පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-11-13
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
ජාතික විගණන කාර්යාලයේ 2022 වසර සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අද (13) අනුමත විය.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස් විය.
2018 අංක 19 දරන විගණන පනතේ 35 වැනි වගන්තිය ප්‍රකාරව, ඉදිරි වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ යෝජිත කාර්ය වැඩසටහන ඉදිරිපත් කළ යුතුය. විගණකාධිපතිවරයාගේ විෂය පථයට ගැනෙන රාජ්‍ය ආයතන වලට අදාළව 2022 වසර තුළදී ඉටුකිරීමට සැලසුම් කරන ලද මූල්‍ය ප්‍රකාශන විගණන, කාර්ය සාධන විගණන ඇතුළු විගණන කාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවක් කිරීම සඳහා මෙම වාර්ෂික කාර්ය වැඩසටහන ඉදිරිපත් කර ඇත.
විගණකාධිපතිවරයා විසින් විගණනය කරන ලද අංශ වශයෙන් සඳහන් රාජ්‍ය ආයතන සංඛ්‍යාව 2024 ක් බවද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 (5) ප්‍රකාරව අය වැය ඉදිරිපත් කිරීමෙන් දින හතරක් ඇතුළත දී, විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් පසුව, සමස්ත වියදම සහ ආදායම කරා එළඹීමේදී පදනම වශයෙන් භාවිත කරන ලද බදුකරණය, මූල්‍ය සහ ආර්ථීක උපකල්පන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, එය ඉදිරිපත් කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳවද කාරක සභාවේදී සාකච්ජා විය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 (4) ප්‍රකාරව විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති හයක් ඇතුළතදී මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වන්නේද යන්න ඇතුළුව ඇස්තමේන්තු පිළිබඳ වාර්තාවක් රජයේ මුදල් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබීම සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී අවධානය යොමු විය.
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වන වගන්තියේ (1) වන උපවගන්තිය, 6 වන උපවගන්තිය සමඟ කියවිය යුතු, 20 වන වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද රෙගුලාසි අනුමත කිරීමද මෙම කාරක සභාවේදී සිදු විය.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ, අනූප පැස්කුවෙල් යන මහත්වරු සභභාගි වූහ. මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය ඇතුළු ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ.
2026-07-16
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත (National Youth Policy) සම්බන්ධයෙන් තාරුණ්‍යයේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු කෙරිණි.ඒ, තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ හයවන රැස්වීම ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.මෙහිදී ජාතික තාරුණ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර, තාරුණ්‍යයේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් වඩාත් ඵලදායී ලෙස ප්‍රතිපත්තියට ඇතුළත් කර ගැනීම සඳහා සංසදයේ සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමට ද අවධානය යොමු කෙරිණි.තරුණ ප්‍රජාවගේ හඬ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස එක්කර ගැනීම සඳහා තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය අඛණ්ඩව කටයුතු කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම සංසදය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය.
2026-07-16
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බන්ධනාගාර ආශ්‍රිත ගැටලු සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදි කිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීම, සේවා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි බඳවා ගැනීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය ඉහළ නැංවීම, නවීන තාක්ෂණික උපකරණ ලබා ගැනීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය විය.බන්ධනාගාර තදබදය පාලනය කිරීම හුදෙක් පරිපාලනමය කරුණක් නොව ජාතික වැදගත්කමක් සහිත කරුණක් ලෙස සලකා, අධිකරණය, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇතිව කටයුතු කිරීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ධර්මප්‍රිය විජේසිංහ, එම්.කේ.එම්. අස්ලම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, නීතිඥ තුෂාරි ජයසිංහ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මෙන්මගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන් සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
2026-07-13
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධාරණය කෙරිණි.කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 09) මෙම පැවති සංසද රැස්වීමේදී,පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම පිළිබඳවත්, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.එහිදී පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ නාමයෝජනා ලැයිස්තුවල මෙන්ම තේරී පත්වන මන්ත්‍රීවරුන් අතර ද අවම වශයෙන් 33%ක කාන්තා නියෝජනයක් තහවුරු වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව සංසදයේ අවධානය යොමු විය. මෙම යෝජනා ඉදිරියට ගෙනයාම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පැවැත්වීමට ද මෙහිදී තීරණය කෙරිණි.එමෙන්ම, කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා නාමයෝජනා ලැයිස්තු මට්ටමින් හෝ අනිවාර්ය ආසන වෙන් කිරීම මඟින් හෝ මිශ්‍ර මැතිවරණ ක්‍රමවේදයක් යටතේ සුදුසු නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ විකල්ප පිළිබඳව ද සංසදයේ සාමාජිකාවන්ගේ අවධානය යොමු විය.මීට අමතරව, දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේදී පවතින සමාජීය ආකල්ප, මැතිවරණ වියදම් සහ දේශපාලන පක්ෂවල සහයෝගය වැනි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළ අතර, කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණි කුමාරි විජේරත්න, නීතිඥ සාගරිකා අතාවුද, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ හසාරා ලියනගේ, දීප්ති වාසලගේ, අම්බිකා සාමිවේල්, නීතිඥ ගීතා හේරත් සහ නීතිඥ ලක්මාලි හේමවන්ද්‍ර යන මහත්මීහු සහභාගි වූහ.
2026-07-13
වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 08) රැස්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.රජය නියම කර ඇති සහතික මිලට අනුව වී මිල දී ගැනීම කාර්යක්ෂමව සිදු කිරීම, වංචා හා අක්‍රමිකතා වැළැක්වීම සහ ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.ව්‍යාපාරිකයන්, ගොවීන් ලෙස පෙනී සිටිමින් රජයට වී අලෙවි කිරීම වැළැක්වීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පොහොර ප්‍රතිලාභී ගොවීන්ගේ නාම ලේඛනය, වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත ලබාදීම පිළිබඳව ද මෙම රැස්වීමේදී අවධානය යොමු විය. එමෙන්ම ගොවියා වගා කළ අක්කර ප්‍රමාණය පදනම් කරගනිමින් ඔහුට අලෙවි කළ හැකි වී ප්‍රමාණය තහවුරු කිරීම මගින් වංචනික ලෙස වැඩි වී ප්‍රමාණයක් අලෙවි කිරීම වැළැක්විය හැකි බව ද පෙන්වා දෙන ලදී.වී මිල දී ගැනීමේදී බර අනුව ප්‍රමිතිගත ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු වූ අතර, රජයේ ගබඩා ධාරිතාව ඉහළ නැංවීම සඳහා සමුපකාර හා පෞද්ගලික ගබඩා කුලී පදනම මත ලබාගෙන ගබඩා පහසුකම් පුළුල් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.සමුපකාර සමිති හා වී අලෙවි මණ්ඩලය එක්ව සහතික මිලට වී මිලදී ගැනීම, ගබඩා පහසුකම් පුළුල් කිරීම සහ ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම මඟින් ගොවීන්ට වඩාත් කාර්යක්ෂම හා සාධාරණ සේවාවක් සැපයිය හැකි බව ද කාරක සභාව මෙහිදි අවධාරණය කරන ලදී.මීට අමතරව, කළුතර හා අම්පාර දිස්ත්‍රික්කවල පැරණි ඇළ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, ඒවා සංචාරක කර්මාන්තයට යොදා ගැනීමේ හැකියාව සහ වනජීවී හා පුරාවිද්‍යා රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ඉඩම් බලපත්‍ර ලබා දීමේදී පවතින නීතිමය හා ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, කෘෂිකර්ම සහ පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් යන මහත්වරුන් ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks