E   |   த   |  

2021-06-30

පුවත් කාණ්ඩ : පුවත් 

ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය වෙනුවෙන් කථානායකතුමා විසින් නිකුත් කළ පණිවිඩය

ගෝලීය කොවිඩ් 19 අභියෝගය අභිමුව අපේ පාර්ලිමේන්තුවේ අනාගත  දිශානතිය

 

අද ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනයයි. සෑම වසරකම ජූනි  30 වැනිදා ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය සැමරීමට ලොව අනෙකුත් රටවල් මෙන්ම ලොව ඉපැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයකට හිමිකම් පවසන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද අභිමානයෙන් යුතුව එක්වෙයි. එපමණක් නොව, 1931 දී සර්වජන ජන්ද බලය දිනාගත් රටක් ලෙස ලෝක ඉතිහාසය ට එක්වු ශ්‍රී ලංකාව 1960 ජූලි 21 වැනිදා සිය ජන්ද බලය භාවිත කරමින්  තවත් ලෝක වාර්තාවකට දායක වූයේ මුළු මහත් ලෝක දේශපාලන ඉතිහාසයේ ම ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ මැතිනිය බලයට කැදවාගෙන ඒමට තරම් ප්‍රගතිශීලී පියවරක් වෙත යොමුවෙමිනි.

අන් සෑම වසරක මෙන්ම මෙම ජූනි 30 වැනිදා  ද ලෝක පාර්ලිමේන්තු  දිනය සැමරෙනුයේ  පිහිටුවාගන්න ලද ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 179ක සහභාගීත්වයෙන් 1889දී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකයන්ගේ එකමුතුවෙනි.  එම සංගමයේ  මූලික  අරමුණ වන්නේ සිය සාමාජිකයින් අතරෙහි , ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, වගකිවයුතු බව,  සහයෝගීතාවය මෙන්ම ව්‍යවස්ථාදායකයන්හි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව  මෙන්ම තරුණ සහභාගිත්වය සවිබල  ගැන්වීම ආදී  තිරසර  ඉලක්කයන් සුරැකීමට දායකත්වය සැපයීම යි.

පුරවැසියන්ගේ ජන්දයේ බලයෙන් අප බහුතරයක් දෙනා නියෝජනය කරන පාර්ලිමේන්තුව නම් ශක්තිමත්  ආයතනය  මෙරට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ  තිරසර පදනමයි. මහජන නියෝජිතයන් ලෙස අප පෙනී සිටින්නේ ලාංකික ජනතාවගේ හඬ වෙනුවෙනි. එනයින්ම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙරට නීති සම්පාදනය, මූල්‍ය පාලනය, අධීක්ෂණය සහ විමර්ශනය සහ මහජන නියෝජනය සිදු කරන ප්‍රධාන ආයතනය වෙයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මෙරට නීති සම්පාදනය සහ සංශෝධනය අරබයා සිය මූලික වගකීම් ඉටුකිරීම‍ට ව්‍යවස්ථාදායකයට ඔබ පත්කර යවන මහජන නියෝජිතයන් හට පැවරෙයි. නිදර්ශනයකට පවතින කොවිඩ් 19 අර්බුදය හමුවේ නව නීති හා පනත් සම්පාදනය අවශ්‍ය යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින්  සදහන් කෙරෙතත්, නීති කෙටුම්පත්කරණ ක්‍රියාවලිය ගැඹුරෙන් විමසා බලා සම්මත කර ගැනීමේ වගකීම පැවරෙනුයේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන නිතී සම්පත්දායකයන් වෙත ය.

මූල්‍ය පාලනය පිළිබඳ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය හතළිස් අට වන ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මුදල් පිළිබඳ පූර්ණ බලතල පාර්ලිමේන්තුව සතු ය. අයවැය  අනුමත කිරීම ඉන් ප්‍රධාන වේ.  මෙරට  සියලු අනාගත  සැලසුම් කෙරෙහි බලපාන රජයේ  ආර්ථික ප්‍රතිපත්තිය හා රජයේ ආර්ථික යෝජනා  සියල්ලෙහි දිශානතිය තීරණය වන්නේ  රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පූර්ණ වගකීම දරන පාර්ලිමේන්තුව මගිනි.

විමර්ශන සහ අධීක්ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වැඩි වැඩ කොටසක් ඉටු කරනු ලබන අංශයක් ලෙස කාරක සභා ක්‍රමය හෙවත් කුඩා පාර්ලිමේන්තු හඳුන්වා දිය හැකිය. එය ලෝකය පුරා පාර්ලිමේන්තු විසින් අනුදත් සාර්ථක ක්‍රමයකි. ව්‍යවස්ථාදායකයට ඔබ පත් කර එවන පාර්ලිමේන්තු නියෝජිතයින්  මෙහිදී පක්ෂ භේදයෙන් තොරව  දිගු කලක් ගත කරමින් සංවාද කරති. ඔවුන් පමණක්  නොව , අදාළ ක්ෂේත්‍රයෙහි විශේෂඥයන්  හා ජනමාධ්‍යවේදීන් වෙතද  අපි අපේ කාරක සභාවන්හි දොරගුළු විවර කර ඇත්තෙමු .

එපමණක් නොව, අපේ පාර්ලිමේන්තුව මහජන පරමාධිපත්‍යය නියෝජනය කරන නියෝජිතයින් 225කගේ  සංයුතියෙන් යුතුව, මහජනතාවගේ  මහජන අභිලාෂ සහ පරමාර්ථ  නියෝජනය කරයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සභා ගර්භයේ සැලකිය යුතු කාලයක් වෙන් කරන්නේ මහජන ප්‍රශ්න වෙනුවෙනි. අග්‍රාමාත්‍යවරයාට හෝ අදාළ අමාත්‍යවරයාට එම ප්‍රශ්න යොමුකර පිළිතුරු ලබා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් අප  පාර්ලිමේන්තුව  සතුය.

එමෙන්ම, ලොව සෑම රටකම මෙන්ම අපේ පාර්ලිමේන්තු ව ද දේශීය  මෙන්ම අන්තර්ජාතික මට්ටමේ දී  ද සහයෝගය අවශ්‍ය ජන ප්‍රජාව  වෙනුවෙන්  සුහුරු  න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරයි. නිදර්ශනයකට , 2030 තිරසර සංවර්ධන ඉලක්ක සදහා  අපද ඇතුළත් ව සියලු පාර්ලිමේන්තු   කටයුතු  සදහා ප්‍රවේශ වන ආකාරය දැක්විය හැකිය .

ලෝකයේ සෙසු පාර්ලිමේන්තු සියල්ල අතරින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව  අතිශය සුවිශේෂී වන්නේ එහි ප්‍රජා  සමීපස්ථ  ස්වභාවය නිසාය. ලොව කීර්තිමත්  ගෘහ නිර්මාණ ශිල්පියෙකු ජෙෆ්රි බාවාගේ සැලසුම්කරණයක් වන අපේ පාර්ලිමේන්තුව පූර්ව කොවිඩ්  අවධියේ දී    දෙස් විදෙස් නරඹන්නන්ගෙන් පිරී ඉතිරී නොගිය දිනයක් මගේ දේශපාලන ඉතිහාසයෙහි මට මතක නැත. එසේ වුවද ,  අප සියලු දෙනා අනපේක්ෂිත ලෙස මුහුණ පෑ මේ වසංගතය ඉදිරියෙහි අප සියලු දෙනාටම සෞඛ්‍යය රෙගුලාසි වලට අනුකූලව-අගුළුදැමූ සමයන්හි හෝ සමාජ දුරස්ථභාවය රඳවාගෙන හෝ කටයුතු කිරීමට සිදුව තිබේ.  එක් පසෙකින් දුර බැහැර පාසලකින් හෝ ගම්මානයකින් පාර්ලිමේන්තුව දකින්නට එන සිසු දරුවන් හෝ වැඩිහිටියන් අපට මුණ නොගැසීම අඩුවකි. එනමුත්, වෙනදා මෙන් නොව අන්තර්ජාලය නවෝත්පාදනීය  ලෙස නිර්මාණශීලිව යොදාගනිමින්  අපට  පාර්ලිමේන්තුවේ දිනපතා  කටයුතු අඛණ්ඩව , බාධාවකින් තොරව  පවත්වාගෙන යන්නට ලැබීම ජයග්‍රහණයකි.

මේ නිසා, තවමත් නූතන  විද්‍යාව පවා නොහදුනන  විනාශකාරී වසංගතයක්  ඉදිරියේ, හදිසි තත්ත්වයන් හමුවේ අපේ පාර්ලිමේන්තුවේ භූමිකාව වඩාත් වැදගත් හා තීරණාත්මක බවට අප අවධාරණය කරන්නේ එහෙයිනි. අදට පමණක් නොව පශ්චාත් කොවිඩ් තත්වයන්ටද  රටක් වශයෙන් හැඩ හැඩගැසීම සඳහා  නීති සම්පාදනය හා වෙනත් ක්‍රියාකාරිත්ව මගින් නිසි දිශානතිය පෙන්වාදිය යුත්තේ පාර්ලිමේන්තුවයි.

ඒ මාර්ගය පහසු එකක් නොවන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මගේ කියැවීමයි. එනමුත්, මා අදහන බුද්ධ දර්ශනය අනුව, ප්‍රජාව පීඩාවට පත් නොකර අපි  මේ ගමන සාමුහිකව, අප්‍රමාදව යා යුතු වෙමු. එසේ වුවහොත්, නිසි කලට වැසි වසිනු ඇත, අස්වැන්න සරු වනු ඇත, අප සියලු දෙනා පක්ෂ පාට කුල ගොත් භේද නොතකා තැනිය යුතුයැ යි විශ්වාස කරන යහපත් දේශය ගොඩ නැංවිය හැකි දිනය නුදුරේදී උදාවන්නා වූ අනාගතයේ දිනකය.

 



සම්බන්ධිත පුවත්

2026-11-20

2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා  ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.


2026-11-20

වැව් ආශ්‍රිත අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2,196 ක්

වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්‍ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2026-11-20

මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන 05 ක් දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නැරඹීමට ස්ථාන 05 ක් විවෘත කර ඇති බවත්,  බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථාන මෙන්ම දෙමටමල් විහාරය මෙලෙස විවෘතව පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මේ වන විට ලියාපදිංචි කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 137 ක් බව ද ඒවා ගලබැද්ද, මාලිගාවිල, බුදුරුවගල සහ බිබිල යන පුරාවිද්‍යා කලාප 04 කට අයත් වන බව ද අමාත්‍යවරයා කිවේය. මෙම කලාපවලට අයත් භුමි ප්‍රමාණය විග්‍රහ කළ අමාත්‍යවරයා, ගලබැද්ද කලාපයට වර්ග කිලෝමීටර 2000.1 ක්, මාලිගාවිල කලාපයට වර්ග කිලෝමීටර 1199.2 ක්, බුදුරුවගල කලාපයට 1426.2 ක් සහ බිබිල කලාපයට 713.1 ක් අයත් බව ද සඳහන් කළේය.නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ද, යුධගනාව පුරාවිද්‍යා ස්ථානයට විහාරස්ථානය මඟින් ද, දෙමටමල් විහාරයට විහාරස්ථානය මඟින් ද සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා තිබෙන බවත්, මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානයේ ඇති යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


2026-11-20

පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා “වන ඝනත්වය” ආරක්ෂා කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග රැසක්

පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීමේ අරමුණින් “වන ඝනත්වය” ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි. ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 2023 වසරේ සිදු කරන ලද සංගණනය අනුව 29.47% ක් බැවින් පැරිස් ගිවිසුම අනුව 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 32% දක්වා ඉහළ දැමිය යුතුව ඇත. ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය ලෙස පියවර ගණනාවක් ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් වැඩිම වන ඝනත්වය මුලතිව් දිස්ත්‍රික්කයට හිමි අතර එය 62.20% කි. අඩුම වන ඝනත්වය වන 2.05% ගම්පහ දිස්ත්‍රික්කයට හිමිය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. මෙලෙස, පාර්ලිමේන්තුවේ දී සභාගත කරන ලද පිළිතුරට අනුව, රජය බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ 'වනස්පති' වැඩසටහන යටතේ පසුගිය වසර දෙකක කාලයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර 113 ට හෙක්ටයාර 71990.26 ක් ඇතුළත් වෙයි. මීට අමතරව, රට තුළ සිදුවන වන විනාශය ඇතුළු වන අපරාධ වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කර ගනිමින් 2025 නොවැම්බර් මාසයේ සිට 'වන සුරැකුම' නමින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. එම විශේෂ මෙහෙයුම යටතේ 2025 නොවැම්බර් 03 සිට 2026 ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ සිදුවීම් 701 ක් වාර්තා වී ඇති අතර, ඉන් සිදුවීම් 216 කට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද සඳහන් වෙයි.වන ආවරණය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අතර, වනාන්තර ආශ්‍රිතව සිදු වන සතුන්ගේ තණ උලාකෑම හා කොළ අතු ආහාරයට ගැනීමෙන් ඇතිවන බලපෑම් මෙන්ම ගිනි තර්ජන පාලනය කරමින් ස්වාභාවික පුනර්ජනනයට අවස්ථාව සැලසීම, දේශීය ශාක විශේෂ රෝපණය කිරීම සහ ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීමට  හා පාලනය කිරීමට කටයුතු කෙරෙයි.ජාතික වන ආවරණ සිතියම යාවත්කාලීන කිරීම මඟින් වන ආවරණයේ සිදුවන වෙනස්කම් හඳුනාගෙන අධීක්ෂණය කිරීම, වන විනාශය හා අනවසරයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම හඳුනා ගැනීම සඳහා භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සහ දුරස්ථ සංවේදන තාක්ෂණය භාවිත කොට වන විනාශය පාලනය කිරීම  ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, චන්ද්‍රිකා ඡායාරූප හා භූමි සමීක්ෂණ මඟින් වන ආවරණයේ වෙනස්කම් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම, වන ආවරණය අඩුවන ප්‍රදේශ හඳුනාගෙන අදාළ බලධාරීන් දැනුවත් කිරීම සහ වනාන්තරමය ඉඩම්, රක්ෂිත වනාන්තර හා සංරක්ෂණ වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කොට අයිතිය නීත්‍යානුකූල කිරීම ද සිදු කෙරේ.හායනයට ලක් වූ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීම හා නැවත වන වගා කටයුතු සිදු කිරීම මෙන්ම, වන ආවරණය සම්බන්ධ දත්ත විශ්ලේෂණය කර ඒ අනුව වන සංරක්ෂණ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම ද මෙම වැඩපිළිවෙළට ඇතුළත් වෙයි.තවද, වන ඉඩම් අනවසරයෙන් භාවිත කිරීම වැළැක්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන අතර, වන ආවරණය හා පාරිසරික පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සහ වන ව්‍යාප්ති කටයුතු ද ක්‍රියාත්මක කරනු ලබයි.මීට අමතරව, ප්‍රජාව සමඟ සම්බන්ධීකරණයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් ගොවි වන වගා හා ප්‍රජාමූලික වන වගා වැඩසටහන් පුද්ගලික අංශය සමඟ සහභාගීත්වයෙන් වන වගා සිදු  කරන බව සභාගත කළ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වෙයි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks