E   |     |  

2021-09-01

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වනවා - චීන කථානායකවරයාගෙන් මෙරට කථානායකවරයාට සහ රජයට සහතිකයක්

ශ්‍රී ලංකාවේ  ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය  ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වන බව චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ  දූත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර ඊයේ (31) පැවති රාජ්‍ය තාන්ත්‍රික හමුවේදීය.

චීනයේ තෙවැනි පුරවැසියා මෙන්ම චීන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු සේ සැලකෙන එරට මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා, මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු උප සභාපති (නියෝජ්‍ය කථානායක) වූ වේහුවා මහතා, චීන මුදල් අමාත්‍ය ලියු කුන් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වූ මෙම හමුව කොවිඩ් වසංගත තත්ත්වය පැමිණි පසු චීන පාර්ලිමේන්තුව පැවැත්වූ පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව වීම විශේෂත්වයකි.

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට ගරු කථානායකවරයාට අමතරව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තුවේ සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ , විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස්, තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ මහාචාර්ය රොහාන් ගුණරත්න යන මහත්වරු සහභාගී වූහ.

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝගයන් ජය ගැනීමට කථානායකවරයා විසින් චීන රජයේ සහය මෙහිදී ඉල්ලා සිටි  අතර, ඒ සදහා චීන ජනාධිපතිවරයාගේ ද උපදෙස් පරිදි උපරිම සහයෝගය ලබාදෙන බවට චීන කථානායකවරයා සහතික විය.

1957 වසරේදී ශ්‍රී ලංකා - චීන රාජ්‍ය තාන්ත්‍රික සබදතා විධිමත් ලෙස ආරම්භ වූදා පටන් චීන ශ්‍රී ලංකා මිතුදම වර්ධනය වූ බව කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ආර්ථික දියුණුවට මෙන්ම නොයෙකුත් අභියෝගාත්මක අවස්ථාවලදී   ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු වශයෙන් චීන රජය ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබදව කථානායකවරයා මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ජනතාව වෙනුවෙන්  සිය කෘතවේදීත්වය චීන රජය වෙත පළ කර සිටියේය. විශේෂයෙන්, පවතින කොවිඩ් තත්ත්වය  ජය ගැනීමට චීන රජය ලබා දෙන සුවිසල් සහය පිළිබද සිය විශේෂ ස්තූතිය පළ කළ කථානායකවරයා පවසා සිටියේ චීනය මිලියන 3ක එන්නත් ප්‍රමාණයක් මෙරටට ප්‍රදානයක් ලෙස ලබා දී ඇති බවත්, මේ අනුව මිලියන 18ක සම්පූර්ණ එන්නත් ප්‍රමාණයක් මෙරටට මේ වන විට ලබා දීමට කටයුතු කර ඇති බවයි.

තවද මීට වසර 07කට පෙර චීන ජනාධිපතිරයාගේ ද සහභාගීත්වයෙන් ආරම්භ වූ කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය මෙරට ආර්ථික සංවර්ධනයේ නව පර්ච්ඡේදයක ඇරඹුම සනිටුහන් කළ බව කථානායකවරයා පැවසීය.  කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය මෙන්ම  හම්බන්තොට වරාය ආශ්‍රිත අන්තර්ජාතික ආයෝජන තුළින් ශ්‍රී ලංකාව ඉදිරියේදී ලොව ආර්ථික ‍කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට මගපෑදෙනු ඇති බව සදහන් කළ කථානායකවරයා ඒ සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය කැපවීමෙන් කටයුතු කරන බවත් පැවසීය. එසේම මෙම ව්‍යාපෘති සදහා චීන ආයෝජකයන් දිරිගන්වන ලෙස චීන රජයෙන් තමා ඉල්ලා සිටින බවද කථානායකවරයා පැවසීය. මෙම ආයෝජන අවස්ථා සදහා ලෝකයේ සෙසු රටවලටද ආරාධනා කරන බව ද කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසිය.

දෙරට පාර්ලිමේන්තු අතර අන්තර් සම්බන්ධතාව සහ  සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා වූ අතර, චීන කථානායකවරයා ඇතුළු දූත පිරිසකට මෙරට සංචාරය කරන ලෙසද  කථානායකවරයා ආරාධනා කළේය. මෙරට කථානායකවරයා කළ ඉල්ලීම පිළිගත් චීන කථානායකවරයා  පැවසුවේ කොවිඩ් තත්ත්වය පහවීමත් සමග ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන බවයි. තවද කොවිඩ් තත්ත්වය පහව යාමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ දූත පිරිස් චීන සංචාරයකට එක්වෙතැයි තමා අපේක්ෂා කරන බවද චීන කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පැවසුවේ මෙරට කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීනය දක්වන සහය ප්‍රශංසනීය බවයි. තවද ජාත්‍යන්තර වේදීකාවේදී චීනය සැම විටම සමීප මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවත් ඉදිරියේදී ද මෙම සහයෝගය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් මෙහිදී පැවසූවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, උපරිමාධිකරණ සංකීර්ණය,  අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති රැසක් චීන රජයේ මැදිහත් වීමෙන් මෙරටට ලැබුණු බවයි.

එසේම පවතින ආර්ථික අභියෝගය ජය ගැනීමට දෙරට මහබැංකු අතර  ඇ.ඩො. බිලියන 1.5 ක මූල්‍ය හුවමාරුවට අදාළ ගිවිසුමේ යම් තාක්ෂණික කරුණු නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති පසුබිමක ඒ පිළිබද කාරුණික අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා චීන   කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.  තවද ශ්‍රී ලංකා චීන නිදහස් වෙළද ගිවිසුම යටතේ ඇඟලුම් , තේ සහ මැණික් වැනි කර්මාන්ත ක්ෂේත්‍රවලට චීන වෙළදපළට ප්‍රවිශ්ට වීම සදහා පහසුකම් පුළුල් කර දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරය ආශ්‍රිතව පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බවද මෙහිදී මුදල් අමාත්‍යවරයා පැවසීය. තවද මෙරට ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා පවසා සිටියේය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ආයෝජන සදහා චීන ආයෝජන පහසුකම් සලසන බව මෙහිදී චීනයේ මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා පැවසීය. එසේම චීනයේ සමීප මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකට උපරිම සහයෝගය ලබා දෙන බවත් මෙම සාකච්ඡාව වඩාත් පුළුල් ලෙස  ඉදිරියට ගෙන යාමට කැපවන බවත් චීන කථානායකවරයා මෙහිදී සහතික විය. පවතින කොවිඩ් තත්ත්වය පහවීමත් සමග දෙරට අතර දූත පිරිස්වල සංචාරයන් මගින් අන්‍යෝන්‍ය සහයෝගීතාව  වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීමට හැකිවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

චීන මහජන කොන්ග්‍රසයේ  ස්ථාවර කමිටුවේ මහලේකම් යැං ෂෙන්වු, මහජන කොන්ග්‍රසයේ  ව්‍යවස්ථාවේ සහ නීති කමිටුවේ සභාපති මෙන්ම මහජන කොන්ග්‍රසයේ  චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති  ලී ෆෙයි , මහජන කොන්ග්‍රසයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති ෂැං යේසුයි,   මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ නියෝජ්‍ය මහලේකම් හූ ෂියාඕලි , විදේශ කටයුතු සහකාර අමාත්‍ය, ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ ජියෑංගාවෝ, මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ පර්යේෂණ කාර්යාලයේ අධ්‍යක්ෂ සොන්ග් රූයි යන මහත්වරුද චීන දූත පිරිස නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1.jpg 2

3 4

5 6

7 8

9 10

11

 



සම්බන්ධිත පුවත්

2026-09-01

ගරු කථානායකතුමා කාම්බෝජයේ පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුවට සහභාගී වෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජනක සෙනරත්න මහතා සමඟින්, 2026 අගෝස්තු මස 26 සිට 28 දක්වා කාම්බෝජයේ නොම් පෙන් නුවර GDT සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුව (ISC-2) සඳහා සහභාගී වූහ.කාම්බෝජ සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ඕෂනියාව සහ ලතින් ඇමරිකාව නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක ආයතනවල නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම් රැසක් සහභාගී වූහ.“සාමය සහ හවුල් සමෘද්ධිය සඳහා සහයෝගීතාව: ජාත්‍යන්තර නීතිය ශක්තිමත් කිරීම සහ ගැටුම් සාමකාමීව විසඳීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.කාම්බෝජ රාජකීය මාලිගයේදී එරට රජු වන අතිගරු ‘Preah Samdech Preah Boromneath Norodom Sihamoni’ හමුවීමෙන් අනතුරුව සමුළුවේ නිල කටයුතු ආරම්භ විය. එහිදී ISC-2 සමුළුවේ සභාපති මෙන්ම කාම්බෝජ සෙනෙට් සභාවේ සභාපති වන ගරු ‘Samdech Akka Moha Sena Padei Techo Hun Sen’ මහතා සමඟ සුහද හමුවක් ද පැවැත්විණි. මීට අමතරව, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ගරු ‘Samdech Mohaborvor Thipadei Hun Manet’ මහතා සමඟ ද සුහද හමුවක් පැවැත්විණි.සමුළුවේ ප්‍රධාන විවාද සැසිය අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා වැදගත් සහ ශක්තිමත් මැදිහත්වීමක් ලෙස පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේදී ව්‍යවස්ථාදායක ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ යුතු බවත්, දැඩි දේශපාලනික මතභේද පවතින අවස්ථාවලදී පවා විශ්වාසය ගොඩනැගීම සඳහා සන්නිවේදන මාර්ග විවෘතව පවත්වාගෙන යා යුතු බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.තවද, සැබෑ සහ තිරසාර සාමය යනු යුද්ධයක් නොමැති තත්ත්වයක් පමණක් නොවන බව අවධාරණය කළ ගරු කථානායකතුමා, එවැනි සාමයක් යුක්තිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ කිසිදු පුරවැසියෙකු අත් නොහැරෙන සියල්ලන් ඇතුළත් සංවර්ධනය මත පදනම් විය යුතු බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වභාවික පිහිටීම පිළිබඳව ද අවධානය යොමු කළ ගරු කථානායකතුමා, නොබැඳි ප්‍රතිපත්තිය, මිත්‍රත්වය සහ සාමකාමී සහජීවනය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය යළි අවධාරණය කළේය.දේශසීමා නොතකන දේශගුණික විපර්යාස, සයිබර් අපරාධ සහ ආහාර අනාරක්ෂිතතාව වැනි නූතන අභියෝග කිසිදු රටකට තනිව විසඳිය නොහැකි බවත්, ඒ සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ ඒකාබද්ධ සහයෝගීතාවක් අවශ්‍ය බවත් ගරු කථානායකතුමා පෙන්වා දුන්නේය.සිය දේශනය අවසන් කරමින් ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අඛන්ඩ සහයෝගය අවධාරණය කළේය. ගෝලීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම තුළින් පුළුල් සමාජ සාධාරණත්වයක් සහ හවුල් ආර්ථික සමෘද්ධියක් ළඟා කර ගත හැකි බව ද එතුමා පෙන්වා දුන්නේය.කාම්බෝජයේ රැඳී සිටි කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක ගරු මිල්ටන් ඩික් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක් විය.එහිදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.පාර්ලිමේන්තු අත්දැකීම් සහ යහභාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම වැඩිදුර අන්තර් සබඳතා සහ සහයෝගීතාව තුළින් දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.එමෙන්ම, ගරු කථානායක වික්‍රමරත්න මහතා නේපාල ජාතික සභාවේ සභාපති ගරු නාරායන් ප්‍රසාද් දහල් මහතා ද හමුවිය. එහිදී ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දීර්ඝකාලීන සහ සුහද සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර, විශේෂයෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. එසේම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.සමුළුව අවසානයේ “නොම් පෙන් ප්‍රකාශනය” (Phnom Penh Declaration) නිල වශයෙන් සම්මත කර ගන්නා ලදී. ජාත්‍යන්තර මතභේද සාමකාමීව විසඳීම සඳහා ඒකාබද්ධ ව්‍යවස්ථාදායක රාමුවක් තහවුරු කිරීම මෙම ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණක් විය. කාම්බෝජ ජාතික සභාවේ සභාපති ගරු ‘Samdech Maha Rathsapheathika Thipadei Khuon Sudary’ මහත්මිය විසින් සමුළුවේ සමාප්ති දේශනය සිදු කරන ලදී.


2026-08-28

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත ය. ගරු කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (අගෝ. 20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. මේ අනුව සැප්තැම්බර් 8 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අති විශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම  සඳහා කාලය වෙන් කර  ඇත.සැප්තැම්බර් 9  බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 සිට  පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව.  11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.සැප්තැම්බර් 10  බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමතිය සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව  සඳහා කාලය වෙන් කර  ඇත.සැප්තැම්බර් 11 සිකුරාදා  පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා කාලය පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා වෙන් කර ඇත. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමනලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට ය‍ටත් කිරීමඅජිත් පී. පෙරේරා මහතාශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම(ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාදියගම වනාන්තරය ආරක්ෂා කිරීමසුජීව දිසානායක මහතාපරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීමනන්ද බණ්ඩාර මහතාකඳුකර ප්‍රදේශවල ආහාර බෝග වගා කිරීමටී. කේ. ජයසුන්දර මහතාකිතුල් කර්මාන්තය නගා සිටුවීම(ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.


2026-08-28

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහනක් නවදිල්ලි නුවරදී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම  ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව  උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව  වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ  අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ.  මෙම වැඩසටහන සාර්ථක  කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම  මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.


2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks