logo

02

E   |     |  

2021-03-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංගමයේ කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියළු සේවකයන් ස්ථිර කිරීමට පියවර

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියළු සේවකයන් ස්ථිර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදී පැවති ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

මේ අතර, කාලාන්තරයක් තිස්සේ පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරිම සඳහා එළඹෙන මැයි මාසයේදී අදාළ විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රට පුරා ඇති උප ඩිපෝ බස් රථගාල ලෙස පමණක් භාවිත කිරීමට සහ ඒවාට අදාළ පරිපාලන කටයුතු ප්‍රධාන ඩිපෝ මගින් පමණක් සිදු කිරීමටත් ඒ මගින් රට පුරා බස්රථ ප්‍රවාහනය ක්‍රමවත් සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමටත් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නාගරික රථවාහන හැසිරවීම පිළිබඳ තීරණ ගැනීමේ පළාත් පාලන රථවාහන කමිටු රැස්වීම් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරියෙක් සහභාගී වීමේ වැදගත්කම මෙහිදී මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙමගින් නාගරික රථවාහන හැසිරවීම පිළිබඳ වැදගත් තීරණ ගැනීමේදී ප්‍රවාහන අමාත්‍යාංශය මූලික කොටගෙන එම තීරණ ගැනීම මගින් සිදුවිය හැකි අක්‍රමිකතා වලක්වා ගත හැකි බව මන්ත්‍රීවරයන්ගේ අදහස විය. පවතින රියදුරු සහ කොදොස්තරවරුන්ගේ පුරප්පාඩු සඳහා අඩු ආදායම්ලාභීන් තුළින් තෝරා ගන්නා සුදුසුකම් ලත් පුද්ගලයන් හැකි ඉක්මනින් බඳවා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

නවීන රථවාහන වල පවතින අධි තාක්ෂණික උපාංග පිළිබඳ රාජ්‍ය ආයතන වල රියදුරන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවට උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරු යෝජනා කළහ. මෙලෙස රියදුරන්ගේ පවතින නොදැනුවත්භාවය හේතුවෙන් නවීන වාහන වල තත්තවය ඉතා කෙටි කාලයක් තුළ විනාශ වන බව මන්ත්‍රීවරයන්ගේ අදහස විය.

මාර්ගගත ක්‍රමයට (Online) දුම්රිය ප්‍රවේශපත් වෙන් කරවා ගැනීමේදී සිදුවන අපහසුතා පිළිබඳ මෙහිදී මන්ත්‍රීවරු සිය අදහස් දැක්වූ අතර රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ඒ පිළිබඳ සොයා බලා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මහා මාර්ග වල සිදුවන අනතුරු අවම කර ගනීම සඳහා අවශ්‍ය නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡාවට ගැණුනු අතර මගී ප්‍රවාහන බස්රථ රියදුරන් සඳහා විශේෂ රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ අමාත්‍යාංශය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රැස්වීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, රිෂාඩ් බද්දියුදීන්, අශෝක් අබේසිංහ, එස්. ගජේන්ද්‍රන්, කුලසිංහම් දිලීපන්, අලි සබ්‍රි රහීම්, සමන්ප්‍රිය හේරත්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ශාන්ත බණ්ඩාර, සුදත් මන්ජුල, මධුර විතානගේ, එච්. නන්දසේන, ෆයිසාල් කාසිම්, අකිල එල්ලාවල, කෝකිලා ගුණවර්ධන, වෛද්‍ය උපුල් ගලප්පත්ති ඇතුළු ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ‍සහභාගී වූහ.

 

12



සම්බන්ධිත පුවත්

2026-07-16

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභා වාර්තාවට අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී.ඒ, ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.මෙහිදී අනු කාරක සභාවේ සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් උක්ත වාර්තාව කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුව විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුව ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ නිර්දේශ ඒකී වාර්තාවට ඇතුළත් වේ.ඉන් අනතුරුව වාර්තාවේ අන්තර්ගත කරුණු පිළිබඳව කාරක සභාවේ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා විමසා බැලූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව එම වාර්තාව සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.මෙම රැස්වීමට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ.


2026-07-16

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 - 2024 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය "කෝපා" කමිටුවේ අවධානයට

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2021 සිට 2024 දක්වා වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA/කෝපා) දීර්ඝ ලෙස සලකා බැලීය.ඒ, එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ සේවා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයන්ට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ කාරක සභාව, ඉතිරි නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ සහ සුගත් තිලකරත්න යන මහත්වරුන් ද, කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ, ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, හෙක්ටර් අප්පුහාමි, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි, වෛද්‍ය ජනක සේනාරත්න සහ සුනිල් රත්නසිරි යන මහත්වරු ද සහභාගි වූහ.


2026-07-16

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත (National Youth Policy) සම්බන්ධයෙන් තාරුණ්‍යයේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු කෙරිණි.ඒ, තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ හයවන රැස්වීම ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.මෙහිදී ජාතික තාරුණ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර, තාරුණ්‍යයේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් වඩාත් ඵලදායී ලෙස ප්‍රතිපත්තියට ඇතුළත් කර ගැනීම සඳහා සංසදයේ සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමට ද අවධානය යොමු කෙරිණි.තරුණ ප්‍රජාවගේ හඬ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස එක්කර ගැනීම සඳහා තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය අඛණ්ඩව කටයුතු කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම සංසදය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය. 


2026-07-16

බන්ධනාගාර තදබදය අවම කිරීම සහ පරිපාලන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බන්ධනාගාර  ආශ්‍රිත ගැටලු සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා  පාර්ලිමේන්තුවේදී රැස් වූ  රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදි කිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.එමෙන්ම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීම, සේවා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි බඳවා ගැනීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කෙරිණි.මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය ඉහළ නැංවීම, නවීන තාක්ෂණික උපකරණ ලබා ගැනීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය විය.බන්ධනාගාර තදබදය පාලනය කිරීම හුදෙක් පරිපාලනමය කරුණක් නොව ජාතික වැදගත්කමක් සහිත කරුණක් ලෙස සලකා, අධිකරණය, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇතිව කටයුතු කිරීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.මෙම කාරක සභා රැස්වීමට  ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර,  කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ධර්මප්‍රිය විජේසිංහ, එම්.කේ.එම්. අස්ලම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, නීතිඥ තුෂාරි ජයසිංහ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මෙන්මගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන් සහ නීතිඥ  චිත්‍රාල් ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීහු සහභාගි  වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks