logo

E   |     |  

2021-12-01

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳව පාර්ශව කිහිපයක අදහස් ලබාගැනීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක්

දින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසඳුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්වුණි.

වෙළඳ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාව රැස් වූ අතර ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙම සාකච්ඡාවට සම්බන්ධ විය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (31) විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව සහ තවත් පාර්ශව කිහිපයක් සම්බන්ධකරගෙන මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ මෙම විශේෂ රැස්වීම පැවැත්වීම සිදු විය.

මේ සඳහා වෙළඳ අමාත්‍යාංශය, සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නිමයුම් රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ලිට්රෝ ගෑස් සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීහු සහභාගී වූහ. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හිටපු මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා සහ මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරන මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා ද මේ සඳහා සම්බන්ධ විය. තවද ඛනිජ තෙල් පිළිබඳ විශේෂඥ නිමල්ද සිල්වා මහතා ද මෙම කාරක සභාවට සම්බන්ධ විය.

විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කිහිපයක් මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළ අතර හැකි ඉක්මනින් ලිඛිතව හෝ මේ සඳහා පිළිතුරු ලබාදෙන ලෙස සඳහන් කළේය.

එසේම මෙහිදී ගෑස් පුපුරා යෑමට අදාළව පැමිණ සිටි සියලු පාර්ශව වලින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීම සිදුවිය.

ගෑස් සංයුතියේ වෙනස් කිරීම වත්මන් පුපුරායෑම් වලට බලපෑමක් කළේද යන්න ගැන ද, උසස් ප්‍රමිතියෙන් යුතු උපාංග භාවිතයේ ඇති වැදගත්කම ද, ගෑස්වල ගඳ සුවඳ පිළිබඳ පරීක්ෂා කොට වාර්තාවක් ලබාගෙන ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳව ද, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තා සති දෙකක් ඇතුළත ලබාගෙන එම නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද, මෙරටට ගෙන්වන ගෑස් රටට ඇතුලු කිරීමට පෙර නැව තුළදීම ප්‍රමිතිය පරීක්ෂා කිරීම පිළිබඳවද යම් යම් එකඟතාවයන්ට පැමිණීම මෙහිදී සිදු විය.
 
මෙම කාරක සභාව සඳහා ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු, ගරු රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක්ද සහභාගී වූහ.

 

1 4

5 6

 



සම්බන්ධිත පුවත්

2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2026-06-18

රාජ්‍ය අයවැයට ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රවේශයක් එක් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම  රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද  සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද  සංසදය විසින්  මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.


2026-06-17

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු  රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-17

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09)  පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks