පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-02-23
මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම විසදීම සදහා ලබාදී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට මාස දෙකක් තුළ එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අලිමිනිස් ගැටුමට අදාල විසදුම් සෙවීම සදහා අතිගරු ජනාධිපතිතුමා විසින් පත්කළ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට පිළිගන්වා ඇති අතර ඊට අමතරව විද්වත් කමිටුවක් විසින් 2006 වසරේදි අලි මිනිස් ගැටුම විසදීමට අදාලව සැකසූ ජාතික ප්‍රතිපත්තිය ද සමාලෝචනය කොට මෙම ක්‍රියාකාරි සැලැස්ම සකස්කරන ලෙස කෝපා කමිටුව දැනුම් දුන්නේය.
අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් පසුගිය දෙසැම්බර් 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එබැවින් මෙම ගැටලුව සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.
කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, නිරෝෂන් පෙරේරා බී.වයි.ජී රත්නසේකර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
අතිගරු ජනාධිපතිතුමාට පිළිගැන්වූ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් මෙහි සමස්ත වගකීම ලබාදිය නොහැකි බවත් ඒ සදහා ජනතාවගේම මූලිකත්වයෙන් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය වැනි ආයතනවල දායකත්වයෙන් විදුලිවැට ඉදිකිරීම සහ නඩත්තු කිරීම සිදුකළ යුතු බවත් මෙහිදී අනාවරණය විය. තවද ප්‍රජාමූලික ග්‍රාමිය විදුලි වැට සහ වගා කරන කාලයට පමණක් ක්‍රියාත්මක විදුලි වැට විකල්ප යෝජනා ලෙස මෙම නිර්දේශවල අන්තර්ගතව ඇත.
දැනට ක්‍රියාත්මක කරන අලි පැන්නීම වැනි සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග වසර 50කට ආසන්න කාලයක් තුළ අසාර්ථක වී ඇති බව අලිමිනිස් ගැටුම සම්බන්ධ පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව ප්‍රජා දායකත්වය සහ අදාල ප්‍රාදේශිය පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබාගෙන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අලිවැට සහිත ප්‍රදේශ මේවන විට පවතින බවත් එවැනි සාර්ථක ක්‍රමවේද අනෙකුත් ප්‍රදේශවලටද ගැළපෙන පරිදි යොදා ගැනීමෙන් මෙම ගැටලුව අවමකරගත හැකි බවත් කමිටුව නිරීක්ෂණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ අලිවැට ඉදීකිරීම , එල්ලෙන වැට ඉදිකිරීම , අලි අගල් කැපීම , අලින් පලවා හැරීමට දායක වන මීමැසි පාලනය යනාදී වැඩසටහන් මේවන විට ක්‍රියාත්මක කරන බවයි. වනජීවි දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක සංඛ්‍යාව 1500කට ආසන්න වන බවත් ඉන් අලිවැට සම්බන්ධව කටයුතු කිරීමට ඇත්තේ ඉතා සීමිත සේවක සංඛ්‍යාවක් බැවින් බිම්මට්ටමේදී කටයුතු කිරීමේදී ගැටලු රැසක් මතුවන බවද මෙහිදී අනාවරණය විය.
තවද ඇතැම් ප්‍රදේශවල ගම්වැසියන් අලිවැට තමන්ගේ භූමියේ සීමාවක් සේ සලකා එය ඉදිකිරීම ප්‍රතික්ෂේප කරනබවද ඇතැම් ප්‍රදේශවල අලිවැටෙහි බැටරිය සොරකම් කිරීම් වැනි පුවත්ද වාර්තා වන බව මෙහිදී සාකච්ඡා විය.
කෙසේවෙතත් කමිටුව මෙහිදී අවධාරණය කළේ ගම්වැසියන් දැනුවත්කිරීම තුළින් ඔවුන්ගේ සක්‍රීය දායකත්වය මෙම අලිවැට ඇතුළු කාරණා සදහා ලබාගත යුතු බවයි. දැනට අක්‍රීයව පවතින ගජමිතුරෝ වැනි ප්‍රජා සංවිධාන නැවත වහාම පණ ගැන්වීමට කටයුතු කරන ලෙසද කමිටුව දැනුම් දුන්නේය. තවද අදාල සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ග්‍රාම නිලධාරීන් ඇතුළු පාර්ශවකරුවන්ගේ දායකත්වය මේ සදහා ලබාගතයුතු බවත් ගම්වැසියන් සමග වඩාත් සමීපව කටයුතු කිරීමේ වැදගත්කමද කමිටුව පෙන්වා දුන්නේය.
මේවන විට අලි මිනිස් ගැටුම විසදීමට අදාල යෝජනා ප්‍රතිපත්ති ලේඛනවල තිබුණද ඒවා බිම්මට්මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම විශාල ගැටලුවක් බවත් කමිටුව පෙන්වා දුන්නේය.
මීට පෙර අලි මිනිස් ගැටුමට අදාල නිර්දේශ ලෙස පැවති අලි රක්ෂිත සහ අලි කොරිඩෝ ඉදිකිරීම නිසි පරිදී සිදු නොවීම , අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විෂය නිර්දේශයට මෙම ගැටලුවට අදාළ කරුණු මේවන තෙක් ඇතුළත් නොවීම , විදුලි වැට නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම වැනි විගණන විමසුම් පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවූ අතර ඒ පිළිබඳ කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයද අවධාරණය කෙරිණි.
වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් , වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ.
2026-10-27
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති, ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී අකිල ඉලංගෙයි මහජන කොංග්රසය නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තාහිර් මරික්කාර් මහතා ද, නව නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නුවන් බෙල්ලන්තුඩාව මහතා ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ද සිය පක්ෂවල අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්රමය සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලාෆර් සහ නීතිඥ සුනිල් වටගල මෙන්ම කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර්, ධර්මප්රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි සහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
2026-10-27
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද “Voice to Policy” වැඩමුළු මාලාවේදී ඉදිරිපත් වූ තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු කාරක සභා වෙත ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඒ අනුව, අදාළ සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රැස්වීමකදී මේ පිළිබඳව අවධානය යොමු විය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය ප්‍රවර්ධනය කිරීම සහ පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තරුණ ප්‍රජාවගේ සහභාගීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “Voice to Policy” වැඩමුළු ගම්පහ, මඩකලපුව සහ මහනුවර යන දිස්ත්‍රික්ක කේන්ද්ර කර ගනිමින් පසුගිය කාලයේදී පැවැත්විණි.එම වැඩමුළුවලදී තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලද පොදු ගැටලු, අදහස් හා ප්‍රතිපත්තිමය යෝජනා පිළිබඳව අදාළ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගී වූ තරුණ නියෝජිතයෝ කරුණු ඉදිරිපත් කළහ.එහිදී, තරුණ ප්‍රජාව විසින් හඳුනාගනු ලබන ගැටලු සහ ඒවාට අදාළ විසඳුම් යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, අදාළ විෂයයන් සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ සම්බන්ධ වී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.තරුණ ප්‍රජාවගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කිරීම තුළින් ජනතා සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ.මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සහ “Voice to Policy” වැඩමුළු මාලාව සඳහා සහයෝගය ලබා දෙන CII (Coalition for Inclusive Impact) ආයතනයේ සහ NDI (National democratic Institute) ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026-10-22
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 20) රැස්වූ කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන සහ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වේ. එමෙන්ම, සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික හා ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සහ දැනට ක්‍රියාත්මක වන (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කර නව නීතිමය රාමුවක් හඳුන්වාදීම ද මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු වේ.පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවේදී සුනඛයන්ට ජලභීතිකා එන්නත ලබා දීමේ වයස් සීමාව සම්බන්ධයෙන් පවතින පරස්පරතා ඉවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු විය. එහිදී සුනඛයන්ට පළමු ජලභීතිකා එන්නත ලබා දිය යුතු වයස සම්බන්ධ විධිවිධාන පැහැදිලිව දැක්වීමේ වැදගත්කම සාකච්ඡා කෙරිණි.වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර ලබාදෙන, රැකවරණය සලසන හෝ ප්රතිකාර සඳහා උපකාර කරන පුද්ගලයන්ගේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය. එවැනි පුද්ගලයන් ස්වේච්ඡාවෙන් සුනඛයන්ට උපකාර කිරීම පමණක් හේතුවෙන් ඔවුන්ගේ නීත්යනුකූල හිමිකරුවන් ලෙස සැලකීම හෝ සුනඛ හිමිකරුවන්ට අදාළ සියලු වගකීම් ඔවුන් මත පැවරීම වැළැක්වීම සඳහා විධිවිධාන පැහැදිලි කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා කෙරිණි.සුනඛ වන්ධ්යාකරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, එය පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ ශල්යකර්ම මඟින් සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. හෝමෝන එන්නත් භාවිතය ඇතුළු විකල්ප ක්රම සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, සත්ව සුභසාධනය තහවුරු වන පරිදි අදාළ විධිවිධාන සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්රමවේදය විධිමත් කිරීම සහ එම වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල් සංශෝධනය කිරීමේ යෝජනා ද සාකච්ඡා කෙරිණි. වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කරන මධ්‍යස්ථාන නියාමනය ශක්තිමත් කිරීම, එම මධ්යස්ථානවල වගකීම් පැහැදිලි කිරීම සහ සත්ව හිංසනය වැළැක්වීම සඳහා අදාළ දඩ මුදල් හා දඬුවම් සංශෝධනය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කරන සුනඛයන් නිරීක්ෂණය කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සහ පශු වෛද්‍ය පරීක්ෂණ මත පදනම්ව තීරණ ගැනීමේ වැදගත්කම ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික හා ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීමේදී ඒවායේ සංයුතිය, වගකීම් සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. නීතිමය කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය සහ අදාළ විශේෂඥ ආයතනවල දායකත්වය ලබාගැනීමේ වැදගත්කම ද අවධානයට යොමු විය.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චන්දන සූරියආරච්චි, ධර්මප්රිය විජේසිංහ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
2026-10-22
රාජ්‍ය ප්රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නව ප්රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 20) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, නිමල් පලිහේන, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නීතීඥ චිත්රාල් ප්‍රනාන්දු, තිලිණ සමරකෝන්, අජිත් අගලකඩ, සුනිල් රාජපක්ෂ, චම්පික හෙට්ටිආරච්චි සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.රාජ්‍ය ප්රසම්පාදන ක්‍රියාවලිය, එහි පවතින ප්රමිතීන් සහ වැඩිදියුණු කළ යුතු අංශ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී ප්රසම්පාදන කටයුතුවලදී මතුවන ප්රමාදයන්, ලියාපදිංචි කිරීමේ ක්රියාවලියේ ගැටලු, නීතිමය රාමුවේ පවතින අඩුපාඩු සහ ඩිජිටල් පද්ධති භාවිතයේදී මතුව ඇති අභියෝග පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පවතින ප්රමාදයන් අවම කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ප්රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ප්රසම්පාදන කමිටුවල මූල්‍ය සීමාවන් ඉහළ නැංවීම, නැවත නැවත සිදුකරන මිලදී ගැනීම් සඳහා දිගුකාලීන රාමුගත ගිවිසුම් ක්රමවේදය හඳුන්වාදීම සහ ක්ෂේත්රයට විශේෂිත වූ ප්රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය. එමෙන්ම ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලීනව විධිමත් කිරීම මගින් සිදුවන ප්රමාදයන් අවම කර වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදි.රාජ්‍ය ප්රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක PROMIS (Procurement Management Information System) පද්ධතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දැනට අමාත්යාංශ 19ක් ඇතුළුව සක්‍රීය ප්රසම්පාදන ඒකක 394ක් ආවරණය වන පරිදි ප්රසම්පාදන ක්රියාවලීන් නිරීක්ෂණය කිරීම සඳහා මෙම පද්ධතිය භාවිත කෙරෙන අතර, 2027 වසර වන විට පළාත් සභා සහ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුළත් වන පරිදි එය ව්යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද සාකච්ඡාවේදී සඳහන් විය.මෙම ඩිජිටල් පද්ධතිය සංවර්ධනය කිරීමේදී මතුවූ ප්රමාදයන් සහ පෙර ගිවිසුම්කරුවා සමග පැවති එකඟතාව අවසන් කිරීමට සිදුවීම පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි. නව සංවර්ධකයෙකු තෝරාගැනීමේ තාක්ෂණික ඇගයීම් අවසන් කර ලෝක බැංකුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක ප්රදානයක් හිමිවන බවත් මෙහිදී සඳහන් විය.තවද, දැනට පවතින ප්රසම්පාදන මාර්ගෝපදේශ හා චක්රලේඛ බලාත්මක කිරීම සහ සමස්ත ප්රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා නව ප්රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල කිරීම, අදාළ අමාත්යාංශ සහ රාජ්‍ය ආයතනවල අදහස් ලබාගැනීමේදී සිදුවන ප්රමාදයන් සහ කෙටුම්පත සංශෝධනය කිරීමේදී මතුවූ ගැටලු ඒ අතර විය.ප්රසම්පාදන කොන්ත්රාත්තු සහ ඒවා ලබාගන්නා සමාගම්වල ප්රතිලාභී අයිතිය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම (පෙර අසාදු ලේඛනගත කළ සමාගමක්ද යන වග), සහ අභියාචනා සම්බන්ධ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.රාජ්‍ය ප්රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින පරිපාලනමය හා තාක්ෂණික බාධා අවම කරමින් රාජ්‍ය මුදල් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මීට අමතරව, මෙහිදී 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කළ යෝජනාව සහ 2026 වසරට අදාළ අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව (ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සඳහා වන ණය යෝජනා ක්රමය) කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී. එහිදී පොරොත්තු ලේඛනයේ සිටින ණය අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම ණය ලබාදීම සිදුකරන බව නිලධාරීන් පැවසූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
