02

E   |   த   |  

2022-02-11

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

තේ වගාවේ දියුණුවට සමෝධානික පෝෂණ කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මකයි - අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි

පවත්නා අභියෝග හමුවේ  තේ කර්මාන්තයේ දියුණුවට සමෝධානික පෝෂණ කළමනාකරණ  වැඩසටහනක්  කඩිනමින් ක්‍රියාත්මක  කිරීමට සිය අමාත්‍යංශය  සූදානම්ව සිටින  බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා,  ඊයේ (10) වැවිලි අමාත්‍යංශයීය උප‍දේශක කාරක සභාව අමතමින් පැවසීය.  අමාත්‍යවරයා  මේ බව පවසා සිටියේ, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම  සඳහා  හුදෙක්  රසායනික පොහොර පමණක් නොව,  සෙවණ, ජලය, පාංශු සාධක ද  අතිශය වැදගත් බව පෙන්වා දෙමිනි.

අමාත්‍යවරයා මෙහිදී රසායනික පොහොර  හිඟයක් රට තුළ පැවතියද  2020  වසරට සාපේක්ෂව 2021 දී  සමස්ත තේ නිෂ්පාදනයේ මිලියන  21 ක වැඩිවීමක්  නිරීක්ෂිත බව  මෙහිදී අවධාරණය කළේ, රසායනික පොහොර හිඟවීම නිසා   මාතර ඇතුළු ප්‍රදේශවල කුඩා තේ  වතු හිමියන් රැසක් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව පාර්ලිමේන්තු   මන්ත්‍රී ගරු  වීරසුමන වීරසිංහ මහතා  පෙන්වා දුන්  අවස්ථාවේදීය. පාර්ලිමේන්තු   මන්ත්‍රී   වීරසුමන වීරසිංහ මහතා   රසායනික පොහොර මිල ඉහළ යාමත් සමඟ  රජය විසින් අවම වශයෙන් නිසි ලෙස තේ වතු සඳහා  කාබනික පොහොර  යෙදවීමට නිසි ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ නම් යෝග්‍ය බව කාරක සභාවේ අවධානයට ලක්කළ අතර,  වැවිලි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, තේ වගාව සඳහා  රජය විසින් වෙන්කළ ඇතැම්  රසායනික පොහොර  වෙනත් ප්‍රදේශවලදී  අධිමිලකට  අලෙවි වූ  බවයි. එමෙන්ම, වර්තමාන ලෝක තත්ත්වයන් යටතේ ගෝලීය  තත්ත්වයන් තුළ රසායනික පොහොර මිල සීඝ්‍රයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එසේම, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සමෝධායන කළමනාකරන වැඩසටහන මඟින් තේ වතු සඳහා ජල සැපයුම  සපයා ගැනීමට 50%ක  පිරිවැයක් රජය විසින් ලබාදීමට කටයුතු කරන  බව අමාත්‍යවරයා පෙන්වා  දුන්නේය .

මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා විමසා සිටියේ , වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදය සම්බන්ධයෙනි. මෙය දැනට අධිකරණය ඉදිරියේ ඇති ගැටලුවක් බැවින් සිය අදහස් දැක්වීමෙන් වැළැකී සිටියද තමන්ට අනුව මෙම තත්ත්වය නිරාකරණයට  සාමූහික සේවක -සේව්‍ය එකඟතාවයක් පැවැතිය යුතු බවද  අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.

එසේම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර  මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, වැවිලි කර්මාන්තයේ  උපරිම  දියුණුව සඳහා කටයුතු කරන සිය අමාත්‍යංශයේ  අක්‍රමිකතාවක් වේ නම් එය මැඩලීමට උපරිම උත්සාහයක් ගන්නා බවත්, අකටයුතුකම් කරන කිසිවකු හෝ ආරක්ෂා කිරීමට තමන්ගේ සූදානමක් නොමැති බවත් ය.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීමකට අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් පැළ තවාන් ව්‍යාපෘතියක්ද , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාගේ   යෝජනාවකට  අනුව  පොල්තෙල් සිඳීමේ  යන්ත්‍ර සහ පොල්ලෙලි කැබලි කිරීමේ  යන්ත්‍ර බෙදාදීමේ ව්‍යාපෘතියක්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාගේ  ඉල්ලීමකට අනුව, මාතර, නිල්වලා  ප්‍රදේශයේ  වසර තිහකට වැඩි කාලයක් පුරන්  වූ කුඹුරු යායක පොල්  වගා කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමටද  මෙම වැවිලි අමාත්‍යංශයීය උප‍දේශක කාරක සභාවේදී අනුමැතිය පළවිණි.

වැවිලි අමාත්‍ය,ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතාගේ  ප්‍රධානත්වයෙන්  පැවති මෙම කාරක සභාවට  අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, එස්. ශ්‍රීධරන්, පලනි දිගම්බරන්,  එම්. රාමේශ්වරන්, සම්පත් අතුකෝරාළ ,වීරසුමන වීරසිංහ, අමරකීර්ති අතුකෝරාළ යන මහත්වරුන් ද  සහභාගී වූහ.

 

2 3

5

 



සම්බන්ධිත පුවත්

2026-10-08

NDB බැංකුවේ මූල්‍ය අක්‍රමිකතා සහ අවසන් විගණන වාර්තාව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් විමසීමක්

NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 06) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී NDB බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල මතු වූ අසාමාන්‍යතා, විගණන ක්‍රියාවලියේ පැවති අඩුපාඩු සහ අදාළ විගණන වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස් සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, එම්.කේ.එම්. අස්ලම්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙහිදී ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතීන් නිරීක්ෂණ මණ්ඩලය (SLAAMB) විසින් සිදු කර ඇති විමර්ශනයේ සොයා ගැනීම් සහ Deloitte Touche Tohmatsu India LLPආයතනය විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ කරුණු පිළිබඳවද අවධානය යොමු විය. විශේෂයෙන්ම NDB බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල පැවති අසාමාන්‍යතා හඳුනා ගැනීමට බාහිර විගණකවරුන් අසමත් වීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී කරුණු විමසා බැලීය.අදාළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ආයතනික පාලනය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වගවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.එමෙන්ම, NDB බැංකුවේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් රාජ්‍ය හා මහජන අරමුදල් නියෝජනය කරන ආයතන සතු බැවින්, මෙවැනි මූල්‍ය අක්‍රමිකතාවලින් රාජ්‍ය අරමුදල්වලට සහ මහජනතාවට සිදු විය හැකි බලපෑම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.මූල්‍ය පද්ධතිය තුළ සිදුවන වංචා වැළැක්වීම සඳහා LankaPay මඟින් මධ්‍යගත වංචා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කළ අතර  එක් එක් බැංකුව තුළ සිදු වන ගනුදෙනු අධීක්ෂණය කිරීම සඳහා බැංකු මට්ටමින් වංචා නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.ඒ අනුව, NDB බැංකුවේ මූල්‍ය අක්‍රමිකතාව පිලිබඳ  අවසන් විගණන වාර්තාවේ පහත නිරීක්ෂණ ඇතුළත් වේ.1. මෙම විගණනය 2016.04.01 සිට 2026.03.31 දක්වා වූ කාලසීමාව ආවරණය කරයි. රු. 13,639,664,684/- (රු. බිලියන 13.6) ක වටිනාකමකින් යුත් වංචනික ගනුදෙනු හේතුවෙන් ඇති වූ මූල්‍ය බලපෑම මෙම විගණන වාර්තාව මගින් නිශ්චිතව දක්වා ඇත.2. 2026.09.29 දින සිදු කරන ලද හෙළිදරව්වට අනුව, වංචනික ගනුදෙනු හේතුවෙන් ඇති වූ මූල්‍ය බලපෑම පහත පරිදි වේ.•    2025.01.01 ට පෙර කාලසීමාව සඳහා රු. බිලියන 1.5 ක් •    2025 වර්ෂය තුළ රු. බිලියන 9.6 ක් •    2026.03.31 න් අවසන් වූ කාර්තුව සඳහා රු. බිලියන 2.5 ක්3. 2026.04.06 දින NDB විසින් සිදු කරන ලද මූලික හෙළිදරව්ව හා සසඳන විට, වාර්තා වූ වංචා මුදල රු. බිලියන 13.2 සිට රු. බිලියන 13.6 දක්වා රු. බිලියන 0.4 කින් ඉහළ ගොස් ඇත. 2026.06.22 දිනැති අතුරු වාර්තාව මත පදනම්ව 2026.06.26 දින NDB විසින් හෙළිදරව් කරන ලද මුදල හා සසඳන විට, මෙම අතිරේක වංචා මුදල රු. මිලියන 60 කි.4. මෙම වංචා සිදුවීම හේතුවෙන් කිසිදු පාරිභෝගික ගිණුමකට බලපෑමක් සිදු නොවූ බවට මීට පෙර සිදු කළ හෙළිදරව් කිරීම් අවසාන විගණන වාර්තාව මගින් ද තහවුරු කර ඇත.5. CEFT ගනුදෙනු සැකසීම, මූලික බැංකුකරණ පද්ධතියේ (Core Banking system) පරිශීලක මට්ටමේ ක්‍රියාකාරකම් (user activities) සහ පරිශීලක ප්‍රවේශ තොරතුරු (user credentials) කළමනාකරණයට අදාළව NDB හි පාලන ව්‍යුහ (governance) අසාර්ථකත්වයන් කිහිපයක් මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇත. මීට අමතරව, ගනුදෙනු අධීක්ෂණය( transaction monitoring), දෛනික ගිණුම් සැසඳීමේ ක්‍රියාවලිය (reconciliation), මූල්‍ය අනුකූලතාව (compliance), අභ්‍යන්තර විගණනය, ශාඛා ජාල කළමනාකරණය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය (operational risk management) වැනි ක්‍රියාකාරී ක්ෂේත්‍ර කිහිපයක ද අඩුපාඩු හඳුනාගෙන ති‌බේ.6. බැංකුවේ ඉහත සඳහන් ක්‍රියාකාරකම් තුළ පාලන ක්‍රමවේද, පාලන ව්‍යුහයන් සහ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා පුළුල් නිර්දේශ මෙම විගණන වාර්තාව මගින් ලබා දී ඇත.


2026-10-05

තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාකච්ඡාවට

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා Westminster Foundation for Democracy (WFD) ආයතනයේ සහාය ලබාගැනීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.ඒ තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය සැප්. 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. WFD ආයතනයේ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙහිද තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා WFD ආයතනය මඟින් ලබාගත හැකි සහාය, පුහුණු අවස්ථා සහ තරුණ නායකත්ව සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද තරුණ පරම්පරාව දේශපාලන ක්‍රියාවලියට, ප්‍රතිපත්ති සම්පාදනයට සහ පාලන ක්‍රියාවලියට සක්‍රීයව සම්බන්ධ කරගැනීමේ වැදගත්කම පිළිබඳවද පැමිණි නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සිදු විය. විශේෂයෙන්ම මැතිවරණවලින් පසුවද තරුණයින් අඛණ්ඩව දේශපාලන හා ප්‍රතිපත්ති සංවාද සමඟ සම්බන්ධ කර තබා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.එමෙන්ම, තරුණයින් මුහුණ දෙන රැකියා විරහිතභාවය ඇතුළු සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ නායකත්වය සහ ඔවුන්ගේ දේශපාලන සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා විය.


2026-10-05

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත පිළිබඳව සංසදයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කර නව පනතක් පැනවීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දී අවධානය යොමු විය. එම සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරයා 1996 ගෙන එන ලද උක්ත පනතින් පසුව, ගත වූ වසර 30ක කාලය පුරාම ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් නීතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම සාකච්ඡා වූ බව සඳහන් කළේය. 2006 වසරේදී එළිදැක්වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UN CRPD) 2016 වසරේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කළ ද, එම ප්‍රඥප්තියට අනුකූල දේශීය නීතියක් සකස් කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. 2016 සිට විවිධ අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල තීරණ ගනිමින් මෙම කෙටුම්පත සකස් කිරීමට උත්සාහ කළ ද, එය සකස් කිරීමේදී මුල් අභිලාෂයන් සහ වත්මන් කෙටුම්පත් අතර යම් යම් පරස්පරතාවයන් මතු වී ඇති බැවින්, අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය කර ගැනීම වැදගත් බව සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුව විසින් තම නිරීක්ෂණ අන්තර්ගත කර සකස් කරන ලද ආදර්ශ පනත් කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව, එම දෙපාර්තමේන්තුව විසින් යළි සකස් කර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති අතර, එම කෙටුම්පත පිළිබඳව ජාතික සභාවේ අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය දැනට සිදු වෙමින් පවතින බව අමාත්‍යාංශ නිලධාරීන් විසින් එහිදී පැහැදිලි කරන ලදී. මින් පෙර අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව යොමු කරන ලද නිරීක්ෂණද සලකා බලමින්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළු විවිධ පාර්ශ්වයන්හි නිරීක්ෂණ ද පදනම් කර ගනිමින් මෙම නීතිමය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සියලු පාර්ශ්ව විසින් තම අදහස් පළ කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (UN CRPD) අනුකූල වන පරිදි ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.නව නීති පැනවීමේදී සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී, “අප නැතුව අපි ගැන තීරණ ගන්න එපා” (Nothing About Us Without Us) යන පදනම මත පිහිටා, ආබාධ සහිත ප්‍රජාවගේ සෘජු නියෝජනය සහ සහභාගිත්වය ලබාගැනීමේ වැදගත්කම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී.  එමෙන්ම, ආබාධ සහිත තැනැත්තන් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබා දීම, සමාන සේවා කොන්දේසි හා වේතන හිමිකර දීම සහ රැකියා ස්ථානයන්හි සාධාරණ පහසුකම් සැලසීම (reasonable accommodation), රාජ්‍ය සේවයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වෙන් කර ඇති රැකියා කෝටාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිමය යෝජනා සහ ඊට අදාළ රෙගුලාසි ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. වත්මන් සමාජ සහ ආර්ථික පසුබිමට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි, ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු වන තිරසාර නෛතික රාමුවක් කඩිනමින් සකස් කර ගැනීම සඳහා අදාළ සියලු ආයතන අතර එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි. මෙම රැස්වීමට සංසදයේ නියෝජ්‍ය සම සභාපති ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) නිහාල් අබේසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ. එමෙන්ම, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ නිලධාරීන්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ පනත් කෙටුම්පත් සම්පාදක අනුකමිටුවේ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ. 


2026-10-02

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදු විය.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 29) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ සඳහා අනුමතිය හිමි විය.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා  ඇතුළු නිලධාරීහු ද, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සම්මත කිරීම, මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය, අරමුදල් ව්‍යුහය සහ පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය ‍යොමු විය.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31 වගන්තියට අනුව කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තු, මුදල් අමාත්‍යාංශය හරහා නොව ඍජුවම කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. කථානායකවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ලබා ගෙන, දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට (රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත) ඉදිරිපත් කළ යුතුය. අනතුරුව පාර්ලිමේන්තුව මගින් සමාලෝචනය කර තීරණය කරනු ලබන සංශෝධන සහිතව එය ජාතික අයවැය ලේඛනයට/විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යවරයා වෙත යවනු ලැබේ. 2027 වසර සඳහා අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පැමිණීම‍ට සැප්තැම්බර් දක්වා කාලය ගත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙමගින් අයවැය සකස් කිරීමේ කාලසටහනට බාධා පැමිණෙන බැවින් ඉදිරි වසරවලදී අයවැය ක්‍රියාවලිය නියමිත වේලාවට සිදු කිරීම සඳහා, මැයි 30 වන විට කොමිෂන් සභාවේ ඇස්තමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.සාමාන්‍ය රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පාලනය වන 2024 භාණ්ඩාගාර චක්‍රලේඛයක් මගින් ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරයට බාධා පැමිණීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. වාහන මිළදී ගැනීම/ලීසිං කිරීම, ප්‍රාදේශීය කාර්යාල සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම සහ රාජකාරි අවශ්‍යතා මත විදේශ සංචාර සිදු කිරීම සීමා වීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතුවලට බාධා වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය. අදාළ කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය ඉල්ලා සිටීමට සිදු වීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හානි සිදු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.කොමිෂන් සභා අරමුදලේ ස්වභාවය සහ භාවිතය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දූෂණ විරෝධී පනතේ 31 වගන්තිය යටතේ කොමිෂන් සභාව සඳහා වෙනම අරමුදලක්  ස්ථාපිත කර ඇති බවත් ඒකාබද්ධ අරමුදල සහ  සහ කොමිෂන් සභා පොදු අරමුදල    මගින් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා විය.පනත ප්‍රකාරව  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ස්වාධීනව සිදු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන හිමි විය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙම කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය.කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බැඳීම් සහ රටේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අනුව කොමිෂන් සභාවේ මෙහෙයුම් පුළුල් කිරීම ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ අනුව, කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය  971 ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, 2026 දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමේ ඉලක්කය සපිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දැනට පවතින රජයේ ගොඩනැගිලි  පරීක්ෂා කර ඇති බවත් අනාවරණය විය. ඇතැම් ඒවා අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ඉතිරිය කුලී පදනම මත ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එසේම, ජපාන රජය මගින් UNDP හරහා ලබා දී ඇති ඩොලර් මිලියන 2.5ක ප්‍රදානය යටතේ, ප්‍රාදේශීය කාර්යාල සඳහා අවශ්‍ය පරිගණක සහ ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු රුපියල් මිලියන 109ක තාක්ෂණික උපකරණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් දිසානායක මහතා පැවසීය.තවද, නව පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු පුද්ගලයන් අතුරින් 34,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද ගාස්තු අයකර ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර, එම ක්‍රියාවලියෙන් ලැබෙන දඩ මුදල් කොමිසමේ අරමුදලට බැර වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.කොමිෂන් සභාපති, සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ වැටුප් ව්‍යුහය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මීට පෙර කාරක සභාවේදී ලබා දුන් නිර්දේශය පරිදි කොමිෂන් සභාවේ  සභාපතිවරයාගේ වැටුප අභියාචනාධිකරණ සභාපතිවරයාගේ (President of the Court of Appeal) වැටුපට හා දීමනාවලට සමාන විය යුතු බවත් අවධාරණය කළේය.කාරක සභා සාමාජික  ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක සහ නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සම්බන්ධ වූහ.  






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks