E   |     |  

2021-03-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ වර්තමාන තත්ත්වය මැයි මාසයේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට

කෙටුම්පත් කෙරෙන නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ  ලබන මැයි මාසයේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශවයන්ට ඊයේ (23) දැනුම් දුන්නේය. අධ්‍යාපන කොමිෂන් සභාව මෙම ප්‍රතිපත්තිය සැකසීමේදී අදාළ අමාත්‍යාංශ ඇතුළු සියලු පාර්ශ්වයන්හි සහයෝගය ලබා ගත යුතු බවද හෙතෙම කීවේය.

විශ්වවිද්‍යාලයන්හි සිදුවන නවක වදය තුරන් කිරීම සම්බන්ධයෙන් නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සැකසීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විශ්වවිද්‍යාල උපකුලපතිවරු මෙහිදී පැවසූහ.

සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත කෙරෙහි බලපෑම් ඇති කරවන ජාතික සංවර්ධන ක්‍රියාදාමයේ අත්‍යාවශ්‍ය කොටසක් වන බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වේගවත් විය යුතු මෙවන් මොහොතක පාසල් අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තීන් කඩිනමින් සංශෝධනය වී ක්‍රියාත්මක විය යුතු බවත් කාරක සභාව ඊයේ නිර්දේශ කළේය.

කලා උපාධිධාරින්ගේ සේවා වියුක්තිය සියයට 50 ඉක්මවා තිබීම ගැටළු සහගත බවත්, ඒ සඳහා නිසි පිළියම් සෙවිය යුතු බවත් කාරක සභාව පෙන්වා දුන්නේය. කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව  සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අද (23) සිදු විය.

කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කාරක සභාවට දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , ප්‍රසන්න රණවීර, යන ගරු රාජ්‍ය අමාත්‍යවරු ද , තිස්ස අත්තනායක , අශෝක් අබේසිංහ , මොහොමඩ් මුසම්මිල්, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මහාචාර්‍ය රංජිත් බංඩාර , හරිනි අමරසූරීය, එස්. ශ්‍රීතරන්, බී.වයි.ජී රත්නසේකර  යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝද සභභාගී වූහ.

තාක්ෂණ විෂය ධාරාව ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ සියලු පළාත්වල අවශ්‍යතාව පරිදි මානව හා භෞතික පහසුකම් සපයා දීමේ අවශ්‍යතාවද කාරක සභාව අවධාරණය කළේය. සිසුන් ද්විතීයික පාසලේ ඉගෙනුම ලබන කාලයේදීම ඔවුන්ට තෝරා ගැනීම සඳහා විකල්ප මාවත් සහ විෂය ධාරා ලබාදීම සිදු කළ යුතුය. එමඟින් ගැටළු රැසක් නිරාකරණය කළ හැකි බව සභාපතිවරයා කීවේය.

පාසල් තුළ හා විශ්වවිද්‍යාල තුළ සන්නිවේදන කුසලතා වර්ධනයට පහසුකම් සැලසීම සඳහා ඉංග්‍රීසි ඉගැන්වීම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද කාරක සභාව අධ්‍යාපන බලධාරින්ට පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල තුළ පවතින මානව හා භෞතික සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනිම සඳහා උපාධි පාඨමාලා හැදෑරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් වෙනස් වී සිසුන් වැඩි සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත්වීමට අවස්ථාව සැලසෙන පරිදි එම ආයතනවලින් සැපයෙන උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කළ යුතු බවට ද කාරක සභාව නිලධාරින්ට දැනුම් දුන්නේය. මෙහි දී දුරස්ථ අධ්‍යාපන ක්‍රමය මෙන්ම මාර්ග ගත ක්‍රමය මඟින් සැපයෙන උසස් අධ්‍යාපන අවස්ථා යොදා ගත හැකි අතර , විවිධ ක්‍රමවලින් උසස් අධ්‍යාපන පාඨමාලා සැපයීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කමද මෙහි දී සාකච්ජා විය.

විශ්වවිද්‍යාල තුළින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා රැකියා වෙළඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සැලසුම් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන අතර සම්බන්ධිකරණයක් සහ නියාමනයක් සිදු කිරීම වෙනුවෙන් බලයලත් අධිකාරියක් ඇති කිරීමේ ඉඩකඩ සළකා බැලීම සම්බන්ධව ද අවධානය යොමු කළ යුතු බව කාරක සභාව පෙන්වා දුන්නේය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සමස්ත මිනිස් බල අවශ්‍යතාව රජය විසින් පූර්ණ අධික්ෂණය යටතේ තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම කාලීන වැදගත්කමකින් යුක්ත වූවක් බව කාරක සභාවේ සභාපතිවරයා කීවේය.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා, තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්,  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්‍ය සම්පත් අමරතුංග යන මහත්වරු මෙන්ම උපකුලපතිවරු ඇතුළු නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

 

12



සම්බන්ධිත පුවත්

2026-09-01

මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කෙරේ

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා සංවිධානය කළ “Voice to Policy” සංවාද වැඩසටහන පසුගියදා (අගෝ. 29) මඩකලපුව ඊස්ට් ලැගූන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර මෙහිදී මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය අදහස් හා යෝජනා සෘජුවම පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කෙරෙන වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව වෙනුවෙන් පැවති අතර මෙම වැඩසටහන එහි දෙවැන්නයි. මෙහිදී තරුණ ප්‍රජාවට සිය අදහස්, ගැටලු සහ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, වැඩමුළුව සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.මෙම අවස්ථාව සඳහා විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, නීතිඥ සුසන්ත දොඩාවත්ත, ලාල් ප්‍රේම්නාත්, සුනිල් රාජපක්ෂ, එම්.කේ.එම්. අස්ලම්, වෛද්‍ය ඉලෙයියතම්බි සිරිනාත්, අබූබකර් අතම්බාවා , ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, මුහම්මද් ෆයිසාල්, ඥානමුත්තු ශ්‍රීනේසන් යන මත්වරු සහභාගී වූහ. මෙහිදී තරුණ ප්‍රජාව විසින් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පිළිබඳ ගැටළු, ප්‍රාථමික අධ්‍යපනය නියාමනය, තරුණයන්ගේ දේශපාලන සහභාගීත්වය පුළුල් කිරීම, වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා, තාක්ෂණය, ව්‍යවසායකත්වය පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම හා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථා බහුල කිරීම, ප්‍රශස්ථ මට්ටමේ ක්‍රීඩාංගන පහසුකම් නොමැතිකම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරන ලදී.විශේෂයෙන් උසස් අධ්‍යාපන පාඨමාලා සහ උපාධි සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවම කිරීම, දේශපාලනයට සම්බන්ධ වීමට අපේක්ෂා කරන තරුණයන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සහ තරුණ ව්‍යවසායකත්වය පුළුල් කිරීම ඇතුළු කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.තරුණ ප්‍රජාව විසින්ම සිය ප්‍රමුඛ ගැටලු හඳුනාගෙන, ඒවා සාකච්ඡා කර, පොදු කරුණු ලෙස වර්ගීකරණය කර ප්‍රතිපත්තිමය අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් අනතුරුව ඒවා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සෘජු සංවාදයක් පැවැත්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් විය.වැඩසටහනේදී ඉදිරිපත් වූ තරුණ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි සලකා බැලීම සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තු සංසදය සිය අවධානය යොමු කළේය. එමෙන්ම, අදාළ කරුණු සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ ඉදිරියේදී සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. තරුණ ප්‍රජාව විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සම්බන්ධයෙන් මේ වන විටත් රජය විසින් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරු විසින් කරුණු පැහැදිලි කරන ලදී.මෙම වැඩමුළුව සඳහා CII (Coalition for Inclusive Impact) ආයතනය අනුග්‍රාහකත්වය සපයනු ලැබීය. 


2026-09-01

මහනුවර දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් පවත්වනු ලබන “Voice to Policy” වැඩසටහන සැප්තැම්බර් 05 වැනිදා

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබන “Voice to Policy” සංවාදමය ප්‍රාදේශීය වැඩසටහන් මාලාවේ තෙවැන්න මහනුවර දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා මේ මස 05 වැනිදා මහනුවර ‘ගෝල්ඩන් ක්‍රවුන්’ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම වැඩසටහන, විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එසේම සංසදයේ සාමාජික මන්ත්‍රීවරු මෙන්ම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවු 18 – 35 අතර තරුණ තරුණියන් https://forms.gle/aVp5UzhLbtPSmVap8  සබැඳිය ඔස්සේ අදාළ පෝරමය සම්පූර්ණ කොට සැප්තැම්බර් 03 මධ්‍යහ්න 12.00ට පෙර ලියාපදිංචි විය විය යුතුය. එසේම සහභාගී වන්නන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරන සංකේතවලින් තොර ඇඳුමින් සැරසී සිටිය යුතු වේ. CII (Coalition for Inclusive Impact) ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් මෙම වැඩමුළු මාලාව සංවිධානය කෙරේ.  


2026-08-25

මෙරට මැතිවරණ පද්ධතියේ ව්‍යුහාත්මක පරිවර්තනයක් සඳහා වන විශේෂඥ මණ්ඩලය වැඩ අරඹයි

මෙරට මැතිවරණ පද්ධතිය (පළාත් සභා හැර) වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක්  පාර්ලිමේන්තුවේදී ඊයේ  පැවැත්විණි.මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී විශේෂඥ මණ්ඩලයේ කාර්යභාරය, සමාලෝචනයට ලක් කළ යුතු කරුණු මෙන්ම ඉදිරි කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙහිදී, මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් ගැඹුරින් සමාලෝචනය කර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ මණ්ඩලය කටයුතු කිරීමට නියමිතය. එම සමාලෝචන ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පර්යේෂණ ආයතන විසින් සිදු කර ඇති අදාළ අධ්‍යයන හා පර්යේෂණ ද සැලකිල්ලට ගැනීමට නියමිතය.මෙම සමාලෝචන ක්‍රියාවලිය සඳහා මාස දෙකක කාලයක් ලබා දී ඇති අතර, එහිදී පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනා ගැනීම මෙන්ම, අවශ්‍යතාව පවතින්නේ නම් වඩාත් සාධනීය ලක්ෂණ සහිත නව මැතිවරණ ක්‍රමවේදයක් හා මැතිවරණ සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.ඒ අනුව, කාරක සභාවේ අවසන් අරමුණ වන්නේ පවතින ක්‍රමවේදයට සංශෝධන කිහිපයක් එක් කිරීම පමණක් නොව, වර්තමාන අවශ්‍යතා සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන වඩාත් විශ්වාසනීය, ප්‍රජාතන්ත්‍රවාදී සහ කාර්යක්ෂම මැතිවරණ පද්ධතියක් සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නීතිමය නිර්දේශ සහිත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-08-25

තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ සේවා නවීකරණය පිළිබඳව COPA අවධානය

තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA විශේෂ අවධානය යොමු කෙරිණි. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින්  2026 අප්‍රේල් 07 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්  වූ අවස්ථාවේදීය.විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා නව පරිගණකගත මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇති බවත්, ඒ මඟින් විමර්ශන ගොනු පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට කටයුතු කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. සුළු ස්වභාවයේ සිදුවීම් වෙනුවෙන් දීර්ඝ විමර්ශන පවත්වා සම්පත් වැය කිරීම වෙනුවට, වැදගත් මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.තවද, ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, චෝදනා ලැබූ ඇතැම් පුද්ගලයන් අතුරුදන් වීම හෝ මියයාම හෝ, ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සහ විමර්ශන අංශයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාලසීමාවක් තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව අවධාරණය කළේය. එමෙන්ම, විමර්ශන අවසන් කර අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස ද උපදෙස් ලබා දෙන ලදී.තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් පළාත් නවයම සහ මධ්‍යම තැපැල් හුවමාරුව ආවරණය වන පරිදි සිදු කළ වැඩ අධ්‍යයනය මත පදනම්ව ප්‍රශස්ත සේවක සංඛ්‍යාවක් (Optimum Cadre) හඳුන්වා දීමට කටයුතු කරන බව නිලධාරීහු පැවසූහ.අතිකාල දීමනා ගෙවීමේදී සේවක පැමිණීම නිවැරදිව තහවුරු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට ගෙන ඇති බවත්, ඉදිරියේදී එම දත්ත පදනම් කර ගනිමින් අතිකාල දීමනා ගෙවීම් වඩාත් විධිමත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් විය.තැපැල් සේවාව නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, Speed Post, Cash on Delivery සහ International Courier වැනි අගය එකතු කළ සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, තැපැල් බැංකු සේවා ඩිජිටල්කරණය කිරීම සහ නව තාක්ෂණය ඔස්සේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කෙරිණි.එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුව සතු උපතැපැල් කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයෙන දුෂ්කර ප්‍රදේශවල උපතැපැල් කාර්යාල වසා දැමීමකින් තොරව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ,  කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, මංජුල සුරවීරආරච්චි, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks