E   |     |  

2022-02-11

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

තේ වගාවේ දියුණුවට සමෝධානික පෝෂණ කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මකයි - අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි

පවත්නා අභියෝග හමුවේ  තේ කර්මාන්තයේ දියුණුවට සමෝධානික පෝෂණ කළමනාකරණ  වැඩසටහනක්  කඩිනමින් ක්‍රියාත්මක  කිරීමට සිය අමාත්‍යංශය  සූදානම්ව සිටින  බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා,  ඊයේ (10) වැවිලි අමාත්‍යංශයීය උප‍දේශක කාරක සභාව අමතමින් පැවසීය.  අමාත්‍යවරයා  මේ බව පවසා සිටියේ, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම  සඳහා  හුදෙක්  රසායනික පොහොර පමණක් නොව,  සෙවණ, ජලය, පාංශු සාධක ද  අතිශය වැදගත් බව පෙන්වා දෙමිනි.

අමාත්‍යවරයා මෙහිදී රසායනික පොහොර  හිඟයක් රට තුළ පැවතියද  2020  වසරට සාපේක්ෂව 2021 දී  සමස්ත තේ නිෂ්පාදනයේ මිලියන  21 ක වැඩිවීමක්  නිරීක්ෂිත බව  මෙහිදී අවධාරණය කළේ, රසායනික පොහොර හිඟවීම නිසා   මාතර ඇතුළු ප්‍රදේශවල කුඩා තේ  වතු හිමියන් රැසක් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව පාර්ලිමේන්තු   මන්ත්‍රී ගරු  වීරසුමන වීරසිංහ මහතා  පෙන්වා දුන්  අවස්ථාවේදීය. පාර්ලිමේන්තු   මන්ත්‍රී   වීරසුමන වීරසිංහ මහතා   රසායනික පොහොර මිල ඉහළ යාමත් සමඟ  රජය විසින් අවම වශයෙන් නිසි ලෙස තේ වතු සඳහා  කාබනික පොහොර  යෙදවීමට නිසි ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ නම් යෝග්‍ය බව කාරක සභාවේ අවධානයට ලක්කළ අතර,  වැවිලි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, තේ වගාව සඳහා  රජය විසින් වෙන්කළ ඇතැම්  රසායනික පොහොර  වෙනත් ප්‍රදේශවලදී  අධිමිලකට  අලෙවි වූ  බවයි. එමෙන්ම, වර්තමාන ලෝක තත්ත්වයන් යටතේ ගෝලීය  තත්ත්වයන් තුළ රසායනික පොහොර මිල සීඝ්‍රයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එසේම, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සමෝධායන කළමනාකරන වැඩසටහන මඟින් තේ වතු සඳහා ජල සැපයුම  සපයා ගැනීමට 50%ක  පිරිවැයක් රජය විසින් ලබාදීමට කටයුතු කරන  බව අමාත්‍යවරයා පෙන්වා  දුන්නේය .

මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා විමසා සිටියේ , වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදය සම්බන්ධයෙනි. මෙය දැනට අධිකරණය ඉදිරියේ ඇති ගැටලුවක් බැවින් සිය අදහස් දැක්වීමෙන් වැළැකී සිටියද තමන්ට අනුව මෙම තත්ත්වය නිරාකරණයට  සාමූහික සේවක -සේව්‍ය එකඟතාවයක් පැවැතිය යුතු බවද  අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.

එසේම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර  මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, වැවිලි කර්මාන්තයේ  උපරිම  දියුණුව සඳහා කටයුතු කරන සිය අමාත්‍යංශයේ  අක්‍රමිකතාවක් වේ නම් එය මැඩලීමට උපරිම උත්සාහයක් ගන්නා බවත්, අකටයුතුකම් කරන කිසිවකු හෝ ආරක්ෂා කිරීමට තමන්ගේ සූදානමක් නොමැති බවත් ය.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීමකට අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් පැළ තවාන් ව්‍යාපෘතියක්ද , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාගේ   යෝජනාවකට  අනුව  පොල්තෙල් සිඳීමේ  යන්ත්‍ර සහ පොල්ලෙලි කැබලි කිරීමේ  යන්ත්‍ර බෙදාදීමේ ව්‍යාපෘතියක්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාගේ  ඉල්ලීමකට අනුව, මාතර, නිල්වලා  ප්‍රදේශයේ  වසර තිහකට වැඩි කාලයක් පුරන්  වූ කුඹුරු යායක පොල්  වගා කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමටද  මෙම වැවිලි අමාත්‍යංශයීය උප‍දේශක කාරක සභාවේදී අනුමැතිය පළවිණි.

වැවිලි අමාත්‍ය,ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතාගේ  ප්‍රධානත්වයෙන්  පැවති මෙම කාරක සභාවට  අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, එස්. ශ්‍රීධරන්, පලනි දිගම්බරන්,  එම්. රාමේශ්වරන්, සම්පත් අතුකෝරාළ ,වීරසුමන වීරසිංහ, අමරකීර්ති අතුකෝරාළ යන මහත්වරුන් ද  සහභාගී වූහ.

 

2 3

5

 



සම්බන්ධිත පුවත්

2025-11-27

උසස් නිලතල පිළිබඳ කාරක සභාව රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් අනුමත කරයි

රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ඊයේ (නොවැ. 26) හිමිවිය.ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ඩි.බි.පි.එච්. දිසාබණ්ඩාර, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස එම්.ඩි.සි.ඒ. පෙරේරා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි සභාපති ලෙස ඉංජිනේරු පි.වි.ඒ. හේමලාල් යන මහත්වරුන්ගේ පත්වීම් මෙලෙස උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීම සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.


2025-11-27

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතාකර ගියේදැයි පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීම සඳහා පවතින නීතිමය බාධක පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ගියේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා  පවතින   නීතිමය බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මුලීක  වෙමින් ගත යුතු බව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා පැවසීය. ඒ  එම  කාරක සභාව 20.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙදින කාරක සභාවේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වූ 2025 අයවැය යෝජනාවල ප්‍රගතිය සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සිදු විය.මෙම රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීහු අදහස් දක්වමින් අදාළ උපකරණ නොමැතිව එම පරීක්ෂා කිරීම සිදු කිරීමේ අපහසුතාව කාරක සභාවේ අවධානයට යොමු කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා රජය මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති අතරම, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියදුරන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කළේය.තවද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීම සඳහා පවතින මෙවලම් විශේෂ අවශ්‍යතාවයක් පවතින ඒවා බැවින්, එම උපකරණ ප්‍රසම්පාදනය සඳහා ඇති නීතිමය බාධක ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා අයවැයගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් ලබා ඇති බව පොලිස් නිලධාරීන් කාරක සභාවට පැවසූහ. තවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු ද තම මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට දැනුම් දුන්හ.මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. 2025 වසරේ යෝජනාවල සැළකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, අත්හිටුවා තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ, ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.


2025-11-26

අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 12ක කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සළකා බැලේ

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අදාළ කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා 12ක් , රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා (18) සළකා බැලිණි.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 2022, 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ  විනිසුරුවරුන්ගේ 2023 සහ 2024  කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2022 වසරට අදාළ වාර්ෂික වාර්තාව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සළකා බැලිණි.තවද ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ 2022 සහ 2023 වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 2023 හා 2024 වසරවල වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2020,2021, 2022, 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ 2022 සහ 2023 වසර සඳහා වාර්ෂික වාර්තා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසර සඳහා වාර්ෂික වාර්තා, සිරකරු සුබසාධක අරමුදලේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙසේ ‍සළකා බැලීම සිදුවිය. එම ආයතනවලට අදාළ විගණන විමසුම් පිළිබඳව ද මෙහිදී කාරක සභාව විමසීම් සිදුකළ අතර ඊට අදාළ නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම මෙම ආයතනවල වත්මන් කාර්යයන්, පවතින ගැටලු සහ අඩුපාඩු කෙරෙහිද මෙහිදී අවධානය යොමුවිය. වඩාත් කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ඉහත ආයතනවල නෛතික රාමුවේ යම් සංශෝධන සිදු කිරීමට අවශ්‍යනම් කාරක සභාව දැනුවත් කරන ලෙසත් ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. මෙහිදී ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ  2024 වසරේ  වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අදාළව විගණකාධිපති වාර්තාවේ සඳහන් පුත්තලම අධිකරණයේ නීති ආධාර හා ප්‍රජා විශෝධක කාර්යාලය සඳහා ඉදිකරන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර නොතිබීම සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. මේ අනුව 2023 සහ 2024 වසර සදහා ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා හැර අනෙකුත් කාර්ය සාධන හා වාර්ෂික වාර්තා සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  මුජිබුර් රහුමාන්, නීතීඥ තුෂාරි ජයසිංහ, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.   


2025-11-26

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කරන ලදී.ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන්  21.11.2025 වන  දින පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වමින්  කාරක සභා සභාපතිවරයා  මෙරට ගුණාත්මකභාවයෙන් පහළ  උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය. එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය.මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා විසින්  දැනුම් දෙන ලදී. ඒ මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහතවද දේශීය විශ්වවිද්‍යාල වල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks