පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2020-12-09
සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ( ICTA) ආරම්භ කොට තිබූ ˝ ඉ- විශ්‍රාමවැටුප් ˝ නම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 278.54 ක් වියදම් කොට තිබුණද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව ‘කෝප්’ කමිටුවේදී ඊයේ ( 08 ) අනාවරණය විය.
රජය ලබාදුන් මුදල් යොදාගනිමින් I.C.T.A ආයතනයට මෙම ව්‍යාපෘතිය සඳහා වන දෘඩාංග සහ මෘදුකාංග නිර්මාණය කිරීමේ වගකීම පවරනු ලැබුවේ පළමුව බස්නාහිර පළාත් සභාව ආවරණය වන පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආවරණය වන පරිදි අන්තර්ජාලය ඔස්සේ විශ්‍රාම වැටුප් විශ්‍රාමිකයින්ට ලබා දීමට ය. නමුත් මෘදුකාංග සහ දෘඩාංග ගැටලුවක් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක නොකොට 2013 නොවැම්බර් 01 දින සිට අතහැර දමා තිබේ.
මේ නිසා රුපියල් මිලියන 278.54 ක් ප්‍රයෝජන රහිතව යොදවා ඇති බවත් තවත් මෙවැනි අසාර්ථක ව්‍යාපෘති ගණනාවක් සඳහා අයි.සී.ටී.ඒ ආයතනය නිකරුනේ මුදල් යොදවා ඇති බවත් කෝප් කමිටුවේදී හෙළි විය.
එමෙන්ම මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් ආරම්භ කළ “ගූගල් ලූන්” ව්‍යපෘතිය සඳහා උපකරණ රේගුවෙන් නිදහස් කර ගැනීමට රු. 1,851,322ක් හා ව්‍යාපෘතියේ ප්‍රවර්ධනය සඳහා රු. 6,427,941 ක් ( මිලියන 6.4ක් ) වැයකර තිබූ නමුත් එම ව්‍යාපෘතියද අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස කෝප් කමිටුවේ දී අනාවරණය විය.
මෙම කරුණු අනාවරණය වූයේ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව ඊයේ ( 08 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ද, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත, එස්.එම්. මරික්කාර්, පාඨලී චම්පික රණවක, ශානක්‍යම් රාසමානික්කම් යන මහත්වරු මීට සහභාගී වුහ.
රාජ්‍ය ආයතන ජාලයක් ලෙස සම්බන්ධ කරමින් කාර්යක්ෂමව රාජ්‍ය සේවාවන් ස්ථාපනය කිරීම සඳහා ICTA ආයතනය 2016 වර්ෂයේදී ආරම්භ කළ ˝ලංකා රාජ්‍ය ජාලය˝ නම් ව්‍යාපෘතිය සඳහා 2016 වර්ෂයේ රුපියල් මිලියන 850.47 ක් අනුමත වී තිබුණ බවත් ඉන් රුපියල් මිලියන 148.33ක් වියදම් කොට තිබූ බවත් කෝප් කමිටුවේදී හෙළි විය. නමුත් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය 17% බව කමිටුවේදී අනාවරණය විය.
ඉහත අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළ කළ අතර මෙලෙස අසාර්ථකත්වයක් පෙන්වන අතරතුරේදී තවත් ව්‍යාපෘති 500කට අධික ප්‍රමාණයක් ICTA ආයතනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම පිළිබඳව පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කළේය.
ජාතික බුද්ධිමය දේපල කාර්යාලය මගින් ˝ ඉ - නිපො ˝ නමින් ආරම්භ කළ ව්‍යාපෘතියේ ප්‍රසම්පාදනය සඳහා 2016 වර්ෂයේ දී රු. මිලියන 32.5 ක් ලබා ගෙන තිබු බව කමිටුවේ දී අනාවරණය වූ අතර එය අයි.සි.ටි.ඒ ආයතනයේ සේවක වැටුප් ගෙවීමට යොදා ඇති බව මෙහිදී නිලධාරීන් විසින් හෙළි කරන ලදි. මේ නිසා මෙවැනි මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවය කෝප් කමිටු සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදි.
එසේම ˝ඉ - පළාත් පාලන ආයතන˝ නමින් ආරම්භ කර තිබු ව්‍යපෘතිය අසාර්ථක වී තිබුණද නැවත 2016 වර්ෂයේ දී එය නැවත ආරම්භ කර තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 39ක් වැයකර තිබුණද ඉන්පසු කාර්යසාධන වාර්තාවල එය ඇතුළත් කර නොතිබුණු බව කමිටුවේදී අනාවරණය වූ අතර මේ පිළිබඳ කෝප් කමුටුවේ දැඩි අප්‍රසාදය පළ විය.
තවද 2003 වර්ෂයේ සිට අයි.සී.ටී.ඒ ආයතනය සංයුක්ත සැලැස්මක් සකස්කර නොතිබූ බවත් 2017 වර්ෂයේ රු. 2,737,000ක වියදමින් සකස් කළ සංයුක්ත සැලැස්ම ක්‍රියාත්මක කර නොතිබුණ බවත් කෝප් සභාපතිවරයා හෙළි කළේය.
මේ නිසා 2003 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් මේ සියලු කාරණා පිළිබඳ වාර්ථාවක් ලබා දෙන ලෙස කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදි.
එසේම අයි.සී.ටී.ඒ ආයතනයේ ඉහළ තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් බඳවාගැනීම පිළිබඳ කෝප් කමිටුවේ අප්‍රසාදය ඵල විය. මේ නිසා ස්ථාවර පදනම යටතේ මූලික තනතුරු කිහිපයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය කෝප් කමිටුව පෙන්වාදුන් අතර නිවැරදි නිලධාරී ධූරාවලියක් ICTA ආයතනය තුළ ඇතිකිරීමේ අවශ්‍යතාවය කමිටුව විසින් පෙන්වා දෙන ලදී.
මේ දක්වා සිටි නිලධාරීන් හරහා යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් වහාම ඔවුන් සඳහා නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ද කෝප් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.
2026-11-05
පාර්ලිමේන්තුවේ දී අද දින (නොවැ. 05) දෙවැනිවර කියවීමට නියමිත භාර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.උක්ත කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර කාරක සභාව විසින් අනුමතිය ලබා දෙන ලදී.(87 වන අධිකාරය වන) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 2026 ඔක්තෝබර් 21 වැනි දින පළමුවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.මෙම පනත් කෙටුම්පත මඟින් සිදු කිරීමට අපේක්ෂිත සංශෝධන පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාවට කරුණු පැහැදිලි කළහ. මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-11-04
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනා ගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නියෝජනය කරන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ගණනාවක සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වූහ. දිනකට කාන්තාවන් 17 දෙනෙකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බවට හඳුනා ගනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වේ. එසේම වසරකට මරණ 1,000 කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර, එය දිනකට ජීවිත තුනක් පමණ අහිමි වීමට සමානය. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වේ. බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගෙන ඇත.සෑම කාන්තාවක්ම තම පියයුරුවල සාමාන්‍ය ස්වභාවය පිළිබඳව හුරුපුරුදු වීමත්, නිතිපතා ස්වයං පරීක්ෂාව සිදු කිරීමත් කළ යුතුවේ. අසාමාන්‍ය වෙනසක් හඳුනාගතහොත් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. කල්තියා හඳුනා ගැනීමෙන් සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව වැඩි වන අතර රජයේ සෞඛ්‍ය ආයතන මඟින් නොමිලේ පරීක්ෂණ සහ අනෙකුත් අතවශ්‍ය සෞඛ්‍ය සේවා සපයනු ලැබේ. එසේම, සෑම කාන්තාවක්ම සුවනාරී සායනයට (Well Woman Clinic) සහභාගී වී, ගැබ්ගෙල පිළිකාව වැළැක්වීම සඳහා පූර්වමය පිළිකාමය වෙනස්කම් කල්තියා හඳුනා ගැනීමට උපකාරී වන නිර්දේශිත පැප් පරීක්ෂාව වයස අවුරුදු 35 දී සහ 45 දී සිදු කර ගැනීමත් කළ යුතු වේ.
2026-11-03
සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයීය කාරක සභා රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වූහ.අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2026 අප්‍රේල් මාසය වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව විෂය ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ජාතික කමිටුවක් පත් කරණු ලැබූ බවත් ඒ යටතේ ඇති ප්‍රධාන අනු කමිටු 5 ක් යටතේ මීට අදාළ උපදේශනය සහ දිශානතිය සපයන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 2026 වසරේදී 1 ශ්‍රේණිය සඳහාත්, 2027 වසරේදී 6 ශ්‍රේණිය සහ 2 ශ්‍රේණිය සඳහාත් නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල හා ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කිරීම සහ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් නැංවීමේ සැලැස්ම ද ක්‍රියාත්මක වෙමින් පවතී.මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා සහ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පදනම, ජාතික විෂයමාලා රාමුව, ඇගයීම් ක්‍රමවේද සහ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව දීර්ඝ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.2019 වසරේදී මෙම ක්‍රියාවලිය ආරම්භ වූ බවත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2023 වසරේ අනුමත කරගන්නා ලද නව ප්‍රතිපත්තියට අනුව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ජාතික විෂයමාලා රාමුව පිළියෙල කළ බවත් මෙය ආයතන ගණනාවක සාමූහික ප්රයත්නයක් බවත් ඒ මහතා සඳහන් කළේය. ලෝකයේ දියුණුම රටක ක්‍රියාත්මක වන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අනුව අප රටට හඳුන්වා දෙන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.පොදු අධ්‍යාපනයේ මූලික අරමුණ හුදෙක් වෙළඳපොළට අවශ්‍ය අනාගත ශ්‍රමිකයන් නිෂ්පාදනය කිරීම පමණක් නොවන බවත්, ආචාර ධර්ම, ගුණධර්ම සහ වටිනාකම්වලින් පිරි සාකල්‍යවාදී (holistic) පරිපූර්ණ පුරවැසියන් සහ ජාතිය ගොඩනඟන අනාගත පරපුරක් බිහි කිරීම බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.දැනට පවතින විෂය අන්තර්ගතය (content-based) මත පදනම් වූ ක්‍රමය වෙනුවට ඉගෙනුම් ඵල පාදක (outcome-based) සහ ශිෂ්‍ය කේන්ද්‍රීය (student-centered) අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ. කටපාඩම් කර විභාග ලිවීමේ පීඩනය සහ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන බර අඩු කරමින්, සම්භාර (credit) පාදක මොඩියුල ක්‍රමයක් සහ වසර පුරා සිදුවන අඛණ්ඩ ඇගයීම් (Continuous Assessments) මඟින් සිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීමට නව ඇගයීම් රාමුවක් සකස් කර ඇති බවත් ඒ මහතා පැවසීය. 6 ශ්‍රේණියේ සිටම වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදීමටත්, 12 සහ 13 ශ්‍රේණිවල දී NVQ Level 4 දක්වා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට හෝ උසස් අධ්‍යාපනය වෙත යොමු වීමටත් හැකි වන පරිදි නම්‍යශීලී විකල්ප අධ්‍යාපන මාර්ග (Vocational Pathways) සකසා තිබේ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා "RIES" වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර, අදියර කිහිපයක් යටතේ දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ දරුවන් හුදෙක් අනාගත ශ්‍රමිකයන් බවට පත්කිරීම පමණක් නොව, ඔවුන් පරිපූර්ණ මිනිසුන් සහ වගකීම්සහගත ජාතිය ගොඩනඟන්නන් ලෙස නිර්මාණය කිරීම බව මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී පැනනඟින ගැටලු පිළිබඳව පුද්ගලික මනෝභාවයන් හෝ අදහස් මත පමණක් පදනම් නොවී, විද්‍යාත්මක පර්යේෂණාත්මක සාක්ෂි (evidence) නිරීක්ෂණය කර තීරණ ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නාය. සාකච්ඡාවට එක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු විමසමින් සිය අදහස් යෝජනා ඉදිරිපත් කළහ.මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි. ගරු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-11-03
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට යොමු කිරීම සහ රස පරීක්ෂක වාර්තා ලබාදීම කඩිනම් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය ඔක්. 23 වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය. බන්ධනාගාර තදබදය අවම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මාලාවක්, මෙම කාරක සභාව සඳහා ඒ ඒ අංශ සම්බන්ධ කර ගනිමින් සිදු කෙරුණු අතර එහි තවත් පියවරක් ලෙස මේ සාකච්ඡාවද සිදු කෙරිණි. බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා යෝජිත නීති සංශෝධන, විවෘත බන්ධනාගාර හා වැඩ කඳවුරු ක්‍රමවේද, කොන්දේසි පිට මුදාහැරීම සහ යහපත් හැසිරීමක් ඇති රැඳවියන් සේවා නියුක්ති වැඩසටහන් සඳහා යොමු කිරීම ඇතුළු යෝජනා මෙහිදී සමාලෝචනය කෙරිණි.එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය, ප්‍රවාහන පහසුකම් සහ අතිකාල සේවා වැඩිදියුණු කිරීම මඟින් ගොඩගැසී ඇති වාර්තා ප්‍රමාණය අඩු කර ගැනීමට ගෙන ඇති පියවර ද මෙහිදී අවධානයට ලක් විය.බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා අදාළ නීතිමය හා පරිපාලනමය සංශෝධන ඉදිරියට ගෙන යාමටත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණයෙන් යුතුව යෝජිත ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමටත් අවශ්‍ය පියවර පිළිබඳව කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


