පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-12-28
ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සැමරීම උදෙසා නිකුත් කළ මාධ්‍ය නිවේදනය
වඩාත් සාර්ථක සමාජයක් ගොඩනැගීම සඳහා දැනුම, කුසලතා සහ අන්තර් සම්බන්ධතා ඇතුළු විවිධ දායකත්වයන් හරහා සංක‍්‍රමණිකයන් රටක් වෙනස් කිරීමේහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඉතිහාසය නැවත නැවතත් පෙන්වා දී ඇත.
මේ වසරේ, එනම් 2021 දෙසැම්බර් 18 වන දින, අපි ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරන්නේ ‘මානවයාගේ සංක‍්‍රමණ හැකියා වැඩි දියුණු කිරීම’ යන තේමාව යටතේ ය. දෙවන ලෝක සංග‍්‍රාමයෙන් අවතැන් වූවන්ට සහය වීමේ අදහසින් ආරම්භ කරන ලද සංක‍්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ 70 වැනි සංවත්සරය (1989 වර්ෂයේදී නැවත නම් කරන ලදී) මෙම වසරේ සමරනු ලැබේ. දෙවන ලෝක සංග‍්‍රාමයෙන් අවතැන් වූවන්ට සහය වීම පමණක් නොව සංක‍්‍රමණිකයන්ගේ ගමනාන්තය වන රටවලද, ඔවුන්ගේ උපන් රට සහ සංක‍්‍රමණය අතරතුර වැනි සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ මානුෂීය සහ ක‍්‍රමවත් කළමනාකරණය ප‍්‍රවර්ධනය කිරීමට සංක‍්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය පෙරමුණ ගෙන කටයුතු කරයි. සංක‍්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ 70 වැනි සංවත්සරය වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතු අතර එම දිනය සැමරිය යුතුයි.
සෑම වසරකම, ස්වාභාවික විපත්, ආර්ථික අභියෝග, දරිද්‍රතාවය සහ ගැටුම්වල විශාලත්වය සහ සිදුවන වාර ගණන වැඩිවීම නිසා ඇතිවන විවිධ සාධක හේතුවෙන්, වැඩි වැඩියෙන් මිනිසුන් ස්වකැමැත්තෙන් ජාත්‍යන්තර සංක‍්‍රමණිකයන් බවට පත්වේ, නැතහොත් එසේ පත්වීමට සිදු වේ. නිදසුනක් වශයෙන්, 2020 වර්ෂයේදී පමණක් මිලියන 281 කට ආසන්න ජනතාවක් එනම් ගෝලීය ජනගහනයෙන් 3.6 ක් ජාත්‍යන්තර සංක‍්‍රමණිකයන් විය.
“එබැවින්, සංක‍්‍රමණයේ වැඩිවන ප‍්‍රවණතා සැලකිල්ලට ගැනීම සහ සංක‍්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා හා සුරක්ෂිත කරමින් රටේ ආර්ථිකයට සංක‍්‍රමණයෙන් ලැබෙන උපරිම දායකත්වය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ප‍්‍රතිපත්ති සහ උපාය මාර්ග සකස් කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වන බව”, ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සභාපතිනී වෛද්‍ය ගරු සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුලභ සංක‍්‍රමණ ආකාරය වන්නේ ජාත්‍යන්තර ශ‍්‍රම සංක‍්‍රමණයයි. පසුගිය දශක තුනක කාලය තුළ මෙය වැඩි වී ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික සංක‍්‍රමණිකයන් මිලියන 1.5 ක් පමණ විදේශයන්හි සේවය කරන බව ඇස්තමේන්තු කර ඇති අතර වාර්ෂික වාර්තා අනුව සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයින් 200,000ක් පමණ රටින් පිට වේ.
“ශ්‍රී ලංකාවේ ශ‍්‍රම සංක‍්‍රමණිකයන්ගෙන් සාමාන්‍යයෙන් 47.7% ක් පමණ කාන්තාවන් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙන බැවින් මෙම දිනය පිළිබඳව පාර්ලිමේන්තු කාන්තා සංසදය විශේෂ උනන්දුවක් දක්වන බව”, වෛද්‍ය ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය තවදුරටත් පැවසීය.
2020 මුල් භාගයේ සිට ගෝලීය ආර්ථිකයට සහ මානව සංචලනයට බලපාන කෝවිඩ්-19 වසංගතය හේතුවෙන්, සංක‍්‍රමණය සහ ශ‍්‍රම සංක‍්‍රමණයට අදාළ සංඛ්‍යාලේඛන පසුගිය වසර දෙක තුළ වෙනස් වී ඇත.
“අගෝස්තු මාසයේදී, සංක‍්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සහ ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ඇතිව රජය, කුවේට් හි සිටින ශ්‍රී ලාංකික සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් පිරිසක් ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත් බව”, ආචාර්ය ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
මිනිසුන්ගේ සංචලනය සීමාවීම සහ ශ‍්‍රම සංක‍්‍රමණිකයන් ආපසු සිය රට බලා පැමිණීමත් සමඟම, ශ්‍රී ලංකාව එවැනි පුද්ගලයින්ගේ අත්දැකීම් සහ කුසලතා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා යොදා ගැනීමට උපාය මාර්ග සකස් කරමින් සිටී. විශේෂයෙන් සංචාරක හා ආයුර්වේද වෛද්‍ය වැනි ක්‍ෂේත‍්‍ර මේ සඳහා හඳුනා ගෙන ඇත.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, “2022 වසර සඳහා වන අයවැයෙන් ආරක්ෂිත සහ ක‍්‍රමවත් කම්කරු සංක‍්‍රමණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති බවයි. මෙම මධ්‍යස්ථාන මානව හිමිකම් රැකෙන පරිදි වැඩ කටයුතු කරන බව සහතික කරන අතර එසේ කෙරෙන බවට නිරීක්ෂණය ද කළ යුතුය”. තවද, සංක‍්‍රමණ ක‍්‍රියාවලියේ වඩාත් අවදානමක් ඇති අදියරක් වන්නේ සංක‍්‍රමණයට පෙර ලබන පුහුණුවයි. මෙම පුහුණුව ඉදිරි වර්ෂයේදී ශ‍්‍රම සංක‍්‍රමණිකයන්ට සහ ක‍්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනවලට ලබාදීමට ප‍්‍රමුඛත්වය දෙනු ලැබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් (SLBFE) ලබාගත් සංඛ්‍යාලේඛනවලට අනුව, 2018 වසරේදී, ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා වලට පිටත්ව ගිය මුළු සංඛ්‍යාවෙන් අඩු නිපුණතා සහ ගෘහ සේවක කාණ්ඩ 55.2% ක් විය.
“මෙම කරුණ විශේෂයෙන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හරහා සැලකිය යුතු දායකත්වයක් සපයන ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වඩා හොඳින් ආරක්ෂා හා සුරක්ෂිත කිරීම සඳහා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ 189 සම්මුතිය (C189) අපරානුමත කිරීම සඳහා පාර්ලිමේන්තු කාන්තා සංසඳය රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව”, ආචාර්ය ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
2026-09-04
ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, කාර්යක්ෂම මානව සම්පත් රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම පිළිබඳව දැනුම් දී තිබූ බැවින්, ස්ථාවර නියෝග ප්‍රකාරව එම අවස්ථාවේදී තාවකාලික සභාපතිවරයා ලෙස පත් කර ගත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.එමෙන්ම, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා ද සහභාගී විය.ජාතික විගණන කාර්යාලයේ විගණන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.විගණන ක්‍රියාවලිය තාක්ෂණිකව පරිවර්තනය කිරීම මඟින් විගණන කටයුතුවල කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වඩාත් පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමටත් හැකි වනු ඇති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම, විගණන සේවයට බඳවා ගනු ලබන දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් ඇති වන මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගෙන ඒවා නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා වූ අතර, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ වගකීම අවධාරණය කෙරිණි.සමෘද්ධි බැංකු විගණනයේදී පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒවා වඩාත් කාර්යක්ෂමව විගණනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.මේ අතර, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවිය යුතු මාසික වැටුප් හා දීමනා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.ජාතික කාන්තා කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එහි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙන්ම, කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි විභාග කිරීම හා විමර්ශනය කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව සතු වගකීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.කොමිෂන් සභාව පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ පරිපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පනතට අනුව අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ කාලීනව සිටිය යුතු බැවින්, එම සාමාජිකයින් සඳහා දීමනා ප්‍රමාණවත් නොවන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දුන් අතර පූර්ණ කාලීන සාමාජිකයින්ට අමතර දීමනා ලබා දීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව ද කාරක සභාව විසින් මෙහිදී මුදල් අමාත්‍යාංශය ට දැනුම් දෙන ලදී.
2026-09-04
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 7.5ක අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත කරන ලදීගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම පරිපූරක ඇස්තමේන්තුව සාකච්ඡාවට ගැනිණි.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නිමල් පලිහේන, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන් සහභාගී වූහ.2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම අමතර ප්‍රතිපාදන අවශ්‍ය වී තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහා වී මිලදී ගැනීම කඩිනම් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් වන බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී වී මිලදී ගැනීමේදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සම්බන්ධ කර ගැනීම, වී මිල සහ වෙළඳපොළ කළමනාකරණය, ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කෙරිණි. වී ගොවියා ආරක්ෂා කරන අතරම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීම සඳහා දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.මේ අතර ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. Asycuda පද්ධතිය තවදුරටත් නවීකරණය කරමින් කඩදාසි රහිත රේගු ක්‍රියාවලිය තෝරාගත් අංශ සඳහා 2026 ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීහු පැවසුහ. ජාතික ඒකීය වෙළඳ කවුළුව (Trade National Single Window) හරහා රේගුව හා අනෙකුත් රාජ්‍ය ආයතන අතර ඩිජිටල් සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ASYCUDA හි පහසුකම් තිබුණද සෙසු රාජ්‍ය ආයතනවල මේ හා සමාන ඩිජිටල්කරණය කරන ලද පද්ධති නොතිබීම හේතුවෙන් ජාතික ඒකීය වෙළඳ කවුළුව තුලට සියලු ආයතන ඇතුලත් කරගත නොහැකි තත්ත්වයක් පවතින බවද මෙහිදී නිලධාරීහු අදහස් දක්වමින් පැවසුහ.එමෙන්ම භාණ්ඩ ආනයනයට පෙර සිදුකරන අත්තිකාරම් ගෙවීම් සම්බන්ධයෙන් ඇති මූල්‍ය අවභාවිතයන් පිළිබඳවද අවධානය යොමු කර, ඒවා වැළැක්වීම සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.
2026-09-03
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කරන ලදී. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි. මෙහිදී අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවසුවේ 2026 ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම රු මිලියන 1,060,559 ක් බවත් ඒ වන විට රුපියල් මිලියන 1,379,084 ක් උපයා ඇති බවයි. තවද එය ප්‍රතිශතාත්මකව 130 % ක ප්‍රගතියක් බවද සඳහන් විය. මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවටත් අදාළ දත්ත නිලධාරීහු මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කළහ2026 වාහන ආයනයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු පෙන්වා දුන්නේ 2026 ජූනි 30 වන විට වාහන 316,000ක් ආනයනය කර ඇති බවත් එ් අනුව රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවයි. ඉන් වැඩිම බදු ආදායම වන රු මිලියන 386,726 ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි. එසේම වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුනේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රු බිලියන 137.4 කි. එය සමස්ත ආදාමෙන් සියයට 9.96 ක ප්‍රතිශතයකි. එසේම ආනයනික බහාලුම් ප්‍රමාණයන් සහ ඒවා පරීක්ෂාවට ලක්වන ආකාරය, ශ්‍රී ලංකා රේගුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග, ඉදිරි සැලසුම් ඇතුළු කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-09-03
මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීම සඳහා ද කටයුතු කර ඇති බව ද මෙහිදී නිලධාරීන් සඳහන් කළහ.සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව ද කාරක සභාව හමුවේ පැමිණි නිලධාරීහු පැවසූහ. එසේම නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කරමින් පවතින බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව ද සඳහන් කෙරිණි.තවද, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මඟින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මීට අමතරව, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සහ මහජනතාවගේ සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks