පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-02-16
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබද වාද විවාද තිබිය හැකි වුවද, ජාත්‍යන්තර වශයෙන් රට නියෝජනය කරන සෑම මොහොතකම සෑම දෙනාම එක්සිත්ව එක හඩකින් ක්‍රියාකිරීම ජාතික වගකීමක් බව ගරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.
අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව ඇතුළු බොහෝ රටවල විවිධ අභ්‍යන්තර මතභේද තිබුණද ජාත්‍යන්තර වේදිකාවේදී එකම එකම හඩකින් එකම ජාතියක් ලෙස තම රට නියෝජනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව රටේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර වශයෙන් නියෝජනයේදී එක් රටක් , එක් ජාතියක් ලෙස සියලු පාර්ශ්වයන් එක්ව ක්‍රියාකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා අවසන් රැස්වීමේදී මතුකළ ඉන්දියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධ කාරණාවේ ප්‍රගතිය පිළිබදව මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය. ඉන්දියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින් සඳහා කඳවුරු ගණනාවක් ඇති බවත් සරණාගතයින් 50,000 කට වැඩි පිරිසක් තමිල්නාඩුවේ කඳවුරුවල සිටින බවත් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මෙම කඳවුරුවලින් පිටත ද සරණාගතයින් රැදී සිටින බවත්, සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත ආපසු ගෙන්වා ගැනීමට මේවන විට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.
ඉන්දියානු රජය කඳවුරු තුළ සිටින සරණාගතයින්ට ආහාර, නවාතැන්, ඖෂධ, අධ්‍යාපනය ඇතුළු මූලික අවශ්‍යතා සහ සුභසාධනය සඳහා පහසුකම් සපයන බවත්, චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් එම කටයුතු අධීක්ෂණය කරනු ලබන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. COVID-19 වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද මෙම කාරණය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය ප්‍රමුඛතාවයක් ලබා දී කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසූ අතර ගරු විදේශ ඇමතිවරයාගේ මෙම උත්සාහය අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා මෙහිදී පැවසීය.
අමාත්‍යාංශයේ යෝජනාවකට අනුව රුමේනියාවේ සහ ස්පාඤ්ඤයේ තානාපති කාර්යාලයක් පිහිටුවීමට මේවන විට අවශ්‍ය අනුමැතිය ලැබී ඇති බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කමිටුවට ප්‍රකාශ කළේය. මීට අමතරව, මැඩගස්කරයේ කොන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට සහ යුරෝපයේ පිහිටි ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹීමට ද අනුමැතිය ලැබී ඇති බවත් ඒ මහතා අනාවරණය කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉන්දියානු ධීවර යාත්‍රා පැමිණීමේ ගැටලුව කෙරෙහිද කමිටුවේ අවධානය යොමුවූ අතර මෙම ගැටලුව විසදීම සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලය සමඟ විශේෂ සාකච්ඡාවන් අඛණ්ඩව සිදුකරන බව මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේය.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභාවට රාජ්‍ය අමාත්‍ය තාරකා බාලසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා, ආචාර්ය සුරේන් රාගවන්, චන්දිම වීරක්කොඩි, ගාමිනි වලේබොඩ, යදාමිණි ගුණවර්ධන, චාල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රිදරන්, ඩයනා ගමගේ, එස්. රාසමානික්කම් ඇතුළු විදේශ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.
2026-06-19
කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

