළෙඳාම, ආයෝජන, තිරසර සංවර්ධනය, සම්බන්ධතා වර්ධනය සහ දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.සංගමයේ සම සභාපති Șerban-Dimitrie Sturdza මහතා සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රී ලංකාව විවිධ අභියෝග හමුවේ පෙන්නුම් කර ඇති ඔරොත්තු දීමේ හැකියාව අගය කළහ. දිත්වා සුළි කුණාටුවේ බලපෑම සහ මැදපෙරදිග නොසන්සුන් තත්ත්වය හේතුවෙන් ඇති වූ බලශක්ති අර්බුදය ඇතුළු අභියෝග මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ධනාත්මක ආර්ථික වර්ධනය පිළිබඳව ද ඔවුහු ප්‍රශංසාව පළ කළහ.දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය ලබා දුන් මූල්‍ය හා මානුෂීය ආධාර පිළිබඳව ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා සිය ස්තුතිය පළ කළේය. හදිසි සහනාධාර සැපයීම, ආපදා තත්ත්වය තක්සේරු කිරීමට සහාය වීම සහ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ලබා දුන් සහාය ද ඒ මහතා අගය කළේය.එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව කටයුතු කිරීමේදී සහ පැරිස් සමාජය (Paris Club) සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී යුරෝපා සංගමය ලබා දුන් සහාය ද කථානායකවරයා සිහිපත් කළේය. පවතින භූ දේශපාලනික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමතර සහාය ලබා දෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.1995 වසරේදී අත්සන් කරන ලද යුරෝපා සංගමය–ශ්‍රී ලංකා සහයෝගීතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වයේ සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව පෙන්වා දුන් කථානායකවරයා, එම සබඳතා තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන යාමට කාලය එළඹ ඇති බව අවධාරණය කළේය.ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවකු ලෙස යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව දෙපාර්ශ්වයම පිළිගත්හ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළක් සහ සංවර්ධන හවුල්කරුවකු ලෙස යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර අඛණ්ඩ සම්බන්ධතාව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම සංචාරය අතරතුර යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායම විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති Younous Omarjee මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා, නිතිපතා සාකච්ඡා පැවැත්වීමේ ක්‍රමවේද සහ ඉදිරියේදී සහයෝගීතාව වර්ධනය කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායම විසින් කථානායකවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට යුරෝපා පාර්ලිමේන්තුවේ සංචාරයක් ද සංවිධානය කරන ලදී. එහිදී පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව සැලසිණි.කථානායකවරයා බෙල්ජියම් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ද සංචාරය කළ අතර, එහි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභාපති Peter De Roover මහතා සහ එම මණ්ඩලයේ මන්ත්‍රීවරුන් හමු විය.2024 ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ලබා දුන් ජනවරමෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රවල පරිවර්තනයක් ඇති කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ, රටේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කථානායකවරයා මෙහිදී පැහැදිලි කළේය.විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව බෙල්ජියම් රජයට ස්තුතිය පළ කළ කථානායකවරයා, ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සංචාරයක් සඳහා බෙල්ජියම් නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආරාධනා කළේය. 2028 වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීමට නියමිත බැවින්, එවැනි සංචාරයක් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය මදූසංක ජයසිංහ මහතා, වාණිජ අමාත්‍ය තවිෂ්‍යා මුල්ලේගමගොඩ මහත්මිය සහ අමාත්‍ය දිලිනි ලෙනගල මහත්මිය ද යුරෝපා සංගමය–ශ්‍රී ලංකා 12 වැනි අන්තර් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.


2026-10-20

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නවරාත්‍රී පූජෝත්සවය උත්සවාකාරයෙන් සමරයි

ශ්‍රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, නවරාත්‍රී පූජෝත්සවය ආචාර්ය හරිනි අමරසුරිය ගරු අග්‍රාමාත්‍යවරිය සහ වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්. 20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය.  ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.ඒ අනුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී නවරාත්‍රී පූජෝත්සවය සැමරීම ආරම්භ කරමින් හින්දු පූජකවරු  ආගමික චාරිත්‍ර වල නිරත වූහ. එමෙන්ම මෙම අවස්ථාව ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් වර්ණවත් විය.ආචාර්ය හරිනි  අමරසුරිය ගරු අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අදහස් දක්වමින්, යහපත් සිතිවිල්ලෙන් සිදු කරනු ලබන මෙම පූජෝත්සවය සමස්ත රටටම ආශීර්වාදයක් වන බව පවසා සිටියේය. එසේම අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන ආගමික සහ සංස්කෘතික සහජීවනය තුළින් වඩාත් යහපත් රටක් ඇති කිරීමට හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.මෙහිදී  අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, හින්දු විශ්වාසයට අනුව දුර්ගා දේවියගේ ආශිර්වාදයෙන් අයහපත දුරුවී, ලක්ෂ්මි දේවියගේ ආශීර්වාදයෙන් යස ඉසුරින් ආඪ්‍ය වී සරස්වතියගේ ඇල්ම බැල්මෙන් ප්‍රඥාව දියුණු වීම ප්‍රාර්ථනා කරන බවත් ‍‍සඳහන් කළේය. එසේම සියලු දෙනාගේම දායකත්වයෙන් කිසිදු භේදයකින් තොරව මෙවැනි සැමරුම් සංවිධානය කිරීම ආදර්ශයක් බවත්  කථානායකවරයා පැවසීය.භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්‍රී උත්සවය හැඳින්වෙන අතර  මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මස මුලදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය පුරා දින 9ක් රාත්‍රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්‍රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වන අතර සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබා දෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්‍රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න් පසු 10වන දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්‍යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.මේ අවස්ථාව සඳහා හින්දු ආගමික පුජකතුමන්ලා, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය  කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය  (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි,  ධීවර, ජලජ සහ සාගර සම්පත් ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, විපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීහූ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ. එසේම පාර්ලිමේන්තුවේ  මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ද අනුබද්ධ කාර්ය මණ්ඩල සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරන නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ. 


2026-10-19

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (ඔක්. 19)  සිය සහතිකය සටහන් කළේය.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026.08.19 දින ගරු  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර  පනත් කෙටුම්පත  සම්බන්ධව  2026.10.08 වැනි දින  දෙවැනිවර කියවීමේ  විවාදය  පැවැත්වුණු අතර, එහිදී  සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.ඒ අනුව මෙම පනත මගින්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණය සම්බන්ධ, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු, සිංහල සහ ඉංග්‍රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ සහ නඩු පැවරීමේ ගැටලු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු මෙන්ම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම අරමුණු කෙරේ. මෙම සංශෝධන මඟින් දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දූෂණ විරෝධී පනත ඵලදායීව, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමටත් අපේක්ෂිතය.ඒ අනුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks