පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-11-19
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශ ලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බඳවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කොට ඇති බව පසුගිය දා පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. කැබිනට් අනුමැතියක් යටතේ කොන්ත්‍රාත් පදනම මත මෙම බඳවා ගැනීම් සිදු කර ඇති බවත් ඉන්පසු, 2014 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛයක් පදනම් කර ගනිමින් මෙම පිරිස ස්ථිර කිරීමට ද කටයුතු කර ඇති බවත් මෙහිදි හෙළි විය.
ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් පිරිසක් මෙලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කිරීමේදී බලවත් වරදක් සිදුවී ඇති බවත් මෙම තත්ත්වය අනෙකුත් රාජ්‍ය ආයතනවලටද වැරදි පූර්වාදර්ශයක් සපයන බවත් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය. එබැවින් මේ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් විධිමත් විමර්ශනයක් සිදුකොට පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙසත් ඉඩම් අමාත්‍ය ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතාට කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2017, 2018 සහ 2019 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සඳහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (17) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පිහිටවූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් පවරා ගැනීමේදී අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය සහ ඒ ඒ රජයන් කාලවලදී බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතල තත්ත්වයක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේවන විට ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයක් කොමිෂන් සභාව සතු වන බවත් එම අගය නිවැරදිම අගය නොවන බවත් මෙහිදී අනාවරණය විය. ඉඩම් අත්පත් කරගැනීමේදී සහ විවිධ රජයන් යටතේ පවරාදීමේදී නිසියාකාරව මැනීමක් සිදුනොකිරීම එයට හේතුවී ඇති බව ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
කොමිෂන් සභාව සතු ප්‍රධාන වත්කම වන මෙම ඉඩම් පිළිබඳ නිවැරදි දත්ත මෙන්ම තක්සේරුවක් කොමිෂන් සභාව සතුවීම අත්‍යවශ්‍ය බැවින් ඉඩම් නිවැරදිව මැන තක්සේරු කිරීමත් ඒ පිළිබඳව නිශ්චිත පදනම් ලියවිල්ලක් සෑදීමත් අත්‍යවශ්‍ය බව කමිටුව පෙන්වා දුන්නේය. නවීන ඩ්‍රෝන තාක්ෂණය වැනි දෑ ඒ සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරමින් ඒ පිළිබඳ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කොට කෝප් කමිටුවට දන්වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදි කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
නවීණ තාක්ෂණය භාවිතා කරමින් මෙම ඉඩම්වල දත්ත ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය. මේ වන සිදුවන විවිධ අක්‍රමිකතා ඇතුළු ගැටලු රැසකට එමගින් විසදුම් ලැබෙන බව කමිටුව පෙන්වා දුන් අතර ඒ සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.
පවරා ගැනීමට අදාළ ඇතැම් ගොනු අස්ථානගත වී ඇති බවද ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. මෙවැනි ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය. මේ පිළිබඳවද වහාම සොයාබැලීමක් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. ජනතාවගෙන් පවරාගත් ඉඩම් වඩාත් ඵලදායිව යොදා ගැනීම වෙනුවට විවිධ පුද්ගලයන් අතට පත්වීම බරපතල ගැටලුවක් බැවින් මෙම තත්ත්වය නිවැරදි කර ගැනීම අතිශය වැදගත් බව කමිටුව අවධාරණය කළේය.
එසේම 1972 -1974 කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පවරාගත් ඉඩම්වලින් පිඹුරුපත් හා ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම මත අක්කර 50 ක ප්‍රමාණය නිදහස් නොකළ ඉඩම් 260 ක් පවතින බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව වසර 50ක් තුළ ප්‍රමාද වූ මෙම ක්‍රියාවලිය ඓතිහාසික ගැටලුවක්ව ඇති බැවින් විශේෂ කවුළුවක් විවෘත කොට ඉදිරි මාස 06 තුළ මෙම ප්‍රශ්නය විසදීම සඳහා මැදිහත් වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට කමිටුව උපදෙස් ලබා දුන්නේය.
කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයේ වටිනාකම ලෙස වසර ගණනාවකට පෙර සිදු කරන ලද තක්සේරුව රු. මිලියන 676 ක් ලෙස සඳහන්ව තිබුණද එම අගය වර්තමානයේ නිවැරදිවිය යුතු බවද කමිටුව පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය අනුව අක්කරයක වටිනාකම රු.500 ක් පමණ වන බැවින් මෙම ගැටලුව වහාම නිවැරදි කරගැනීම සඳහා මාස 06 ක් තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් සභාපතිවරයා ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.
එසේම කොමිෂන් සභාවේ ඉඩම් බදු දුන් පසු එම ඉඩම් බැංකුවලට උකස් කොට ණය ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවද මෙහිදී අනාවරණය විය. ව්‍යාපාරිකයන් තමා ලබා ගත් ඉඩම පවරා දීමේ කොන්දේසිවල සදහන් පරිදි කොමිෂන් සභාවේ අවසරය මත උකස් කොට ණය ලබා ගැනීමට ඇති හැකියාව මත මෙය සිදු වන බවත් මෙහිදී හෙළිවිය. එසේම ඇතැම් ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමෙන් පසු ඒවා ඵලදායි ලෙස යොදා ගන්නේ ද යන්නත් ගැටලුවක් බව සාකච්ඡා විය.
මෙහිදී අදහස් දක්වමින් කෝප් සභාපතිවරයා පැවසුවේ කොමිෂන් සභාව සතු වත්කම් ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන එය ඵලදායි ලෙස සංවිධානය කර ගැනීම පිළිබඳ ආකෘතියක් පිළියෙල කිරීම මේ මොහොතේ කළ යුතු ප්‍රධාන කාර්යභාර්ය බවයි. මෙය ජාතික අවශ්‍යතාවක් බැවින් මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවයන් එක්කරමින් නිශ්චිත වැඩපිළිවෙලක් සැලසුම් කිරීම සඳහා ඉදිරියේදී කමිටුව නැවත කැඳවීමට අපේක්ෂා කරන බව ද මහාචාර්ය හේරත් මහතා පැවසීය.
අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර සහ මධුර විතානගේ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025-11-27
රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ගියේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා පවතින නීතිමය බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මුලීක වෙමින් ගත යුතු බව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා පැවසීය. ඒ එම කාරක සභාව 20.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙදින කාරක සභාවේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වූ 2025 අයවැය යෝජනාවල ප්‍රගතිය සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සිදු විය.මෙම රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීහු අදහස් දක්වමින් අදාළ උපකරණ නොමැතිව එම පරීක්ෂා කිරීම සිදු කිරීමේ අපහසුතාව කාරක සභාවේ අවධානයට යොමු කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා රජය මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති අතරම, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියදුරන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කළේය.තවද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීම සඳහා පවතින මෙවලම් විශේෂ අවශ්‍යතාවයක් පවතින ඒවා බැවින්, එම උපකරණ ප්‍රසම්පාදනය සඳහා ඇති නීතිමය බාධක ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා අයවැයගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් ලබා ඇති බව පොලිස් නිලධාරීන් කාරක සභාවට පැවසූහ. තවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු ද තම මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට දැනුම් දුන්හ.මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. 2025 වසරේ යෝජනාවල සැළකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, අත්හිටුවා තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ, ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2025-11-27
රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ඊයේ (නොවැ. 26) හිමිවිය.ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ඩි.බි.පි.එච්. දිසාබණ්ඩාර, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස එම්.ඩි.සි.ඒ. පෙරේරා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි සභාපති ලෙස ඉංජිනේරු පි.වි.ඒ. හේමලාල් යන මහත්වරුන්ගේ පත්වීම් මෙලෙස උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීම සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.
2025-11-26
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අදාළ කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා 12ක් , රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා (18) සළකා බැලිණි.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 2022, 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2022 වසරට අදාළ වාර්ෂික වාර්තාව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සළකා බැලිණි.තවද ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ 2022 සහ 2023 වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 2023 හා 2024 වසරවල වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2020,2021, 2022, 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ 2022 සහ 2023 වසර සඳහා වාර්ෂික වාර්තා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසර සඳහා වාර්ෂික වාර්තා, සිරකරු සුබසාධක අරමුදලේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙසේ සළකා බැලීම සිදුවිය. එම ආයතනවලට අදාළ විගණන විමසුම් පිළිබඳව ද මෙහිදී කාරක සභාව විමසීම් සිදුකළ අතර ඊට අදාළ නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම මෙම ආයතනවල වත්මන් කාර්යයන්, පවතින ගැටලු සහ අඩුපාඩු කෙරෙහිද මෙහිදී අවධානය යොමුවිය. වඩාත් කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ඉහත ආයතනවල නෛතික රාමුවේ යම් සංශෝධන සිදු කිරීමට අවශ්‍යනම් කාරක සභාව දැනුවත් කරන ලෙසත් ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. මෙහිදී ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ 2024 වසරේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අදාළව විගණකාධිපති වාර්තාවේ සඳහන් පුත්තලම අධිකරණයේ නීති ආධාර හා ප්‍රජා විශෝධක කාර්යාලය සඳහා ඉදිකරන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර නොතිබීම සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. මේ අනුව 2023 සහ 2024 වසර සදහා ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා හැර අනෙකුත් කාර්ය සාධන හා වාර්ෂික වාර්තා සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මුජිබුර් රහුමාන්, නීතීඥ තුෂාරි ජයසිංහ, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2025-11-26
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කරන ලදී.ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් 21.11.2025 වන දින පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙරට ගුණාත්මකභාවයෙන් පහළ උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය. එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය.මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී. ඒ මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහතවද දේශීය විශ්වවිද්‍යාල වල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


