පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17 ) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.
පසුගිය මාර්තු 10 වැනිදා ආරම්භ කළ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සඳහා මාර්තු 25 සහ මාර්තු 26 යන දෙදින වෙන්කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මාර්තු 23 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ වීමේන් පසු පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා වෙන්කරනු ඇත. එදින මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න 10ක් සඳහා මෙලෙස කාලය වෙන්වෙනු ඇත.
ඉන්පසු පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද විවාදයට ගැනීමට නියමිතය.
එදින පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
ඉන් පසු දිනය වන මාර්තු 24 වෙනිදා පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන්කෙරේ. එදින පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි 2ක් විවාදයට ගනු ලබයි. ඉන් අනතුරුව පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.
මාර්තු 25 සහ 26 යන දෙදින වෙන්වනුයේ 2019 අප්‍රෙල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය නැවත පැවැත්වීම සඳහාය.
මාර්තු 25 වැනිදා පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන්කරෙන නමුත් මාර්තු 26 වෙනිදා වාචික ප්‍රශ්න හෝ ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න නොවිමසා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා මුළු කාලය තුළදීම සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
මේ අතර එදිනට කල්තැබෙන වාචික ප්‍රශ්න සහ අනෙකුත් වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්කිරීම පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා විමසූ අවස්ථාවේදී පිළිතුරු දුන් ගරු සභානායක සහ විදේශකටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම සඳහා ඉදිරියේදී දිනයක් හෝ දින 02ක් වෙන්කිරීමට පියවර ගැනීම සඳහා අවධානය යොමුකරන බව පැවසීය.
එමෙන්ම දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ 2015 ජනවාරි 15 වැනිදා සිට 2019 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතන වල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක් විය.
මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ද කාරක සභා සාමාජිකයෙක් නොවන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද එක්ව සිටියහ.
2026-11-21
අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට ඊයේ (නොවැ. 20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.ඒ අනුව, නොවැම්බර් 23 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ. තවද, දෙසැම්බර් 05 සෙනසුරාදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් (දෙවැනිවර කියවීම) නියමිතව ඇත.එසේම, දෙසැම්බර් 07 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. (මෙම පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 23 දින දෙවැනිවර කියවීමේ විවාදය පවත්වා කල් තබා ඇත) ඒ අනුව ඉහත දිනයන්හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනේ.මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කිරීමට අදාළ යෝජනා ත්‍රිත්වයකට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් බැහැර කිරීමේදී නිර්දේශිත ප්රමිතීන් සහ ආරක්ෂිත ක්‍රියාපටිපාටීන්, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු ඒ සම්බන්ධ කරුණු පිළිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම, ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කිරීම සහ කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කර බැලීම, එවැනි සිද්ධියක් නැවත සිදුවීම වළක්වා ගැනීම උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනා ත්‍රිත්වයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.
2026-11-20
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.
2026-11-20
වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026-11-20
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නැරඹීමට ස්ථාන 05 ක් විවෘත කර ඇති බවත්, බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථාන මෙන්ම දෙමටමල් විහාරය මෙලෙස විවෘතව පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මේ වන විට ලියාපදිංචි කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 137 ක් බව ද ඒවා ගලබැද්ද, මාලිගාවිල, බුදුරුවගල සහ බිබිල යන පුරාවිද්‍යා කලාප 04 කට අයත් වන බව ද අමාත්‍යවරයා කිවේය. මෙම කලාපවලට අයත් භුමි ප්‍රමාණය විග්රහ කළ අමාත්‍යවරයා, ගලබැද්ද කලාපයට වර්ග කිලෝමීටර 2000.1 ක්, මාලිගාවිල කලාපයට වර්ග කිලෝමීටර 1199.2 ක්, බුදුරුවගල කලාපයට 1426.2 ක් සහ බිබිල කලාපයට 713.1 ක් අයත් බව ද සඳහන් කළේය.නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ද, යුධගනාව පුරාවිද්‍යා ස්ථානයට විහාරස්ථානය මඟින් ද, දෙමටමල් විහාරයට විහාරස්ථානය මඟින් ද සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා තිබෙන බවත්, මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානයේ ඇති යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks