පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-09-14
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙමින් තිබෙන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.
පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ජා විය.
එමෙන්ම වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විෂමතාව විසඳීම ප්‍රබල ගැටලුවක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ, ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලද ක්‍රමවත් කළ යුතු බවයි. අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
වර්තමානයේදී රාජ්‍ය භාෂා විශාල පරිහානියකට ලක්ව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සූම් තාක්ෂණය ඔස්සේ කාරක සභාව හා සම්බන්ධ වෙමින් පැවසීය. එමෙන්ම වර්තමානය වන විට ඉංග්‍රීසි භාෂාව මෙරට අධ්‍යයන භාෂාව බවට පත්වෙමින් පැවතීම සම්බන්ධවද හෙතෙම කාරක සභාවේ අවධානය යොමු කළේය.
ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සදහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 02 ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා (10) අනාවරණය විය. නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයේ කොටසක් ලෙස ඇතුළත් කළ යුතු බවටද යෝජනා විය. ළමා අයිතිවාසිකම් සම්බන්ධවද ඊට ඇතුළත් කිරීම ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනවිය සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වෙමින් පැවසුවාය. නීතිය සහ සමාජය අතර පවතින සම්බන්ධයද එය තුළින් නිරූපනය විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
පාසල් වලට අනුයුක්ත කර ඇති උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවටද මෙම කාරක සභාවේදී සාකච්ජා විය. උපාධිධාරින් 60000 න්, 18000 ක් දැනට පාසල් වලට අනුයුක්ත කර තිබෙන අතර, ඔවුන් ස්ථිර කිරීමට මේ වන විට යෝජනා වී ඇති ක්‍රමවේදය ගැටලු සහගත බවද මන්ත්‍රීවරුන් කාරක සභාවට පෙන්වා දුන්නේය. මේ වනවිට පාසල්වලට අනුයුක්ත කර ඇති ඇතැම් උපාධිධාරින් ඒ සඳහා කැමැත්තක් නොදක්වන බවද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙහිදී කීවේය.
ගරුවරුන්ගේ අභිමානය සුරකීමටද නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ජාතික පාසල් 1000ක් ඇති කිරීමේ ව්‍යාපෘතියට පාසල් තෝරා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ කාරක සභාවේදී තවදුරටත් සාකච්ඡා විය. ඒ සඳහා කටයුතු කර ඒ පිළිබඳව කාරක සභාවට පැහැදිලි කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතාට දැන්වීය.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තුවේ අධයපන අමාත්‍යාංශයීය කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන අනූප පස්කුවෙල්, යදාමිණි ගුණවර්ධන, ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්ම මහත්මීන්ද සභභාගී විය. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ සහ පියල් නිශාන්ත මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගෙවිදු කුමාරතුංග යන මහත්වරුද සූම් තාක්ෂණය ඔස්සේ කාරක සභාවට සම්බන්ධ වූහ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරිහු සහ ඊට සම්බන්ධ ආයතනයන්හි නිලධාරිහුද සූම් තාක්ෂණය ඔස්සේ මෙම කාරක සභා රැස්වීමට සභභාගී වූහ.
හය මසකට පසු රැස්වූ මෙම කාරක සභාව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යධූරයට පත්වීමෙන් අනතුරුව පැවැති පළමු අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වීම විශේෂත්වයකි.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks



