E   |   த   |  

2021-08-12

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මිශ්‍ර මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධාරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සංධානය සහ පොදුජන එක්සත් පෙරමුණ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සිය යෝජනා ලිඛිතව ඊයේ (11) භාර දුන්නේය.

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු එම යෝජනා සිය පක්ෂ වෙනුවෙන් කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දුන්හ. රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද මේ අවස්ථාවට එක්විය.

වර්තමානයේදී මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීවේය. විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය බවත්, ජනාධිපතිධූරයට ද්විත්ව පුරවැසියන් පත්වීම වළක්වාලීමට නිසි ක්‍රමවේද සැකසිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනකදී පැවැත්වීමට ඇති හැකියාවත්, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එකම දිනෙක පැවැත්වීමට ඇති හැකියාවත් පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

පළාත් සභා බලය විමධ්‍යගත කිරීමේදී දිස්ත්‍රික් සභා ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවද ජයසේකර මහතා මෙහිදී අවධාරණය කළේය.

දේශපාලන පක්ෂ සන්ධානගත වීමේදී ඊට අදාළ අවබෝධතා ගිවිසුම් ඇතුළු ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට ලබා දීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් අදහස් දැක් වු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාවේදී කීවේය. මැතිවරණවලදී සෑම පක්ෂයකටම සාධාරණ ප්‍රචාරණ අවස්ථා පැවතිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරණ වියදම් අවම කිරීම වෙනුවෙන් නව ප්‍රතිසංස්කරණ වලදී විශේෂ අවධානයක් යොමු විය යුතු බවයි. මුදල් වියදම් කර මැතිවරණ ජයග්‍රහණය කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේදී මතුව ඇති අතර, එම තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පුළුල් අවධානයක් යොමු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසුවේ, සියලු ජන කොටස් වල අයිතීන් ආරක්ෂා වන පරිදි නව මැතිවරණ ක්‍රමවේදයක් රටතුළ ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි. රාජ්‍ය දේපළ අවභාවිත කිරීම වැලැක්වීමේ වැදගත්කමද මහාචාර්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සුළුජන කොටස්වල අයිතීන් ආරක්ෂාවන පරිදි මැතිවරණ ක්‍රමය පැවතිය යුතු බව කාරක සභාවේදී අදහස් දැක්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. වතු කම්කරු ජනතාවගේ නියෝජනය තහවුරු කළ යුතු බවද ඔවුහු පැවසූහ.

කාරක සභාවේදී අදහස් දැක් වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පැවසුවේ නිසි වේලාවට මැතිවරණ පැවැත්වීම ඉතා වැදගත් බවයි. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර, පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කළ යුතු බවටද ඔවුහු යෝජනා කළහ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මුස්ලිම් ජාතික සංධානය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ අරුණලු ජනතා පෙරමුණද කාරක සභාව හමුවේ යෝජනා ඉදිරිපත් කළේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්‍ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාද කාරක සභාව හමුවේ සිය යෝජනා ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු පැවසුවේ දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට නව ප්‍රතිසංස්කරණ වලදී පුළුල් අවධානයක් යොමු කළ යුතු බවයි. ලොව බොහෝ රටවල් විද්‍යුත් ඡන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයට යොමු වී තිබෙන අතර, නියාමන ව්‍යාපෘතියක් ලෙස එම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළද අත්හදා බැලිය යුතු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයෝ කාරක සභාවේදී යෝජනා කළහ.

එමෙන්ම මීළඟ කාරක සභා රැස්වීම අගෝස්තු 18 වැනිදා පැවැත්වීමට නියමිත බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය පැවසුවාය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්‍ය ජී.එල්. පීරිස්, එම්.යූ.එම්. අලි සබ්‍රි යන මහත්වරුද, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ සහ සාගර කාරියවසම්, යන මහත්වරුද සහභාගි වූහ.

මේ අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාව, සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද සභභාගී වූහ.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-11-20

ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි තීරණ ගැනීම සහතික කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අවධාරණය කරන ලදී.පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 18) රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් බෙදා හරින පෞද්ගලික සමාගමක් විසින් ගෑස් සිලින්ඩරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබිණි.ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදු වන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් තමන් මේ සඳහා මැදිහත් වූ බව සඳහන් කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා, ගෘහස්ථ ගෑස් සඳහා මිල තීරණය කිරීමේ බලය තම අධිකාරියට නොමැති බව ද පැවසීය. එසේ වුවද, අදාළ පෞද්ගලික සමාගම සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මිල අඩු කිරීමට පියවර ගත් බව ද ඔහු කාරක සභාවට පැවසුවේය.ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හරින අදාළ පෞද්ගලික සමාගමට වෙළෙඳපොළේ හිමි කොටස අඩු බැවින්, එම සමාගමට ගෑස් වැඩි මිලකට මිලදී ගැනීමට සිදු වන බවත්, ඒ අනුව මිලදී ගත් මිලට සාපේක්ෂව ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදු වූ බවත් එම සමාගම තමන්ට පැහැදිලි කළ බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කෙසේ වෙතත්, ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සැපයුමට බාධා ඇති නොවන බවට සහතික කරන ලෙසත්, මිල ඉහළ යාම් හේතුවෙන් පාරිභෝගිකයින් පීඩාවට පත් නොවන බවට වගබලා ගන්නා ලෙසත් කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් කිත්සිරි, එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ ඥානමුත්තු ශ්‍රීනේසන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-11-20

ආගමන පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

 පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආගමන පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, කාරක සභා අවස්ථාවේ සංශෝධනවලට යටත්ව මෙම අනුමතිය ලබා දීම සිදු විය.    එම කාරක සභාව එහි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ආගමන පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කෙරිණි. කාරක සභා සාමාජික මන්ත්‍රීවරු, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ ද   මෙම රැස්වීමට සහභාගී වූහ.(351 වන අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත සහ 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර සහ පිටවීමේ අවසර පනත යන පනත් දෙකම ඉවත් කරමින්, වර්තමාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි මෙම නව පනත හඳුන්වා දෙනු ලබන බවත් නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු සහ සංශෝධන සියල්ල කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත්, විශේෂයෙන්ම, ජෛවමිතික තොරතුරු (Biometric Data) ලබා ගැනීමේදී සහ ගබඩා කිරීමේදී පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට (Personal Data Protection Act) අනුකූල වන පරිදි නෛතික සුරක්ෂිතතාව තහවුරු කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.එසේම පාලක, නියෝජ්‍ය පාලක සහ බලයලත් නිලධාරී වැනි පැරණි තනතුරු වෙනුවට පාලක ජනරාල්, අතිරේක පාලක ජනරාල් සහ ආගමන නිලධාරීන් ලෙස තනතුරු නාමයන් යාවත්කාලීන කර ඇති බව මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. එමෙන්ම, නීති විරෝධී ලෙස මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන මඟින් බලය පවරනු ලබන ත්‍රිවිධ හමුදා සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට (Coast Guard) ද සීමිත බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සලසා තිබේ.තවද, ශ්‍රී ලංකාවෙන් නීත්‍යානුකූලව පිටවී වෙනත් රටකදී ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් සිදු කරන මනුෂ්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ නඩු පැවරීමටත්, එවැනි සංවිධානාත්මක නීති විරෝධී ක්‍රියාවලට අදාළ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමටත් නව පනතින් බලතල පැවරේ. එසේම විදේශ ගමන් බලපත්‍රවල මුද්‍රා තැබීමකින් තොරව භාවිත කළ හැකි ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික ද්වාර (E-Gates) ක්‍රියාත්මක කිරීම ඇතුළු තාක්ෂණික අවශ්‍යතා සදහා නෛතික රාමුව මෙමඟින් සපයා ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වන විදේශිකයන් සඳහා මෙරට වීසා ලබා දීමේදී ඇති නෛතික තත්ත්වයන් සහ ඊට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. 


2026-11-18

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැරණි අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ දිගුකාලීනව නිරවුල් නොවූ අත්තිකාරම් ගිණුම් හතරක කාරක පාඩු කපා හැරීම සඳහා එකඟතාවය ලබා දීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (නොවැ. 17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී සිදු විය.ඒ අනුව, 1996 වර්ෂයේදී අවසන් කරන ලද අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට අදාළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 23.97 ක පාඩුවක් ද, වැලිසර කෘෂිකාර්මික වැඩපළ මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 5 ක පාඩුවක් ද, කෘෂිකාර්මික අලුත්වැඩියා වැඩපළ අත්තිකාරම් ගිණුමේ රුපියල් මිලියන 35.7 ක පාඩුවක් ද, නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමේ රුපියල් 421,884 ක පාඩුවක් ද නිරවුල් කිරීම පිළිබඳව මෙහිදී සලකා බැලිණි.මෙම ගිණුම්වල දිගුකාලීනව පවතින පාඩු සහ ගිණුම් ශේෂයන්හි නොගැළපීම් නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කාරක සභාව, අදාළ ගිණුම්වල පාඩු කපා හැරීමට සහ ශේෂ වෙනස්කම් නිවැරදි කිරීමට එකඟතාව පළ කළේය.එමෙන්ම, මෙවැනි ගිණුම් ගැටලු අනාගතයේදී ඇති වීම වළක්වා ගැනීම සඳහා විධිමත් ගිණුම් පවත්වාගෙන යාම, නිසි විගණන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කුමාර නවරත්න, ලාල් ප්‍රේමනාත්, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, කවීන්දිරන් කෝඩීස්වරන්, සුනිල් රත්නසිරි සහ රුවන්තිලක ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-11-18

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ මූල්‍ය අර්බුදය විසඳීමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ‘කෝපා’ අනු කාරක සභාවේ අවධානය

ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද සමූපකාර ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වන අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ දී රැස් විය.ගම්පහ දිස්ත්‍රික් “සණස” සංගමයේ කළමනාකරණ දුර්වලතා පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කරුණු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, සංගමයේ මුදල් අදාළ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනවල ආයෝජනය කිරීම හේතුවෙන් මතුව ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එම ආයෝජන හේතුවෙන් සාමාජිකයන්ගේ මෙන්ම බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය.තවද, සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ හා නියාමන ක්‍රියාවලියේ පැවති දුර්වලතා, සංගමයේ වත්කම් නිරවුල් කිරීමේ ගැටලු, අධිකරණ තහනම් නියෝග සහ අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීම සඳහා සංගමය සතු වත්කම් තක්සේරු කර ඒවා විකිණීමේ හැකියාව සොයා බැලීම, අධිකරණය මඟින් පනවා ඇති වත්කම් බැහැර කිරීමේ තහනම් නියෝග ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ දැනට පවතින මුදල් තැන්පත්කරුවන් අතර සාධාරණ පදනමකින් බෙදා හැරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, අනුමත නොකළ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අධිභාර අයකර ගැනීම, අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නිම නොකළ ව්‍යාපෘති අවසන් කර ඒවායින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තැන්පත්කරුවන්ගේ මුළු තැන්පතු මුදල ආපසු ලබා දීම සඳහා පැහැදිලි හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සමඟ ද මෙහිදී සාකච්ඡා සිදු විය.මෙම රැස්වීම සඳහා අනු කාරක සභාවේ ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ තුෂාරි ජයසිංහ, ‍ටී. කේ. ජයසුන්දර සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks