බලන්න

E   |   த   |  

2021-06-23

පුවත් කාණ්ඩ : පුවත් 

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  

1977 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ වික්‍රමසිංහ මහතා 08 වන පාර්ලිමේන්තුව දක්වා අඛණ්ඩව අවුරුදු 42ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වැඩිම වාර ගණනක් ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ වාර්තාවට හිමිකම් කියන අතර, කැබිනට් අමාත්‍ය තනතුරු, සභානායක සහ විපක්ෂ නායක ඇතුළු තනතුරු ගණනාවක් හෙබවීය.

73 හැවිරිදි රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 09 වන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.  

1949 මාර්තු 24දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.

1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ එතුමා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි. 1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූ අතර එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි. අවුරුදු 28 දී විදේශ කරයුතු නියෝජිත ඇමතිවරයා වූ හෙතෙම, පසුව තරුණ කටයුතු, අධ්‍යාපන සහ කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ ලෙස කැබිනට් අමාත්‍යධුර හෙබවීය.

1989 මාර්තු 06 - 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය.

එතුමා ප්‍රථම වතාවට 1993 මැයි 7 වැනිදා ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරයා ලෙස තේරි පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර හෙබවීය. හෙතෙම ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් (පස් වතාවක්) අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ දේශපාලනඥයා ලෙස වාර්තා ගත වේ.

වික්‍රමසිංහ මහතා, දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්, තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, සිව්වන වරට 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්, පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් අතර ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද වේ.

ඔහු 1980 සිට 88 දක්වා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් දුරස්ථ ඉංග්‍රිසි ගුරු පුහුණුව හෙවත් ඩෙලික් ගුරු පුහුණුව, පුර්ණ සේවා දුරස්ථ සේවා ගුරු පුහුණුව, පාසල් දිවා ආහාරය, මීපේ සෞන්දර්ය ආයතනය ඇරඹීම, නොවිදිමත් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම, ගුරු හිගයට පිළියමක් වශයෙන් දිස්ත්‍රික් ගුරු සේවය ඇරඹීම, ගුරු සේවය වයස 60 තෙක් දීර්ඝ කිරීම, භික්ෂු ගුරු පුහුණුව, පාසල් සංවර්ධන සමිති ඇරඹීම, පාසල් සුපරීක්ෂණ ඒකක පිහිටුවීම, පාසැල් සැලසුම් ඒකක, නොමිලයේ පෙළ පොත් ලබාදීම, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල පිහිටුවීම, ජාතික තරුණ සේවා සභාව හා ශිෂ්‍ය උපදේශන සේවාවක් ඇරඹීම වැනි කටයුතු එතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස දැක්විය හැකිය. ඊට අමතරව ගුරුවරුන් පුහුණු කිරීම සදහා අධ්‍යාපන විද්‍යා පීඨ ක්‍රමය ද නිර්මාණය කළ වික්‍රමසිංහ මහතා 1988 දී ජාතික විද්‍යා පීඨ 09ක් අරඹමින් සහ අධ්‍යපන පර්යේෂණය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම  රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අධ්‍යාපනයේ නව පුනරුදය ශක්තිමත් කිරීමට දායක විය.

ඉතා ගැඹුරු සාහිත්‍ය පරිශීලකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසය, පුරාවිද්‍යාව, නීතිය, ආර්ථික විද්‍යාව, බෞද්ධ දර්ශනය හා සාහිත්‍යය, විශ්ව සාහිත්‍ය හා චරිතාපදාන ද ආදිය පිළිබඳ මනා දැනුම් ඇත්තෙකි. විවිධ ආගම් හා දර්ශනයන් අධ්‍යයනය කිරීමට වැඩි කැමැත්තක් දක්වන ඒ මහතා ත්‍රිපිටකය, ධම්මපදය, බෞද්ධ සාහිත්‍ය හා දේශපාලන න්‍යාය ධර්ම ඇසුරෙන් ‘දේශපාලනය සහ ධර්මය’ නම් කෘතිය රචනා කොට තිබේ.

එතුමාගේ බිරිඳ වන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියයි.

 

1 2

3



සම්බන්ධිත පුවත්

2026-11-21

ගරු ජනාධිපති හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු විශේෂ වියදම් ඒකක 21 ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ දී සම්මතයි

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වන අද (නොවැ. 21) දින විවාදයට ගැනුණු ගරු ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු විශේෂ වියදම් ඒකක 21 ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.ඒ අනුව ගරු ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ සීමා නිර්ණය කොමිෂන් සභාව යන විශේෂ වියදම් ඒකක වලට අයත් වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ දී මෙලෙස සම්මත විය. 


2026-11-21

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට ඊයේ (නොවැ. 20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.ඒ අනුව, නොවැම්බර් 23 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.  තවද, දෙසැම්බර් 05 සෙනසුරාදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් (දෙවැනිවර කියවීම) නියමිතව ඇත.එසේම, දෙසැම්බර් 07 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. (මෙම පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 23 දින දෙවැනිවර කියවීමේ විවාදය පවත්වා කල් තබා ඇත)  ඒ අනුව ඉහත දිනයන්හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනේ.මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කිරීමට අදාළ යෝජනා ත්‍රිත්වයකට ද පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් බැහැර කිරීමේදී නිර්දේශිත ප්‍රමිතීන් සහ ආරක්ෂිත ක්‍රියාපටිපාටීන්, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු ඒ සම්බන්ධ කරුණු පිළිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම, ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කිරීම සහ කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්‍ෂණ නීති ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කර බැලීම, එවැනි සිද්ධියක් නැවත සිදුවීම වළක්වා ගැනීම උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනා ත්‍රිත්වයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.


2026-11-20

2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා  ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.


2026-11-20

වැව් ආශ්‍රිත අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2,196 ක්

වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්‍ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks