පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-09-16
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (15) ඉන්දීය ලෝක් සභාව විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවිධානය කරන ලද සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කථානායකවරුන්ගේ සම්මේලනය (AIPOC) විශේෂ ආරාධිතයෙකු ලෙස ඇමතීය.
“ඵලදායී හා අර්ථවත් ලෙස ප්රජාතන්ත්රවාදය පෝෂණය කිරීමෙහිලා ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය” යන තේමාව යටතේ පැවති මෙම සම්මේලනයේදී සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කථානායකවරුන්ගේ සම්මේලනයට වසර සියයක් සපිරීම මෙන්ම සෑම වර්ෂයකම සැප්තැම්බර් 15 වන දිනට යෙදෙන ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනය සැමරීම ද සිදුවිය.
ඉන්දියානු ලෝක් සභාවේ ගරු කථානායක ඕම් බිර්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මේලනයට අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සභාපති ඩුආර්ටේ පැචෙකෝ මහතා සහභාගී විය.
ඔස්ට්‍රියාව, ගයනාව, මාලදිවයින, සිම්බාබ්වේ, මොන්ගෝලියාව සහ නැමීබියාව ඇතුළු රටවල් කිහිපයක ජාතික ව්‍යවස්ථාදායකයන්හි ගරු කථානායකවරු මෙහිදී සම්මේලනය ඇමතූහ. ඉන්දීය ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරු ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මේලනයට සම්බන්ධ වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
සම්මේලනය අමතමින් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ අතීතයේ සිට මෙන්ම මෑත කාලීනව ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික හා ප්‍රජාතන්ත්‍රීක සහයෝගීතාව වඩාත් සුවිශේෂි බවයි.
"ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සර්ව ජන ඡන්ද බලය මඟින් තෝරා පත් කරගත් ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තුවයි. එමෙන්ම ලොව විශාලතම ප්රජාතන්ත්රවාදය ලෙස ඉන්දියානු ව්‍යවස්ථාදායකයන් බහු ආගමික, බහු වාර්ගික සමාජයක් තුළ ක්‍රියා කරන ආකාරය අසල්වැසියන් වශයෙන් අපට පමණක් නොව ප්රජාතන්ත්රවාදී පාලනය අගයන සමස්ත ලෝකයටම වටිනා පාඩම් රැසක් කියා දෙනවා” යැයි කථානායකවරයා මෙහිදී පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේදී මෙරට සිදුකළ ඓතිහාසික සංචාරයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ බව සිහිපත් කළ කථානායකවරයා පැවසුවේ එමඟින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් වූ බවයි.
පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් වඩාත් සක්‍රීය ලෙස සම්බන්ධ කර ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ වන විට විවෘත පාර්ලිමේන්තු සංකල්පය ක්‍රියාවට නංවා ඇති බවත් කථානායකවරයා මෙහිදී පැවසීය.
තවද මෑතකදී පිහිටුවන ලද සන්නිවේදන දෙපාර්තමේන්තුව හරහා ජනතාව සහ පාර්ලිමේන්තුව අතර සබැදියාව වැඩිදියුණු කිරීමට ද පියවර ගත් බව අබේවර්ධන මහතා පවසා සිටියේය. විශේෂයෙන් පාසල් දරු දැරියන් ඇතුළු මහජනතාව තුළ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුම පුළුල් කිරීමත් ඒ හරහා ප්රජාතන්ත්රවාදය ඔසවා තැබීමටත් හැකිවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
“තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව, ‘කෝප්’, ‘කෝපා’ ඇතුළු ඇතැම් කාරක සභා මාධ්‍ය සඳහා විවෘත කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තීරණය කළා. මෙය වඩාත් විනිවිදබවකින් සහ වගවීමකින් යුතුව පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමෙහි ලා වැදගත් පියවරක් වුණා” යැයිද කථානායකවරයා මෙහිදී පැවසීය.
එසේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ වඩාත් සක්‍රීය කාරක සභා ක්‍රමයක් ක්‍රියාත්මක වන බව පෙන්වාදු න් කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් හා සම්බන්ධ වෙමින් ඍජුව අදහස් හුවමාරු කර ගනිමින් ඒ ඒ විෂය පථයන්ට අදාළ ගැටලු විසඳා ගැනීම සඳහා අවස්ථාව හිමිවී ඇති බවත් පවසා සිටියේය.
පවතින කොවිඩ්-19 අභියෝගය මධ්‍යයේ වුවද යම් යම් සීමා කිරීම්වලට යටත්ව පාර්ලිමේන්තු කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකිවූ බව ද කථානායකවරයා මෙහිදී පැවසීය.
2026-11-20
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.
2026-11-20
වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026-11-20
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නැරඹීමට ස්ථාන 05 ක් විවෘත කර ඇති බවත්, බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථාන මෙන්ම දෙමටමල් විහාරය මෙලෙස විවෘතව පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මේ වන විට ලියාපදිංචි කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 137 ක් බව ද ඒවා ගලබැද්ද, මාලිගාවිල, බුදුරුවගල සහ බිබිල යන පුරාවිද්‍යා කලාප 04 කට අයත් වන බව ද අමාත්‍යවරයා කිවේය. මෙම කලාපවලට අයත් භුමි ප්‍රමාණය විග්රහ කළ අමාත්‍යවරයා, ගලබැද්ද කලාපයට වර්ග කිලෝමීටර 2000.1 ක්, මාලිගාවිල කලාපයට වර්ග කිලෝමීටර 1199.2 ක්, බුදුරුවගල කලාපයට 1426.2 ක් සහ බිබිල කලාපයට 713.1 ක් අයත් බව ද සඳහන් කළේය.නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ද, යුධගනාව පුරාවිද්‍යා ස්ථානයට විහාරස්ථානය මඟින් ද, දෙමටමල් විහාරයට විහාරස්ථානය මඟින් ද සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා තිබෙන බවත්, මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානයේ ඇති යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
2026-11-20
පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීමේ අරමුණින් “වන ඝනත්වය” ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 2023 වසරේ සිදු කරන ලද සංගණනය අනුව 29.47% ක් බැවින් පැරිස් ගිවිසුම අනුව 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 32% දක්වා ඉහළ දැමිය යුතුව ඇත. ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය ලෙස පියවර ගණනාවක් ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් වැඩිම වන ඝනත්වය මුලතිව් දිස්ත්‍රික්කයට හිමි අතර එය 62.20% කි. අඩුම වන ඝනත්වය වන 2.05% ගම්පහ දිස්ත්‍රික්කයට හිමිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. මෙලෙස, පාර්ලිමේන්තුවේ දී සභාගත කරන ලද පිළිතුරට අනුව, රජය බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ 'වනස්පති' වැඩසටහන යටතේ පසුගිය වසර දෙකක කාලයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර 113 ට හෙක්ටයාර 71990.26 ක් ඇතුළත් වෙයි. මීට අමතරව, රට තුළ සිදුවන වන විනාශය ඇතුළු වන අපරාධ වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කර ගනිමින් 2025 නොවැම්බර් මාසයේ සිට 'වන සුරැකුම' නමින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. එම විශේෂ මෙහෙයුම යටතේ 2025 නොවැම්බර් 03 සිට 2026 ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ සිදුවීම් 701 ක් වාර්තා වී ඇති අතර, ඉන් සිදුවීම් 216 කට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද සඳහන් වෙයි.වන ආවරණය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අතර, වනාන්තර ආශ්‍රිතව සිදු වන සතුන්ගේ තණ උලාකෑම හා කොළ අතු ආහාරයට ගැනීමෙන් ඇතිවන බලපෑම් මෙන්ම ගිනි තර්ජන පාලනය කරමින් ස්වාභාවික පුනර්ජනනයට අවස්ථාව සැලසීම, දේශීය ශාක විශේෂ රෝපණය කිරීම සහ ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීමට හා පාලනය කිරීමට කටයුතු කෙරෙයි.ජාතික වන ආවරණ සිතියම යාවත්කාලීන කිරීම මඟින් වන ආවරණයේ සිදුවන වෙනස්කම් හඳුනාගෙන අධීක්ෂණය කිරීම, වන විනාශය හා අනවසරයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම හඳුනා ගැනීම සඳහා භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සහ දුරස්ථ සංවේදන තාක්ෂණය භාවිත කොට වන විනාශය පාලනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, චන්ද්‍රිකා ඡායාරූප හා භූමි සමීක්ෂණ මඟින් වන ආවරණයේ වෙනස්කම් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම, වන ආවරණය අඩුවන ප්‍රදේශ හඳුනාගෙන අදාළ බලධාරීන් දැනුවත් කිරීම සහ වනාන්තරමය ඉඩම්, රක්ෂිත වනාන්තර හා සංරක්ෂණ වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කොට අයිතිය නීත්‍යානුකූල කිරීම ද සිදු කෙරේ.හායනයට ලක් වූ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීම හා නැවත වන වගා කටයුතු සිදු කිරීම මෙන්ම, වන ආවරණය සම්බන්ධ දත්ත විශ්ලේෂණය කර ඒ අනුව වන සංරක්ෂණ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම ද මෙම වැඩපිළිවෙළට ඇතුළත් වෙයි.තවද, වන ඉඩම් අනවසරයෙන් භාවිත කිරීම වැළැක්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන අතර, වන ආවරණය හා පාරිසරික පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සහ වන ව්‍යාප්ති කටයුතු ද ක්‍රියාත්මක කරනු ලබයි.මීට අමතරව, ප්‍රජාව සමඟ සම්බන්ධීකරණයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් ගොවි වන වගා හා ප්‍රජාමූලික වන වගා වැඩසටහන් පුද්ගලික අංශය සමඟ සහභාගීත්වයෙන් වන වගා සිදු කරන බව සභාගත කළ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වෙයි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



