පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-11-17
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ආයතන අතර සහයෝගිතාව රාජ්‍යයේ ඉදිරි ප්‍රගමනයට ප්‍රමුඛ සාධකයක් බව කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා අවධාරණය කරයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා සහයෝගයෙන් කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් එය රාජ්‍යයේ පැවැත්මට ප්‍රබල බාධාවක් බව ඊයේ (16) පැවැති කෝප් රැස්වීමේදී හෙතෙම අවධාරණය කළේය. අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන ලෙසද කෝප් සභාපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.
වගකීම් පැහැරහරින සහ විනය විරෝධීව හැසිරෙන නිලධාරින් සමබන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කෝප් සභාපතිවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 2017 වසරේ සිට සංයුක්ත සැලැස්මක් සකසා නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. එම සමාගම ක්‍රියාකාරි සැලැස්මක් පිළියෙළ නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව ප්‍රශ්න කළේය.
ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව පැවසූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා, 2015 වසරේ සිට ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළේය. එම සියලු වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද කාරක සභාව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් මාතර නිල්වලා යොවුන් උද්‍යානය ඉදිකිරීමට තීරණය කර තිබුණද ඒ සමබන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොතිබීම සමබන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය විසින් අදාළ ඉඩම් හිමිකරුවන්ට වන්දි හා පොලිය වශයෙන් එකතුව රුපියල් 142,810,543 ක්ද, 2014 දෙසැම්බර් 31 වැනි දින වන විට ජාතික තරුණ සේවා සභාව උපදේශක ගාස්තු වශයෙන් රුපියල් 7,657,349 ක් ද ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය.
2018 සහ 2019 වර්ෂවල පැවැත්වූ යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ක් වුවද,එය ද ඉක්මවා රුපියල් 80,560,914 ක් වැය කර තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී අනාවරණය විය. තවද 2019 වසරේ වැඩසටහනට අවශ්‍ය ගබඩා 02 ක් කුලි පදනම මත ලබා ගැනීමේදී වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිබාහිරව, ඇණවුම් කළ දින ප්‍රමාණය ඉක්මවා භාවිත කළ බව සඳහන් කරමින් එකතුව රුපියල් 2,227,400ක් වැඩිපුර ගෙවා තිබුණි. එමෙන්ම 2016 වර්ෂයේ පවත්වන ලද යොවුන්පුර ජාතික වැඩසටහනට සභභාගි වූ තරුණ තරුණියන් වෙත බෙදා හැරීම සඳහා තාක්ෂණික කමිටු නිර්දේශයකින් තොරව , වැඩසටහන පවත්වන ලද දිනට පසුව ටී ෂර්ට් 1773 ක් සඳහා රුපියල් 1,932,500 ක් ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.
සමික්ෂණ මණ්ඩල වාර්තාව අනුව 2017 වර්ෂය තුළ මුද්‍රණය කරන ලද පිරිවැය රුපියල් 1,822,400 ක් වූ තොරතුරු පත්‍රිකා 268,000 ක් ඉවත් කිරීමට නිර්දේශ කර තිබූ බවද මෙම කාරක සභා රැස්වීමේදී අනාවරණය විය.
ජාතික තරුණ සේවා සභාවේ සියයට 98 කට වැඩි කොටස් හිමිකාරිත්වයක් සහිතව ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 1981 වසරේදී ආරම්භ කර තිබුණද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර නොතිබීම සමබන්ධයෙන්ද කාරක සභාවේදී හෙළි විය.
එමෙන්ම ජාතික තරුණ සේවා සභාව විසින් 2018,2019 හා 2020 වර්ෂවල මිලියන 417 ක් වටිනා කාර්‍යයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම තුළින් සිදු කර ගෙන තිබූණි.
ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා විසින් අංශ ප්‍රධානීන් වෙත 2021 වසරේ ඔක්තොම්බර් මස 08 වැනි දින නිකුත් කර තිබූ අභ්‍යන්තර චක්‍රලේඛයක් මඟින් ආයතනය සම්බන්ධ තොරතුරු බාහිර පාර්ශ්ව වෙත ලබා ලබා දීම සිදුනොකළ යුතු බවට උපදෙස් ලබා දී තිබු බවද කාරක සභාවේදී අනාවරණය විය. එය ජාතික විගණන කාර්‍යාලයේ සහ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු වලට එය බාධාවක් වූ බවද එම ආයතනවල නිලධාරිහු කාරක සභාවේදී පෙන්වා දුන්හ.
ජාතික තරුණ සේවා සභාව විසින් ආරම්භ කිරීමට නියමිත සිස්කෝ පරිගණක ජාලගත පාඨමාලාව ආරම්භ කිරීම සඳහා මූලික පහසුකම් සපුරා ගැනීමටත් පෙර , 2021 ජූලි 29 දින රුපියල් 15,708,178 ක් වැය කර උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාව එම ආයතනයේ නිලධාරින්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.
මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මධුර විතානගේ, ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරු සහ නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.
2025-11-27
රාජ්‍ය ආයතන සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ඊයේ (නොවැ. 26) හිමිවිය.ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ඩි.බි.පි.එච්. දිසාබණ්ඩාර, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස එම්.ඩි.සි.ඒ. පෙරේරා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි සභාපති ලෙස ඉංජිනේරු පි.වි.ඒ. හේමලාල් යන මහත්වරුන්ගේ පත්වීම් මෙලෙස උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීම සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූහ.
2025-11-27
රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ගියේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා ඇති උපකරණ මෙරටට ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා පවතින නීතිමය බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මුලීක වෙමින් ගත යුතු බව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා පැවසීය. ඒ එම කාරක සභාව 20.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙදින කාරක සභාවේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වූ 2025 අයවැය යෝජනාවල ප්‍රගතිය සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සිදු විය.මෙම රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීහු අදහස් දක්වමින් අදාළ උපකරණ නොමැතිව එම පරීක්ෂා කිරීම සිදු කිරීමේ අපහසුතාව කාරක සභාවේ අවධානයට යොමු කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා රජය මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති අතරම, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කරන රියදුරන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කළේය.තවද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීම සඳහා පවතින මෙවලම් විශේෂ අවශ්‍යතාවයක් පවතින ඒවා බැවින්, එම උපකරණ ප්‍රසම්පාදනය සඳහා ඇති නීතිමය බාධක ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා අයවැයගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් ලබා ඇති බව පොලිස් නිලධාරීන් කාරක සභාවට පැවසූහ. තවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීහු ද තම මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාවට දැනුම් දුන්හ.මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය යෝජනාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. 2025 වසරේ යෝජනාවල සැළකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, අත්හිටුවා තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ, ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2025-11-26
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කරන ලදී.ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් 21.11.2025 වන දින පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙරට ගුණාත්මකභාවයෙන් පහළ උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය. එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය.මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී. ඒ මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහතවද දේශීය විශ්වවිද්‍යාල වල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, චානක මාදුගොඩ, තුරෛරාසා රවිකරන්, සුනිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025-11-26
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අදාළ කාර්ය සාධන වාර්තා සහ වාර්ෂික වාර්තා 12ක් , රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා (18) සළකා බැලිණි.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ගේ සභාපතීත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 2022, 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ 2023 සහ 2024 කාර්ය සාධන වාර්තා, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ 2022 වසරට අදාළ වාර්ෂික වාර්තාව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙහිදී සළකා බැලිණි.තවද ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ 2022 සහ 2023 වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 2023 හා 2024 වසරවල වාර්ෂික වාර්තා, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ 2020,2021, 2022, 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ 2022 සහ 2023 වසර සඳහා වාර්ෂික වාර්තා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසර සඳහා වාර්ෂික වාර්තා, සිරකරු සුබසාධක අරමුදලේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා සහ ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුවේ 2023 සහ 2024 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙසේ සළකා බැලීම සිදුවිය. එම ආයතනවලට අදාළ විගණන විමසුම් පිළිබඳව ද මෙහිදී කාරක සභාව විමසීම් සිදුකළ අතර ඊට අදාළ නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. එසේම මෙම ආයතනවල වත්මන් කාර්යයන්, පවතින ගැටලු සහ අඩුපාඩු කෙරෙහිද මෙහිදී අවධානය යොමුවිය. වඩාත් කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් ඉහත ආයතනවල නෛතික රාමුවේ යම් සංශෝධන සිදු කිරීමට අවශ්‍යනම් කාරක සභාව දැනුවත් කරන ලෙසත් ඊට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. මෙහිදී ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ 2024 වසරේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අදාළව විගණකාධිපති වාර්තාවේ සඳහන් පුත්තලම අධිකරණයේ නීති ආධාර හා ප්‍රජා විශෝධක කාර්යාලය සඳහා ඉදිකරන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර නොතිබීම සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. මේ අනුව 2023 සහ 2024 වසර සදහා ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා හැර අනෙකුත් කාර්ය සාධන හා වාර්ෂික වාර්තා සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මුජිබුර් රහුමාන්, නීතීඥ තුෂාරි ජයසිංහ, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


